"ප්‍රේමවන්ත ඇමසෝනියා": මානව සහ පාරිසරික අසාධාරණයෙනුත් දහම් සේවා පවසිනුත් වේදනා විඳින ඇමේසන් කලාපයට (සහ වක්‍රව ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයට) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලියූ පශ්චාත් සිනොඩ් පෙම් හසුන

"Querida Amazonia": the Pope’s Post-Synodal Exhortation for the Amazon Church faced with ecological injustices and pastoral challenges

 

(2020 පෙබරවාරි 17)
2019 ඔක්තෝබර 6 සිට 27 දක්වා රෝමයේ මුළු දුන් ඇමසෝන් කලාපීය රදගුරු හිමිවරුන් ගේ සිනොඩ් සමුළුව පාදක කර ගනිමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ලියූ අපෝස්තලික සංදේශය පෙබරවාරි 12 වන දා වතිකානයේ දී නිකුත් කරනු ලැබිණි.

එය නම් කර ඇත්තේ Querida Amazonia හෙවත් "දයාබර ඇමසෝනියාව" ("Beloved Amazon") ලෙසයි.

මෙය පශ්චාත්-සෛනොඩීය සංදේශ ඉතිහාසයේ සුවිශේෂ තත්වයක් ගන්නා අපූර්ව සහ අසමසම ලේඛනයක් ලෙස සසුන්වේද විශේෂඥයෝ හඳුන්වති.

ඊට ප්‍රධාන හේතුව වන්නේ සභාවේ ගුරු බලය සහිත මෙම ලේඛනය විසින් තවත් ලේඛනයක් "කැටුව එනු" ලැබීමයි. එම වැදගත් දෙවැනි ලේඛනය නම් ඇමේසන් සිනොඩ් සමුළුව අවසානයේ නිකුත් කරන ලද "ඇමේසන්: සභාව සඳහා සහ පූර්ණ පාරිසරික තුලනයක් සඳහා නව මාවත්" ("The Amazon: New Paths for the Church and for an Integral Ecology") නමැති අවසන් ප්‍රකාශනය යි.

මෙම සමස්ත සංදේශය තේරුම් ගත හැකි "යතුර" වන්නේ ද එයයි.

මෙම සංදේශය විසින් නිල වශයෙන් කැටුව එනු ලබන දෙවැනි ලේඛනය හඳුන්වා දෙනු ලැබීමෙන් පසුව සුදොතුම් පියතුමා පෙම්බර ඇමසෝනියා කලාපය සඳහා වූ සිය සිහින විස්තර කරයි.

මෙම සිහින කියවන විට තේරුම් ගත යුතු සහ සිහි තබා ගත යුතු වැදගත් කරුණ තිබේ. එනම්, මෙම සිහින ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට හුදු වූ සිහින නොවන බවයි. එම සිහින තමා ගොනු කරගත්තේ සිනොඩ් සමුළු නියෝජිතයන් ගේ කතාවලට "සවන් දීමෙන්" සහ ඔවුන් ගේ කණ්ඩායම් වාර්තා "කියවා  අවබෝධ කරගැනීමෙන්" පසුව මෙන් ම අවසන් ලේඛනය මගින් ද බව සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. එනම් මේ සිහින වූ කලී මානව, පාරිසරික සහ දහම් සේවා (එඬේරික) තුලනය සඳහා වූ පවසකින් පෙළෙන ඇමසෝනියා ජනතාව ගේ ම සිහිනයි.

එතෙකින් නොනැවතී වෙන කවර පශ්චාත් -සිනොඩීය අපෝස්තලික හසුනකවත් දක්නට නොලැබෙන ආකාරයෙන් මෙම හසුන කාව්‍යමය ස්වරූපයක් ගනියි. එය තවත් සුන්දර සහ අර්ථාන්විත කරමින් ඇමසෝනියා කලාපයේ මානව-පාරිසරික තුලනයක් පිලිබඳ සිහින දකින එම කලාපීය කවීන් 17 දෙනෙකු ගේ පමණ පද්‍ය කාව්‍ය වලින් කොටස් මෙම සංදේශයේ උපුටා දක්වා තිබේ. එසේ නම් "පෙම්බර ඇමසෝනියා" පෙම් හසුන හුදෙක් එම කලාපයේ සිටින කතෝලික ජනතාව ගේ පමණක් නොව සමස්ත ජනතාව ගේ ම සිහින ලෝකයට හඬ නගා කීමකි.

භාවනාත්මකව කියවන විට  මෙම සිහින ඇමසෝනියාවට හුදු වූ සිහින පමණක් නොවන බව ද පැහැදිලි වේ. එය ස්වකීය පෞද්ගලික ලාභාපෙක්ෂා සහ දේශපාලන අපේක්ෂා වෙනුවෙන් පාරිසරික තුලනය විනාශ කරන සංවර්ධිත ලෝකයේ මෙන් ම තුන් වන ලෝකයේ රට වලට ද අභියෝගයකි. විශේෂයෙන් ම, වඩා වැදගත් වන්නේ පරිසරය සහ වාතය පිරිසිදු  කරන වනාන්තර ද නැති නම් ඒවා වනසා ඉදිකරන ක්‍රීඩා පිටි, මහා නගර, ජනාවාස හෝ කොන්ක්‍රීට් වනාන්තර ද යන්න ගැන විවාදයක නිරත ශ්‍රී ලංකාවට ද මෙම සංදේශය වැදගත් අත්පොතකි.

යතුර : අපෝස්තලික සන්දේශයේ වැදගත්කම

මෙම අපෝස්තලික සංදේශය අවබෝධ කරගැනීමට දොර විවර වන "යතුර", එහි 2 සිට 4 වන වගන්තිය  දක්වා දිවෙන  "අපෝස්තලික සන්දේශයේ වැදගත්කම" යන මැයින් යුත් කොටස ය.

සිනොඩ් සමුළුවේ දී එක් එක් කථිකයන් කළ ඉදිරිපත් කිරීම් වලට තමන් "සවන් දුන්" බවත්, සාකච්ඡා කණ්ඩායම් වල වාර්තා "උනන්දුවෙන් කියවූ" බවත් ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමා මෙම ආරම්භක කොටසේ කියයි. ඉන් පසුව එතුමා මෙසේ ලියයි.

"මෙම සංදේශයෙන් මා අදහස් කරන්නේ  මෙම සංවාද සහ ප්‍රවිච ක්‍රියාවලියට මගේ ප්‍රතිචාරය ඉදිරිපත් කිරීම ය. මම එම අවසන් ලේඛනයේ ( සංස්කාරක සටහන: එනම්, "ඇමේසන්: සභාව සඳහා සහ පූර්ණ පාරිසරික තුලනයක් සඳහා නව මාවත්" යන ලේඛනයේ) දීර්ඝ වශයෙන් දක්වා ඇති විෂයයන් සියල්ල සම්බන්ධයෙන් කතා කිරීමට අදහස් නොකරමි. එසේ ම, මේ සංදේශය එම ලේඛනයේ ප්‍රති ස්ථාපනයක් හෝ අනුපිටපතක්  හෝ කිරීම ද මගේ අදහස නොවේ. මා අදහස් කරන්නේ  ඇමේසන් කලාපයේ ජනජීවිතයට ප්‍රායෝගිකව යොදාගත හැකි කෙටි ක්‍රියා කාරකම් රාමුවකට ආධාර වන භාවනාවක් ඉදිරිපත් කිරීම ය."

ලිහිල් බසින් කියන්නේ නම්,, මෙම  සංදේශය මගින්  සිනොඩ් අවසන් ලේඛනය අහෝසි නොවන බවත්, මෙය එහි පිටපතක් නොවන බවත් සුදොතුම් පියතුමා අවධාරණය කරයි. ඒ වෙනුවට මෙය එම "සිනොඩීය ක්‍රියාවලියේ" තවත් පියවරක් පමණි.

ඒ අතරම, එම සිනොඩ් ලේඛනය මේ සංදේශයත් සමග "නිල වශයෙන් ඉදිරිපත් කරන" බව 3 වන  ඡේදයේ එතුමා කියයි. "එය සකස් කරන ලද්දේ මා සේ ම කියුරියා නිලධාරීනටත් වඩා හොඳින්  සිය කලාපය ගැන දන්නා ජනතාවක් විසින්" යයි එතුමා සඳහන් කරයි. මේ සංදේශයේ එම සිනොඩ් ලේඛනයේ සඳහන් කරුණු උපුටා දක්වා නැත. "මන්ද, එම අවසන් ලේඛනය කියවන ලෙස සියල්ලන් දිරිමත් කිරීම මගේ අදහස වන බැවිනි" යි එතුමා අවධාරණය කරයි.

එතුමා එම කොටස අවසන් කරන්නේ "සිනොඩ් සභාවේ මෙම අවසන් කෘතිය මගින් දෙවියන් වහන්සේ සමස්ත සභාව පොහොසත් කොට ඊට අභියෝග කරන සේක්වා! ඇමේසන් කලාපයේ සියලු ජනතාව එය ක්‍රියාත්මක කිරීමට ප්‍රයත්න දරත්වා! සුසිත් ඇති සෑම පුද්ගලයකුටම එය අනුප්‍රාණයක් වේවා!" යනුවෙනි.

ඔක්තෝබර 27 වැනිදායින් මෙම සෛනොඩීය සහ ප්‍රවිච ක්‍රියා පිළිවෙල අවසන් වී නැති  බවත් , එය අඛණ්ඩ ක්‍රියා මාර්ගයක් බවත්  මේ කොටසින් සුදොතුම් පියතුමා  පැහැදිලි කරයි. එසේම එය සම්පූර්ණයෙන් කියවා එහි සඳහන් කරනු ක්‍රියාත්මක කරන ලෙස ඇමේසන් කලාපීය ජනයාට මෙන් ම සමස්ත සභාවට ද එතුමා ආරාධනා කරයි.
 

සිහින 

එම ප්‍රවිෂ්ටයෙන් පසුව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අමසෝනියාන රදගුරු සිනොඩ් සමුළුවෙන් තමන් තුළ උපත ලැබූ "ඇමේසන් කලාපය සඳහා සිහින" සතරක් ගැන විස්තර කරයි.

දුප්පතුන් සහ පීඩාවට පත් වූවන් ගේත්, ආදිවාසී සහෝදර සහෝදරියන් ගේත් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන, ඔවුන් ගේ ගරුත්වය වෙනුවෙන් හඬ නගන ඔවුන් ගේ හඬ අසන්නට බල කෙරෙන සමාජ සිහිනයක් ;

ඇමේසන් කලාපයේ සුවිශේෂී සංස්කෘතික පොහොසත්කම් සුරක්ෂිත වන, මනුෂ්‍යත්වයේ සුන්දරත්වය විවිධාකාරයෙන් දිදුලන සංස්කෘතික සිහිනයක්;

සෙසු ලෝකයේ ඉරිසියාවට ලක්වන ඇමේසන් කලාපයේ උතුරා යන ස්වාභාවික සෞන්දර්යයත්, එම භුමිය සිසිල් කරන ගංගා සහ වනාන්තර වල අති බහුලව ඉපිරව පවතින ජීවිතය සුරක්ෂිත වන පාරිසරික සිහිනයක්; සහ

එම කලාපයේ සභාවට ඇමසෝනියාන මුහුණුවරක් සහිත, ඇමේසන් කලාපය තුළ මාංශගත වූ, ත්‍යාගශීලී කැපවීමකට හැකියාව ඇති ඇමසෝනියාන කිතුනු සංඝයක් සඳහා වූ ශාසනික සිහිනයක් 

එම සිව් වැදෑරුම් වූ සිහිනයි.

මේ සිහින ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ සිහින පමණක් නොවේ. එම කලාපයේ රදගුරු, පුදැදුරු, පැවිදි සහ ගිහි සියල්ලන් ගේ සිහිනයි. ඒවා යථාර්ථ බවට පත් කර ගැනීමට සහය වන්නැයි එතුමා ලෝකයෙන්

එම "සතර සිහින" මෙතැනින් කියවන්න : "මානවයා සහ පරිසරය යනු දෙකක් නොවේ. එකක්. මේ සත්තාවන් දෙකම එක සේ ආරක්ෂා කල යුතුයි" - "ප්‍රේමවන්ත ඇමසෝනියා" අපෝස්තලික හසුනේ පණිවිඩය - දෙවන කොටස

 පින්තුරය: ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පීරු රාජ්‍යයේ දී ඇමේසන් ආදිවාසීන් මුණගැසුණු අවස්ථාව 


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය