"පූජක ළමා අපචාර චෝදනා ගැන අප නිසි ලෙස ක්‍රියා කලේ නෑ" - චීලි රදගුරුවරු සමාව ඉල්ලති; නව ගමනක් අරඹන බව කියති

Chilean bishops acknowledge failures in handling sexual abuse of minors: "A turning point" they say

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා චීලි රදගුරු හිමිවරුන් මුණගැසුණු මොහොත 

(2018 අගෝස්තු 8)
සිය රටේ කතෝලික සභාව මත දැවැන්ත කළු පැල්ලමක් ඇති කොට සභාවේ සදාචාරාත්මක හඬේ විශ්වසනීයත්වය පලුදු කල පූජක ළමා අපචාර සිද්ධි දාමය සම්බන්ධයෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් මුණගැසී ඉල්ලා අස්වීමේ ලිපි භාර  දීමෙන්  පසුව තමන් නව ගමනකට මුල පුරන බවට චීලි රදගුරු මණ්ඩලය ප්‍රතිඥා දී තිබේ.

ඔවුන් මෙම ප්‍රතිඥාව දුන්නේ අගෝස්තු 6 වැනිදා එරට සන්තියාගෝ අගනුවර පැවැත්වුණු ජන මාධ්‍ය හමුවකදීය. එරට සභාව මුහුණ දී සිටින මෙම අභියෝගය ගැන සාකච්ඡා කිරීම සඳහා චීලි රදගුරු සමුළුවේ අති  විශේෂ මහා සභා රැස්වීමක් ජූලි 30 වැනිදා සිට දින 5ක් පුරා පැවැත්විණි. මාධ්‍ය හමුව කැඳවනු ලැබ තිබුනේ එම සමුළුවේ තීරණ දැනුම් දීම සඳහාය.

"බරපතල පාපවල ගොදුරු බවට පත්වූවන්ට සවන් දීමේදී, ඔවුන් විශ්වාස කිරීමේදී, ඔවුන්ට උවැටන් කිරීමේදී සහ ඔවුන් කැටුව යාමේදී අපගේ වගකීම් ඉටුකිරීමට අපි අසමත් වූයෙමු," යි  තීරණ දැනුම් දෙමින් චීලි රදගුරු සමුළුවේ සභාපති සන්තියාගෝ සිල්වා රදගුරු හිමි කියා සිටියේය. "අතිශයින් වේදනාකාරී පූජක ළමා අපචාර සම්බන්ධයෙන් සේම බලය හා අධිකාරීත්වය අනිසි ලෙස භාවිත කිරීම් සම්බන්ධයෙන් වූ චෝදනාවලදී ද වහාම ක්‍රියාත්මක වීමට අපොහොසත් වීම ගැන ඊට ගොරු වූ සියල්ලන්ගෙන් රදගුරු හිමිවරුන් වශයෙන්  අපි සමාව ඉල්ලා සිටිමු," යි එතුමා පැවසුවේය.

ළමා අපචාර චෝදනාවලට ප්‍රතිචාර දැක්වීමේ ජාතික මාර්ගෝපදේශ මාලාවක් මෙම සමුළුවේදී සකස්කරගත් බව සිල්වා රදගුරු හිමි ප්‍රකාශ කළේය. එතුමා හඳුන්වා දුන්නේ  මෙය නව ගමනක ආරම්භයක් ලෙසයි.

එක් තීරණයක් වන්නේ ළමා ලිංගික අපචාර පිලිබඳ සිද්ධි වලදී ඒ පිලිබඳ තොරතුරු සිවිල් බලධාරීන් වෙත ලබා දීමට ක්‍රියා කිරීමයි. මේ සම්බන්ධයෙන් කතෝලික සභාව මට්ටමින් මෙතෙක් සිදු කලරන ලද සියලු විමර්ශන වල වාර්තා ද සිවිල් බලධාරීන් වෙත ලබා දෙන බව සන්තියාගෝ සිල්වා රදගුරු හිමි කියා සිටියේය. මෙම තොරතුරු සඟවා වරදකරුවන් ආරක්ෂා කරන බවට එරට සභාවට දිගින් දිගටම චෝදනා එල්ල වී තිබිණි.

රදගුරුවරුන් වශයෙන් සිය මීසම් වාසීන් සමග සම්බන්ධ වීමේ නව මාර්ග ගවේෂණය කිරීමටද චීලි රදගුරු හිමිවරු තීරණය කළහ. මේ අනුව මෙවැනි අපරාධවලට ගොරුවුවන් වෙනුවෙන් වඩා වැඩි කාලයක් වෙන් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට  ඔව්හු බලාපොරොත්තු පල කළහ.

මේ අතර ළමා අපචාර චෝදනා ලද පූජකවරුන් 14 දෙනෙකුගේ තොරතුරු වසන් කල බවට පවතින  චෝදනාවලට පිළිතුරු දීම සඳහා  සන්තියාගෝ අගරදගුරු රිකාඩෝ එට්සාටි කාදිනල් හිමියන් එරට අධිකරණයට කැඳවා ඇති බවද සිල්වා රදගුරු හිමි හෙළිදරව් කළේය. චෝදනා ලැබූ පූජකවරුන් ආරක්ෂා කිරීම හා වසන් කිරීමේ චෝදනා නිසා කාදිනල් එට්සාටි හිමි සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට චීලි ජනතාව හඬ නගමින් සිටියි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ චීලි අපෝස්තලික සංචාරයෙන් පසුව එරට පූජක ළමා අපචාර අපකීර්තිය එතුමාට ද අභියෝගයක් බවට පත්විය. මේ නිසා ඒ සම්බන්ධයෙන් සාක්ෂි විමසා විමර්ශනයක් කිරීම පිණිස දක්ෂ විමර්ශකයකු ලෙස ගෞරවයට ලක්ව සිටින චාල්ස් ෂික්ලූනා අගරදගුරු හිමි සුදොතුම් පියතුමන් විසින් චීලියට යවනු ලැබිණ.ෂික්ලූනා අගරදගුරු හිමිය සිය පරීක්ෂණය අලලා පිටු 2300කට අධික ප්‍රමාණයකින් යුත් වාර්තාවක් සුදොතුම් පියතුමා වෙත භාර දුන්නේය. සුදොතුම් පියතුමා චීලි සභාවේ ප්‍රතිසංස්කරණ ආරම්භ කලේ මෙම වාර්තාව පදනම් කරගනිමිනි.

එම තොරතුරු මේ සම්බන්ධතා වලින් කියවන්න.
පාප්වහන්සේට වරදින්න පුළුවන් ද? ඔව්. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තම වරද පිළිගනියි; සමාව ඉල්ලයි

චිලීයේ සියලුම රදගුරු හිමිවරු සිය ඉල්ලා අස්වීම් සුදොතුම් පියතුමාට භාර දෙති (UPDATED)

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ප්‍රතිචාරය
චීලි රදගුරු හිමිවරුන් කල මෙම ප්‍රකාශයෙන් පසුව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඊට සිය ස්තුතිය ප්‍රකාශ කරමින් එම රදගුරු සමුළුව වෙත ලියුමක් යවා තිබේ. මෙහි ඇති විශේෂත්වය එය සුදොතුම් පියතුමාගේ අත්  අකුරින්ම ලියා එවන ලද්දක් වීමයි. චීලි රදගුරු සමුළු සභාපති සන්තියාගෝ සිල්වා රදගුරු හිමිපාණන් වෙත මෙම ලිපිය යොමු කර තිබේ.

"ඔබගේ මෙනෙහිකිරීමේ, නිශ්චය කිරීමේ සහ තීරණය කිරීමේ ක්‍රියාකාරකම ගැන මම සතුටට පත්ව සිටිමි" යි සුදොතුම් පියතුමා සිය ලිපියෙන් කියා සිටියි. මේ ප්‍රශ්නය  සම්බන්ධයෙන් රදගුරුවරුන් ගත් තීරණ "යථාර්ථවාදී සහ ප්‍රත්‍යක්ෂ" ඒවා බව ඔවුන්ට ප්‍රශංසා කරමින් එතුමා සඳහන් කරයි.

විශේෂයෙන්ම සිය සිත් ගත්තේ "ශුද්ධවන්තවූ ද විශ්වාසවන්ත වූද දේව ජනතාවට මග පෙන්වීම සඳහා රදගුරු සංඝය එක්සත්ව එකමුතුව ක්‍රියා කිරීමයි; මෙම  ප්‍රගමනශීලි ආදර්ශය වෙනුවෙන් ඔබට ස්තුතියි" යනුවෙන් ද සුදොතුම් පියතුමා කියා සිටියි.







Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය