"ඔබ තවත් කෙනෙකුට වඩා ශ්‍රේෂ්ඨ යැයි නොසිතන්න" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කාදිනල් හිමිවරුනට කියයි."ඔබට ලැබිය හැකි ඉහලම උසස් වීම දේව ජනතාව අතර අල්පවුනට සේවය කිරීමයි"

"Act as servants to the people under your care": Holy Father tells world's Cardinals 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නව කාදිනල් හිමි නමකට රක්ත වර්ණ බිරෙට්ටාවක් පළඳවමින් 


ලොව පුරා කාදිනල් හිමිවරුන් ක්‍රියා කළ යුත්තේ තමනට භාරවන ජනතාවගේ සේවකයන් හැටියට බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. පුද්ගලයකුට ලැබිය හැකි විශිෂ්ටතම උසස්වීම ජනතාව අතර  ඉතා සුළුම තැනැත්තන් තුළ වෙසෙන ක්‍රිස්තුන්  වහන්සේට සේවාව කිරීම බව ද එතුමා කියයි. කිසිදු කෙනෙකු තමන් වෙනත් කෙනෙකුට වඩා ශ්‍රෙෂ්ඨ බව නොසිතිය යුතු බව ද එතුමා සියලු කාදිනල් හිමිවරුනට පෙන්වා දෙයි.

"අපට ලැබිය හැකි ඉහලම ගෞරවය හා විශිෂ්ටතම උසස්වීම මෙයයි: එනම් දෙවියන් වහන්සේගේ විශ්වාසිකයන් තුළ සිටින ක්‍රිස්තුන් වහන්සේට සේවාව කිරීම" යයි එතුමා පෙන්වා දුන්නේය.

"විශ්වසනීය අධිකාරීත්වය පැණනගින්නේ  අපගේ සේවාව ලබන ජනතාවගේ පා මුල හිඳීම සහ  සාගින්නෙන් පෙලෙන, සිරගත කරන ලද, රෝගී වූ , දුක් පීඩා විඳින, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ, සමාජයෙන් ඉවතට විසිකරන ලද ඈ ලෙසින් තමාගේ ම වූ ජීවිත අත්දැකීම් හා  ජීවිත කතන්දරත්,  බලාපොරොත්තු සහ අපේක්ෂා භංග වීමත්, රිදවීම් සහ තුවාලත් සහිත සැබෑ ජනතාවට සේවය කිරීමත් වෙතිනි."

" වෙනත් කෙනෙකුට  වඩා අප ශ්‍රෙෂ්ඨ යයි අපි  කිසිවෙකුත්  නොසිතිය යුතු වෙමු.  අප කිසිවෙකුත්  වෙනත් අය දෙස ඉහළ සිට නොබැලිය යුතුය. මේ ආකාරයෙන් අප කිසියම් පුද්ගලයකු දෙස බැලිය යුත්තේ එම තැනැත්තාට නැගිට සිටින්නට උදව් වන අවස්තාවක පමණයි" යයි සුදොතුම් පියතුමා ලොව පුරා කාදිනල් හිමිවරුනට අනුශාසනා කරමින් කියා සිටියේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ කරුණු පෙන්වා දුන්නේ අභිනව කාදිනල් හිමිවරුන් 14 නමක් ස්ථාපනය කිරීම නිමිත්තෙන් පැවැත්වුණු දේව මෙහෙයේ ධර්මානුශාසනය කරමිනි.  වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ දී ජුනි 28 වැනිදා පැවැත්වුණු මෙම දේව මෙහෙයට ලොව පුරා කාදිනල් හිමිවරුන් 100කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.

මෙම ධර්ම දේශනය සඳහා එතුමන් පාදක කර ගත්තේ එදින දිනට නියමිත මාක් සුබ අස්නෙන් උපුටා ගත්  කොටසයි. ශ්‍රාවකයන් ජෙරුසලෙම වෙත ගමන් කරමින් සිටයදී ඔවුන් ඉදිරියෙන් පා නගමින් සිටි ජේසු සමිඳුන් සිය දුක්ප්‍රාප්තිය ගැන තුන් වන වරටත් කළ ප්‍රකාශනය මෙම සුබ පුවතට ඇතුලත් වී තිබිණි.

එම සිද්ධිය ගැන සිහිපත් කරමින් සුදොතුම් පියතුමා මෙසේ කියා සිටියේය: "ශ්‍රාවකයන් ගේ සිත් තුළ සැඟවී තිබුණු රහස් හෙළිදරව් නොකර නොසිටීමට ශු. මාර්කු තුමා එඩිතර වෙයි. එනම්, ඔවුන් ගේ සිත් තුළ නලියමින් තිබූ ගෞරවය  ලුහුබැඳ යාමට ආශාව, ඊර්ෂ්‍යාව, වෛරය, කුමන්ත්‍රණ සහ කූටෝපාය, හැඩගැසීම සහ අනුග්‍රහය හා හෙට්ටු කිරීම වැනි රහස් ය. එහෙත් ක්‍රිස්තුන් වහන්සේ ඒවායින් සන්තාපයට පත් නොවන සේක. එහෙත් උන්වහන්සේ දිගටම පිය නගමින්  ඉතා බලවත්ව ශ්‍රාවකයන්ට  මෙසේ පවසති: 'එහෙත් ඔබ අතරේ එසේ නොවේවා! ඔබ අතරේ ශ්‍රෙෂ්ඨයා වීමට කැමති තැනැත්තේ සෙසු අයගේ දාසයා වේවා!' යි උන්වහන්සේ ඔවුනට උපදෙස් දෙති. "

ක්‍රිස්තුන් වහන්සේ ගේ මේ උපදේශය තමන්  සැමදා ගායනා කිරීමට කැඳවනු ලැබ සිටින මඥ්ඥිෆිකාත් ගීතිකාව සහ භාග්‍ය දේශනය බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කාදිනල් හිමිවරුනට පෙන්වා දුන්නේය. "ක්‍රිස්තුන් වහන්සේ ගේ එම ප්‍රකාශය, සිය  හදවත් ලෞකික මානසිකත්ව තුළ  සිරගතවී  සහ  අවලක්ෂණ වී,  වැදගත් වූ දේවලට සැබවින්ම  අන්ධ වී සිටින ශ්‍රාවකයන්ට කල අභියෝගයක් මෙන්ම දිරිමත් කිරීමක් ද වේ."

"අපගේ ඇතුළාන්තය මළ බැඳ දිරාපත් වී ඇත්නම්, මුළු ලෝකයම  දිනා ගත්තත් අපට ඇති ලාබය කුමක්ද?" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙහෙයට එක්වූ නවක සහ ජ්‍යෙෂ්ඨ කාදිනල් හිමිවරුන් හමුවේ ප්‍රශ්න කළේය.  "අපගේ හදවත් වියළවා අපගේ දූත මෙහෙවරට බාධා කරන හුස්ම හිර කරන තරමේ කූටෝපායවල අප නිරතව සිටින්නේ නම්, මුළු ලෝකය දිනා ගත්තත් අපට ලැබෙන ලාබය කුමක්ද?"

වඩා වැදගත් වන්නේ කවුරුන්දැයි අඬ දබර කිරීමෙන් වැලැකී පීඩාවට පත්ව සිටින ඔබගේ සහෝදර සහෝදරියන් වැළඳගෙන ඔවුන් කැටුව යන්නැයි එතුමා කාදිනල් හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියේය. "එඬේරා ගේ අධිකාරිත්වයට සුබ අස්නේ රසය ලැබෙන්නේ එවිටය; එම අධිකාරිත්වය ඝෝෂාව නගන සීනුවක් ලෙස  නොපෙනෙන්නේ එවිටය" යි එතුමා  සඳහන් කළේය.

"සිත්මාරුව, සිත් හැරීම සහ සභා ප්‍රතිසංස්කරණ දැනටත් සදහටත් ධර්මදානයේ යතුර බව ජේසු සමිඳාණෝ උගන්වති. අපගේම ලැදියාවන් හා උනන්දුවක් දක්වන දේ පමණක් සොයා යාමත් ඒවා ආරක්ෂා කිරීමත් අවසන් කිරීමට එය අපට බල කරයි... මේ නිසා අපගේ  දුර නොදැකීම හෝ නිෂ්ඵල අඬදබර ප්‍රතිසංස්කරණවලට බාධාවක් කිරීමෙන් වළකින්නැයි" ද එතුමා කාදිනල්  හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

නව කාදිනල් හිමිවරු

ධර්ම දේශනයෙන් පසුව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අලුතින් නම් කරන ලද කාදිනල් හිමිවරුන් 14 නමට එම නිලයේ ප්‍රධාන සලකුණක් වන රක්ත වර්ණ බිරෙට්ටාව (Biretta)  පැළඳවීය.

නව කාදිනල් හිමිවරුන් අතර කැපීපෙනෙන කෙනෙකු වන්නේ ඉරාකයේ  චැල්දියාන පේත්‍රියාක්තුමා වන ලුවිස් රෆායෙල් I සකෝ හිමිපාණෝයි.  ඇමෙරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කිරීමෙන් පසුව සිය ජනතාවට විදින්නට සිදුවී ඇති දුක් පීඩා ගැන එඩිතරව හඬ නගන්නකු ලෙස එතුමා ගෞරවයට පාත්‍රව සිටියි.

කාදිනල් බිරෙට්ටාව ලද තවත් කෙකෙනු වන්නේ ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා ගේ  දාන අංශයේ ප්‍රධානියා වන පෝලන්ත ජාතික කොන්රඩ් ක්‍රජෙව්ස්කි අගරදගුරුතුමායි. එතුමා සිය ජීවිත කාලය පුරා දුප්පත්, කොන්වූ  සහ පීඩිත ජනතාවට සේවය කිරීම දූත මෙහෙවර කරගත් රදගුරු නමකි. සුදොතුම් පියතුමා ගේ දයා සේවා අංශයේ ප්‍රධානියා ලෙස පත් කිරීමෙන් පසුව එතුමා රෝමයේ දුප්පත් සහ ගෙයක් රහිත ජනයා වෙනුවෙන් සේවා රැසක් ක්‍රියාත්මක කළේය. රෝමයේ ගෙයක් නැති ජනයා මුහුදේ නෑමට ගෙන යද්දී එම වාහනයේ රියැදුරු ලෙස වෑන් රථය පදවාගෙන යන්නේ  ද මේ අගරදගුරු තුමාමය.

පාකිස්තානයට, ජපානයට සහ  මැඩගස්කරයට ද කාදිනල් හිමිවරුන් ලැබිණි. ජපානයේ සහ මැඩගස්කරයේ කාදිනල්වරුන් පත්කර තිබෙන්නේ ඒවායේ ප්‍රධාන පදවිවලින් නොවීම ද  වැදගත් සිදුවීමකි.

නව කාදිනල් හිමිවරුන් ගැන මෙතැනින් කියවන්න:
සභාවට නව කාදිනල් හිමිවරු 14 නමක් - ස්ථාපනය ජුනි 29 - මැඩගස්කරයට සහ පාකිස්ථානයටත් කාදිනල් හිමිවරුන්



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය