"මානවයා සහ පරිසරය යනු දෙකක් නොවේ. එකක්. මේ සත්තාවන් දෙකම එක සේ ආරක්ෂා කල යුතුයි" - "ප්‍රේමවන්ත ඇමසෝනියා" අපෝස්තලික හසුනේ පණිවිඩය - දෙවන කොටස

The forest is not a resource to be exploited; it is a being with which we have to relate" - The Message of  "QUERIDA AMAZONIA" (Part 2)


(2020 පෙබරවාරි 18)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ   "ප්‍රේමවන්ත ඇමසෝනියා" (“Querida Amazonia”) අපෝස්තලික සංදේශය ඇමේසන් කලාපීය රදගුරු සිනොඩ් සමුළුවේ පශ්චාත් සිනොඩ් අපෝස්තලික හසුන ය.

මේ අපෝස්තලික සංදේශය කියවිය යුත්තේකෙසේ දැයි මෙහි පළමු කොටසින් අපි සලකා බැලුවෙමු.
එම කොටස මේ ලින්කුවෙන් කියවන්න:
"ප්‍රේමවන්ත ඇමසෝනියා": මානව සහ පාරිසරික අසාධාරණයෙනුත් දහම් සේවා පවසිනුත් වේදනා විඳින ඇමේසන් කලාපයට (සහ වක්‍රව ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයට) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලියූ පශ්චාත් සිනොඩ් පෙම් හසුන

අද අප යොමු වන්නේ එහි ගැබ් වන පණිවිඩය වෙතයි.

මේ කොටස ආරම්භයේ මෙම අපෝස්තලික ලිපිය පිලිබඳ තවත් වැදගත් කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

සුදොතුම් පියතුමා එය ආරම්භ කර ඇත්තේ
"දේව ජනතාව වෙතට
සහ සියළු සුසිත් ජනයන් වෙතට"
යනුවෙනි.

සභාවේ ගුරු බලය ප්‍රකාශ කරෙන හෙවත් සභා ඉගැන්වීමක් ලෙස පිළිගන්නා මෙම ලේඛනය හුදෙක් එම කලාපය ඉලක්ක කොට ගත්තක් පමණක් නොව එය "සියලු දේව ජනතාව වෙතත් යහපත් සිත් ඇති සියලු ජනතාව  වෙතත්' යොමු කරෙන බව මෙයින් අදහස් කෙරේ. එබැවින් මෙම ලේඛනය අපට අදාළ නොවෙතැයි කිසිවෙකුටත් කිව නොහැකිය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම ලේඛනයේ විස්තර කරන "සිහින සතර" කියවිය යුත්තේ එම සිතිවිල්ල පදනම් කරගෙන ය.

මේ සිහින මොනවා ද?

සුදොතුම් පියතුමා "සිහින" සතරකට ගොනු කරන්නේ සමස්ත සිනොඩ් කතිකාව තුළ සාකච්ඡා වූත් අවසන් ලේඛනයට පාදක වූත් "සිත් හැරීම්" (Conversions)  සතරයි. ඒවා යෝජනා, තර්ක හෝ තේමා වැනි සාමාන්‍ය වර්ගීකරණ නාමයකින් හඳුන්වනු වෙනුවට එතුමා යොදා ගන්නේ "සිහින" යන පදය යි.

"සිහිනය වූ කලී  උණුසුම් වූත් චිත්තවේගික වූත් ආභ්‍යන්තරික අරුත් ගැන්වීම් ඇතැම් විට කටුක සහ සංකීර්ණ වූ විෂයයන් සමග එකට සම්බන්ධ කරන ප්‍රපංචයක් වන බැවින්" සුදොතුම් පියතුමා "තේමා හෝ යෝජනා" වෙනුවට සිහින යන පදය යොදා ගන්නට ඇති බව මේ ගැන විමර්ශනයක යෙදෙන La Civilta Cattolica සඟරාවේ ඇන්ටෝනියෝ ස්පැදේරෝ ජේ.නි. පියතුමා පවසයි.

මෙම සිහින ඇමේසන් සිනඩ් සමුළුවේ යෝජනා වලට සම්බන්ධ වන ආකාරය තහවුරු කිරීමට  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් උපුටා දක්වන්නේ එම සිනොඩ් සමුළුවේ අවසන් ලේඛනයේ එන වගන්ති නොවේ. ඒ වෙනුවට එතුමා උපුටා දක්වන්නේ දෙවන වතිකාන කතිකා ලේඛන සහ සිය පූර්වගාමී පාප් වහන්සේලාගේ ලේඛන වල උපුටන ය. ඊටත් වඩා විශේෂ දෙයක් සුදොතුම් පියතුමා මෙම ලේඛනයේ උපුටා දක්වයි. ඒ ඇමේසන්  කලාපයේ ප්‍රකට සහ ජනාදරයට පත් කවීන් ගේ කවි වල උපුටනයන් ය.

"ජනාදරයට පත් මෙම කවීහු ප්‍රඥාවේ ආරක්ෂකයන්" යයි සුදොතුම් පියතුමා කියයි. "පොළොවේ සහ ජලයේ සුන්දරත්වය සමග පෙමින් බැඳුනු ඔව්හු ඒ මගින් නර්තනයකින් සේ තමන්ට ලැබෙන ජීවය ප්‍රකාශ කරන්නට වෑයම් කළහ. ඒ සමගම ඔව්හු ඊට තර්ජනය කරන උවදුරු ගැන  වැළපෙති. එම භාවනානුයෝගී සහ දිවැසිවර  කවීහු, සොබා දහම වීනාශ කොට සත්‍ය වශයෙන්ම ගෞරවනීය ජීවිත රටාව අපගෙන් පැහැරගන්නා කාර්මිකවේදී සහ පාරිභෝගිකවාදී පැරඩයිමෙන් අප නිදහස් කර ගැනීමට අපට සහය වෙති" යි එතුමා පෙන්වා දෙයි.

ඇමසෝනියාව පිලිබඳ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ සිහින කියවීමේ දී මේ කරුනු පිටිවහලක් වෙයි.

සමාජයීය සිහිනයක් 

පීඩිත වූවන් ගේ පැත්තේ සිටින සභාව

දුප්පතුන් සහ පීඩිතයන් වෙනුවෙන් ඔවුන් ගේ පැත්ත ගැනීමට සභාවට දිවැසිවර කැඳවීමක්  තිබෙන බව ප්‍රැන්සිස් සුදුතුම් පියතුමා මෙම සිහිනය විස්තර කරමින් කියයි. "වේ ප්‍රශංසා" විශ්ව ලේඛනයේ දී මෙන් ම මෙම පශ්චාත් සිනොඩ් අපෝස්තලික සංදේශයේ දී ද එතුමා අවධාරණය කරන්නේ "මානවයා සහ පරිසරය යනු දෙකක් නොව එකක්" බවයි. පරිසරය ආරක්ෂා  කිරීමෙන් තොරව මානවයා ආරක්ෂා කිරීමට නොහැකිවා සේ ම මානවයා ආරක්ෂා කිරීමෙන් තොරව පරිසරය ආරක්ෂා කිරීමට ද නොහැකි ය.

ඇමේසන් කලාපය පාරිසරික ඛේදවාචකයකට මුහුණ දී සිටීම සත්‍ය වුවත් "සැබෑ පාරිසරික ප්‍රවේශයක් නිතරම සමාජයීය ප්‍රවේශයක් විය යුතු" බව එතුමා අවධාරණය කරයි. "පරිසරය පිලිබඳ විවාද වලදී යුක්තිය සහ සාධාරණත්වය පිලිබඳ ගැටළු ඇතුලත් කර ගත යුතු ය. මේ අනුව මිහිතලයේ විලාපයට සවන් දෙන අතරම දුප්පතුන් ගේ විලාපයට ද සවන් දිය යුතු ය. හුදෙක් බියෝමය (Biome) ගැන පමණක් අවධානය යොමු කර (ඇමසෝනියාන) ජනතාව නොසලකා හරින පරිසර විද්‍යාවක් අපට අවශ්‍ය නොවේ."

ඇමසෝනියා කලාපය තුළ ව්‍යාපාරික කටයුතු සඳහා - විශේෂයෙන් දැව සහ පතල් හැරීමේ ව්‍යාපාර සඳහා- පරිසරය විනාශ කිරීමට සමාන්තරව දැවැන්ත මානව හිමිකම් කඩ කිරීම් සිදු වන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. මේ නූතන යටත් විජිත වාදයට එරෙහි වන ආදී වාසීන් ඇතුළු දුප්පත් ජනයා ඝාතනය කෙරෙති; නැති නම් සිය වාස භුමි අතහැර නගර වලට පිටමං වීමට  ඔවුනට සිදුවේ. නගර වලදී ද ඔව්හු සූරා කෑමට සහ ලිංගික දුෂණයට ගොදුරු වෙති. "මේ සංසිද්ධිය ඒවායේ නියම නමින් හැඳින්විය යුතුය: එනම් ඒවා අයුක්තිසහගත දේ සහ අපරාධ ය" යි එතුමා ඍජුව පවසයි.

මෙවැනි අපරාධ සහ අසාධාරණකම් ඉදිරියේ සභාව "කෝපයට පත් විය යුතු" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කරයි. "අයුක්තිය ඉදිරියේ මෝසස් තුමා කෝප වූවා සේ (නික්ම 11:8),ජේසු සමිඳුන් කෝප වූවා සේ (මාර්ක් 3:5), දෙවියන් වහන්සේ කෝප වූවා සේ (ආමො 2:2-8; 5:7-12 ; ගීතාවලිය 106; 40) අප ද අයුක්තිය ඉදිරියේ කෝප විය යුතු ය. අපගේ කලාපය තුළ විනාශයත් මරණයත් ඇති කරන සූරාකෑම ඉදිරියේ අපගේ සමාජ හෘද සාක්ෂිය මොට කර ගැනීම වරදකි. අයහපත සමාජ ලක්ෂණයක් වන්නට ඉඩ දී ඊට පුරුදු වීම අපට යහපත් නොවේ," යි එතුමා අවධාරණය කරයි. 

මේ තත්වය නිසා සභාව කිසිසේත් සිය කැපවීමෙන් ඉවත් නොවිය යුතු බව සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. "(ඇමසෝනියාන) ජනතාව ගේ ආයාචනයට සවන් යොමා සිය දිවැසිවර දූත මෙහෙවර පාරදෘශ්‍යව ක්‍රියාත්මක කිරීමට සභාව කැඳවනු ලැබ සිටියි".

තවත් පැත්තකින් කතෝලික සභාවේ සාමාජිකයන් පවා දුෂණයේ කොටස්කරුවන් වී ඇති බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. "ඇතැම් විට සභාවේ කටයුතු වලට ලැබෙන ආර්ථික ආධාර වලට හිලව් වශයෙන් රාජ්‍ය දුෂණ හමුවේ මුනිවත රැකීමට පවා සභාව පෙළඹී තිබේ. මේ නිසා ශාසනික ආයතන හෝ පුද්ගලයන් සඳහා  විවිධාකාර ප්‍රතිලාභ සහ ආයෝජන ලබාගනිමින් හෝ ලබාදෙමින් සභාව දුෂණයේ ප්‍රභවයක් වීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කල යුතු බව සිනොඩ් සමුළුවේදී පෙන්වා දෙනු ලැබිණි."

සාධාරණ සහ යුක්ති සහගත සමාජයක් ගොඩ නැගීම සඳහා සහෝදරත්වයෙන් බැඳුනු සාංඝිකත්වයක් (community) අවශ්‍ය බව සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. ඇමසෝන් කලාපයේ විශේෂයෙන් ආදිවාසී ජනයා අතර මෙවැනි සහෝදරත්වයක් දක්නට ලැබෙන බව එතුමා සඳහන් කරයි.

සාරාංශ ගත කල විට මෙම සමාජයීය සිහිනය තුළ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  පෙන්වා දෙන්නේ, ගැලවීමේ ඉතිහාසය පුරා දෙවියන් වහන්සේ දුප්පතුන්, පීඩිතයන්, කොන්කරන ලද්දවුන් සහ සමාජයෙන් බැහැර කරන ලද්දවුන් ගේ පැත්ත ගත්තේ යම් සේ ද, සභාව ද අද එම පැත්තේ සිටිය යුතු  බව ය.  "දුප්පතුන්, පීඩිතයන්, කොන්කරන ලද්දවුන් සහ සමාජයෙන් ඉවත් කරණ ලද්දවුන්  වෙනුවෙන් අනුග්‍රහ පූර්වක තෝරා ගැනීම" යන කතෝලික සමාජ ධර්මයේ ඉගැන්වීම මෙහිලා අවධාරණය කෙරේ. මෙම පදනම මත, සොබා දහම විනාශ කිරීම මෙන් ම මානව අයිතිවාසිකම් විනාශ කිරීම් ද එක සමාන අපරාධ වේ. මන්ද "මානවයා සහ පරිසරය යනු දෙකක් නොව එකක්" වන බැවිනි. "සැබෑ පාරිසරික ප්‍රවේශයක් නිතරම සමාජයීය  ප්‍රවේශයක් විය යුත්තේ" ඒ නිසා ය.  මානවයාටත් පරිසරයටත් එල්ල වන ප්‍රහාර ඉදිරියේ නිශ්ශබ්දව සිටීමට කතෝලිකය සභාවට නොහැකිය. මන් ද "ඇසෙන තරම් මහ හඬින් සිය දිවැසිවර හඬ නගන්නට" සෑම එක් එක් කිතුනුවෙකුත්, පොදුවේ සභාවත් කැඳවනු ලබා සිටින නිසා ය.

අවදියෙන් සිට කියවන්නේ නම්, මේ "සිහිනය" හුදෙක් ඇමසෝන් කලාපයට පමණක් සීමා වන්නක් නොවන බව අවබෝධ වනු ඇත. ඉකුත් වසර 15-20 කාලය පුරා  ශ්‍රී ලංකාවේ සමාජ-දේශපාලන-ආර්ථික තත්වය මෙනෙහි කරමින් මෙය කියවා, විශ්ලේෂණය කළ විට ශ්‍රී ලංකාවේ සභාව වෙත එයින්  ලැබෙන පණිවිඩය අවබෝධ කරගත හැකි වනු ඇත.

සංස්කෘතික සිහිනයක්

සංස්කෘතික පොහොසත්කම් සුරක්ෂිත කරන අතර විවිධත්වයේ සුන්දරත්වය බැබලවීම 

පශ්චාත් සිනොඩ් අපෝස්තලික සංදේශයේ දෙවන පරිච්ඡේදයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විස්තර කරන්නේ "සංස්කෘතික විවිධත්වයේ සුන්දරත්වය" යි.

ස්වදේශික ආදිවාසී ජනකොටස් 110 කට අධික සංඛ්‍යාවක් ඇතුළු විවිධ ජාතීන් ගෙන් සමන්විත ඇමේසන් කලාපයේ එම විවිධත්වය තුළ පවතින සංස්කෘතික පොහොසත්කම එතුමා විස්තර කරයි. බොහෝ "ශිෂ්ට" යැයි සම්මත ජාතීන් විසින් පහත්කොට සලකනු ලබන "ඇමේසන් ස්වදේශික ආදිවාසීන් "අශිෂ්ට වනචාරීන්" ලෙස නොසැලකිය යුතු ය. ඔවුහු ආදි කාලයේ ඉතා සංවර්ධිත වූ වෙනත් ශිෂ්ටාචාරවල පැවැති විවිධ සංස්කෘතීන් ගේ උරුමක්කාරයෝ ය" යි එතුමා කියයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙන්නේ මෙම සංස්කෘතික විවීධත්වය තුළ වැදගත් දේවධාර්මික පනිවිඩයක්  ද ගැබ්ව පවතින බව ය. "සැම දේශයක් තුළ ම සහ එක් දේශයේ ලක්ෂණ තුළ දෙවියන් වහන්සේ තමන් වහන්සේව ම ප්‍රකාශ කරන සේක. එසේම  එම ලක්ෂණ උන්වහන්සේ ගේ විපුල සුන්දරත්වයෙන් යමක් ප්‍රතිබිම්බනය කරයි."

මේ නිසා අපගේ දේශ තුළ පවතින විවිධත්වය පිළිගෙන ඊට ගරු කොට සංවාද මේසය වටා එකිනෙකා සමග එක්ව අදහස් හුවමාරු  කරගැනීමෙන් පමණක් සහජීවනය ගොඩ නැගිය හැකි බව එතුමා පෙන්වා දෙයි.

සුදොතුම් පියතුමා එම පරිච්ඡේදයේ දෙන මෙම උපදේශය ශ්‍රී ලංකාවට  ද පණිවිඩයකි:
"අපගේ මුල් වලින් පටන් ගෙන,  සංවාදයේ සහ පොදු බලාපොරොත්තුවේ පොදු මේසය වටා අපි වාඩිවෙමු. එසේ වූ විට තාප්පයක් ලෙස පෙනෙන අප අතර ඇති වෙනස්කම් පාලමක් ලෙස පෙනෙනු ඇත. අනන්‍යතාව සහ සංවාදය එකිනෙකා ගේ සතුරන් නොවේ. අපට වඩා වෙනස්  තැනැත්තන් සමග සංවාදයේ යෙදුනු විට අපගේ ම වූ සංස්කෘතික අනන්‍යතාව ශක්තිමත් වී පොහොසත්වනු  ඇත. බෙලහීන බවට පත් වන හුදෙකලා බව මගින් සැබෑ අනන්‍යතාව සුරක්ෂිත වන්නේ ද නැත. ... සංස්කෘතියක් තමන් වෙත ම හැරුණු විට සහ මිනිසා පිලිබඳ සත්‍යය සම්බන්ධයෙන් සාකච්ඡාවක්  හෝ විවාදයක් කිරීම ප්‍රතික්ෂේප කරන විට  එම සංස්කෘතිය  මුඩු බිමක්  බවට පත්වෙයි."

පාරිසරික සිහිනයක්
පරිසරය රැක බලාගැනීම සහ ජනතාව රැකබලා ගැනීම එකිනෙක හා යා කිරීම 

මෙම අපෝස්තලික සංදේශයේ එන දීර්ඝතම පරිච්ඡේදය මෙයයි. එසේ ම ඇමසෝනියා කලාපය ප්‍රධාන වශයෙන් ඉලක්ක කර ගත්ත ද සමස්ත ලෝකයට ම පොදු ගැඹුරු, අභියෝගාත්මක පණිවිඩයක් ගැබ්ව පවතින ප්‍රධාන පරිච්ඡේදය ද මෙයයි. මෙම පරිච්ඡේදය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ "වේ ප්‍රශංසා" සමාජ විශ්ව ලේඛනය හා සමීපව බැඳී තිබේ.

මානව පුද්ගලයා සහ සොබා දහම අතර සමීප සම්බන්ධතාවක් පවත්නා බව මෙම පරිච්ඡේදය ආරම්භයේ සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. මෙම සමීප, වෙන් කල නොහැකි සම්බන්ධතාව ආරම්භ වන්නේ දෙවියන් වහන්සේ විසින් ලෝකය මවනු ලැබීමෙනි. ඉන් පසුව "මුලින් ම අප රැකබලා ගත්තා වූ ද අපගේ සහෝදර සහෝදරියන් ද  , පරිසරය ද රැකබලා ගැනීමට අපට උගන් වන්නා වූ ද ක්‍රිස්තුන් වහන්සේ  තුළත්  දෙවියන් වහන්සේ මෙම සම්බන්ධතාව තහවුරු කරන සේක."

සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ ගේ ලේඛනයක් උපුටා දක්වන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා "ස්වාභාවික පරිසර විද්‍යාව, එනම් සොබා දහමට ගරු කිරීම, සහ මානව පරිසර විද්‍යාව" අතර වෙන් කල නොහෙන බැඳීමක් පවතින බව කියයි.

මෙම තර්කය මත, "වනාන්තර වනාහි සූරාකෑමට ලක්කළ හැකි සම්පතක් නොවේ. වනාන්තර වූ කලී අප සම්බන්ධතා පවත්වා ගත යුතු සත්තාවකි; නොහොත් සත්තාවෝ රැසෙකි," යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. (“The forest is not a resource to be exploited; it is a being, or various beings, with which we have to relate.") ඇමසෝනියාවේ ස්වදේශික ආදිවාසීන් අපට අනුප්‍රාණය දෙන්නේ මැවිල්ල ගෞරවයෙන් රැකබලා ගැනීමට ය. එහි සීමා දැනගෙන, එය අපයෝජනයෙන් වැළකී එය ගෞරවයෙන් රැකබලා ගැනීමට ය. සොබා දහම අපයෝජනය කිරීම යනු අපගේ මුතුන් මිත්තන් අපයෝජනය කිරීමකි; අපගේ සහෝදර සහෝදරියන් අපයෝජනය කිරීමකි; මැවිල්ල සහ මැවුම් කරුවාණන් අපයෝජනය කිරීමකි" යි යි එතුමා අවධාරණය කරයි.

හෘද සාක්ෂිය පසාරු කරගෙන ආකාරයෙන් මෙම ඉගැන්වීම ගැන කතා කරන ඇමසෝනියා සවදේශික ආදී වාසී ගේ ආධ්‍යාත්මික ප්‍රකාශයක් එතුමා මෙසේ උපුටා දක්වයි.
"අපි දෙවියන් වහන්සේ විසින් මවන ලද පරිසරයේ ජලය ද, වාතය ද, පොළොව සහ ජීවය ද වෙමු. මේ හේතුව  නිසා මිහි මවට අයහපත් ලෙස සැළකීමත් ඇය විනාශ කිරීමත් අවසන් කරන ලෙස අපි බලකර සිටිමු. භුමිය ද රුධිරය සහිත ය. මේ නිසා දැන් භූමියෙන් ලේ ගලමින් තිබේ, බහුජාතික සමාගම් අපගේ මිහි මව ගේ සිරුරේ ලේ නහර කපා දමා තිබේ."

මිහිතලයේ සහ සොබා දහමේ මේ වේදනාවට - විලාපයට - සවන් දී සිය දිවැසිවර හඬ සහ ක්‍රියාව අවදිකොට සොබා දහම රැකබලා ගැනීමේ මෙහෙවර ඉටු කිරීමට  සභාවට දෙවියන් වහන්සේගෙන් ම කැඳවීමක්  ලැබී ඇති බව සුදොතුම් පියතුමා මෙසේ ප්‍රකාශ කරයි:
" 'ගේ කුරුල්ලන්  පස් දෙනෙක් සත දෙකකට අලෙවි නොකෙරෙත් ද? එහෙත් ඒ අතරින් එකෙකුවත් දෙවියන් වහන්සේ ඉදිරියේ අමතක නොවන බව මම ඔබට කියමි' (ලූක් 12: 6) යයි ජේසු සමිඳාණෝ වදාළ සේක. විශ්වයේ  එක් එක් ජීවීන් අනන්ත වූ ප්‍රේමයකින් මවා වදාළ අපගේ පිය දෙවියන් වහන්සේ මිහිතලයේ මේ වේදනාවට (ඇමසෝන් කලාපයේ මේ වේදනාවට) සවන් දීමේ උන්වහන්සේ ගේ උපකරණය වන ලෙස අපගෙන් ඉල්ලා සිටියි."

සුදොතුම් පියතුමා "පාරිසරික සිහිනයක්" පරිච්ඡේදය අවසන් කරන්න මෙසේ ය:
"සභාව, සිය පුළුල් ආධ්‍යාත්මික අත්දැකීම තුළ, මැවිල්ලේ වටිනාකම පිලිබඳ සිය අළුත්කරන ලද අගැයීම  තුළ, සිය දුප්පතුන් වෙනුවෙන් තෝරාගැනීම තුළ, ලෝකය පුරා විවිධ වූ සංස්කෘතීන් රැසක් තුළ මාංශ ගත වීමේ සිය අධ්‍යාපනික සම්ප්‍රදාය සහ ඉතිහාසය තුළ, ඇමසෝනියා කලාපයේ සරක්ෂණය සහ වර්ධනය වෙත දායක වීමට කැමැත්තෙන් සිටින්නී ය"

සාරාංශ ගත කල විට, විවිධ දේශපාලන, ව්‍යාපාරික සහ ආර්ථික පෞද්ගලික අරමුණු හේතුවෙන් දේශපාලකයන් සහ ව්‍යාපාරිකයන් විසින් සොබා දහම (පරිසරය), එනම් දේව මැවිල්ල අපයෝජනය කරමින් සිටින බව  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. මෙම අපයෝජනය, අවසන් විග්‍රහය අනුව, මැවුම් කාරයාණන් අපයෝජනය කරන්නකි. මේ මැවිල්ල රැකබලා ගැනීමට සෑම එක් එක් කිතුනුවෙකුත් - කතෝලික සභාවත් කැඳවනු ලැබ සිටියි. මෙමෙ මෙහෙවර සඳහා තමන්ට ලැබී ඇති දිවැසිවර කාර්යය ගැන සභාව අවදි විය යුතු බව එතුමා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව ද උෂ්ණත්වය ඉහළ යමින්, දීර්ඝ ඉඩෝර සමයන්, ධාරානිපාත වැසි සමග එන විනාශ කාරී ගංවතුර වැනි විවිධ පාරිසරික ආපාදා වලට දැන් නිරන්තරයෙන් ගොදුරු වෙමින් සිටියි. ඒ තත්වය නොතකා දේශපාලකයන් විසින් මිහි මවට තුවාල කිරීම, අපයෝජනය කිරීම බලවත් ම දේශපාලන නායකයන් ගේ ද ආධාර උපකාර සහ අනුග්‍රහය ඇතිව දිගටම සිදු වෙමින් තිබේ.

අපෝස්තලික සංදේශයේ දිගටම කියැවෙන "ඇමේසන් වනාන්තරය" වෙනුවට යාල, විල්පත්තුව, වන්නි වනාන්තරය, හබරණ වනාන්තරය, සිංහරාජය සහ කඩොල් කැලේ යන වනාන්තර ආදේශ කළ විට පණිවිඩය එක සමාන ය. 

මේ සන්දර්භය  තුළ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ මේ වදන් ශ්‍රී ලංකාවේ සෑම කතෝලිකයකුට ම අභියෝගයකි:
"විශ්වයේ  එක් එක් ජීවීන් අනන්ත වූ ප්‍රේමයකින් මවා වදාළ අපගේ පිය දෙවියන් වහන්සේ මිහිතලයේ මේ වේදනාවට සවන් දීමේ උන්වහන්සේ ගේ උපකරණය වන ලෙස අපගෙන් ඉල්ලා සිටියි."

ශාසනික සිහිනයක්
මී ළඟ ලිපියෙන්


















Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

මැයි 30 ගෙදර ඉන්න: සුදොතුම් පියතුමා ලොව පුරා මරිය මව් සිද්ධස්ථාන සමග එකම වෙලාවේ ජපමාලය යදියි. ලෝකයේ දුක්ඛ දෝමනස්ස මරිය මව් පාමුල තබයි

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු