උතුරු කොරියා ගමනකට විවෘතව සිටිනවා - දකුණු කොරියා ජනපති සමග හමුවේදී සුදොතුම් පියතුමා කියයි

Meeting South Korean leader Pope says he is open to visit North Korea


(2018 අගෝස්තු 18)
උතුරු කොරියාවට පැමිණීමට තමන් කැමැති බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පවසා තිබේ. එතුමා මේ බව කියා ඇත්තේ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ-ඉන් මහතා එතුමන් මුණගැසුණු අවස්ථාවේ දීය.

ජනාධිපති මූන් අගෝස්තු 18 වැනිදා වතිකානයේ දී සුදොතුම් පියතුමා මුණගැසුණේය. එම හමුවේදී උතුරු කොරියාවට පැමිණෙන ලෙස එතුමාගෙන් ඉල්ලා සිටින්නැයි එරට ආඥාදායක නායක කිම් ජොං-උන් දකුණු කොරියා ජනපතිගෙන් ඉල්ලීමක් කර තිබිණි. (ඒ ගැන විස්තර මෙතැනින්: සුදොතුම් පියතුමා උතුරු කොරියාවට? කිම් ජොං උන් ගේ ඇරයුම දකුණු කොරියා ජනපති සුදොතුම් පියතුමාට භාරදෙන ලකුණු)

ජනාධිපති මූන් සුදොතුම් පියතුමාට එම ආරාධනය කලේ ඒ අනුවයි.

"(නිල) ආරාධනයක් ලැබුනොත් මා එය පිළිගන්නවා. මට එරටට යන්න පුළුවන්" යැයි ඊට පිළිතුරු ලෙස සුදොතුම් පියතුමා දකුණු කොරියා ජනපතිට පැවසූ බව එරට යොන්හැප් ප්‍රවෘත්ති සේවය වාර්තා කළේය.
"නොනැවතී සාම මාර්ගයේ  ඉදිරියටම යන්න. බිය වෙන්නට එපා" යැයි ද සුදොතුම් පියතුමා ජනාධිපති මූන්ට පැවසීයැයි යොන්හැප් ප්‍රවෘත්ති සේවාව වැඩි දුරටත් සඳහන් කරයි.

නායක හමුව පිළිබඳව වතිකානය නිකුත් කල නිවේදනයේ මෙම ආරාධනය ගැන කිසිවක් සඳහන් නොවේ. "කොරියානුවන් අතර සංවාදය සහ සමගි සන්ධානය ප්‍රවර්ධනය කිරීමේ දී සභාවේ කාර්යභාරය" ගැන නායකයන් දෙදෙනා සාකච්ඡා කලේ යැයි එම නිවේදනය පවසයි. "සාමයේ සහ සංවර්ධනයේ නව යුගයක් උදා කිරීම  සඳහා ගන්නා ක්‍රියාමාර්ග" මෙම හමුවේදී පැසැසුමට ලක්වූ බව ද එම නිවේදනයේ සඳහන් වේ.

අපෝස්තලික මාලිගයේ පුස්තකාලයට ඇතුළුවන දොරකඩ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දකුණු කොරියා ජනාධිපති මූන් ජේ-ඉන් උණුසුම්ව පිළිගත්තේ "බොහෝම ආදරයෙන් පිලිගන්නවා! ඔබව දැකීම සතුටක්" කියමිනි.

"මම මෙහි එන්නේ දකුණු කොරියාවේ රාජ්‍ය නායකයා ලෙසයි. ඒ වගේම මම කතෝලිකයෙක්.  මගේ බෞතීස්ම නම තිමති. ඉතින් මට ඔබ මුණ ගැසීමට ලැබීම ගෞරවයක්" යැයි ජනාධිපති මූන් ඊට පිළිතුරු ලෙස කීවේය.

මේ දිනවල පැවැත්වෙන රදගුරු සිනොඩ් කතිකාව නිසා පවතින කාර්ය බහුලත්වය ද නොතකා තමන් හමුවීමට අවස්තාව ලබාගැනීම ගැන ඔහු සුදොතුම් පියතුමාට ස්තුති කළේය.

සුහද කතා බහෙන් පසුව සුදොතුම් පියතුමා සහ දකුණු කොරියා ජනාධිපති වරයා පෞද්ගලිකව සාකච්ඡා කල බව වතිකාන නිවේදනය කියයි. මෙම සංවාදය විනාඩි 30ක පමණ කාලයක් පැවැතිණි.

එම සාකච්ඡාවට පසුව යෙදී තිබුණේ තෑගි හුවමාරු කරගැනීමේ අවස්ථාවයි.

කොරියානු නායකයා සුදොතුම් පියතුමාට දුන් එක් තෑග්ගක් වූයේ කටු ඔටුන්න දරා සිටින ක්‍රිස්තුන් වහන්සේ ගේ වත මඬල දැක්වෙන කොරියානු මූර්ති ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද මුර්තියකි. "මෙහි දැක්වෙන කටු කොරියානු ජනතාව ගේ දුක් වේදනායි" ඔහු විස්තර කළේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ජනාධිපති මූන්ට දුන් තෑගී අතර දෙකට බෙදුණු පදක්කමක් විය. එය ඔලිව් ගසකින් එකට යාවී තිබේ. මේ ඔලිව් ගහ කොරියානු අර්ධද්වීපයේ සාමයේ සංකේතයයි" එම තෑග්ග ඔහු අත තබමින් එතුමා කීවේය.

දකුණු කොරියානු නායකයා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගෙන් සමුගන්නට පෙර තමා පිළිගැනීම ගැන යලිත් වරක් ස්තුති කළේය.
"ඔබ කතෝලික සභාවේ නායකයා පමණක් නොවේ. ඔබ මානව සංහතියටම ගුරුවරයෙක්" යැයි ද ඔහු කීවේය.

"ඔබේ සාම වැඩපිළිවෙලට මම සුබ පතනවා" ඊට පිළිතුරු ලෙස එතුමා කියා සිටියේය.

මෙම හමුවෙන් පසු  දකුණු කොරියානු නායකයා වතිකාන රාජ්‍ය ලේකම් පියෙත්‍රෝ පැරොලින් කාදිනල් හිමිපාණන්  ද මුණගැසුණේය.

මෙම හමුවීම් වලින් පසු වාර්තා කරුවන් ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් පැරොලින් කාදිනල් හිමි උතුරු කොරියාවට පැමිණෙන ලෙස දකුණු කොරියා නායකයා මගින් සුදොතුම් පියතුමාට ඉදිරිපත් වූ ආරාධනය පිලිබඳ වාර්තා සනාථ කළේය. පාප් වහන්සේ ගේ උතුරු කොරියානු සංචාරයක්  ගැන එරට  නායකයා උනන්දුවෙන් පසුවන අතර එවැනි ආරාධනයකට තමා විවෘතව සිටින බව සුදොතුම් පියතුමා දකුණු කොරියා නායකයාට පැවසූ බව කාදිනල්හිමි කීවේය. මෙබඳු ගමනක් වෙනුවෙන් වතිකානය බැරෑරුම්ව සුදානම් විය යුතු බව ද එතුමා සඳහන් කළේය.
 




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය