සභාවට නව කාදිනල් හිමිවරු 14 නමක් - ස්ථාපනය ජුනි 29 - මැඩගස්කරයට සහ පාකිස්ථානයටත් කාදිනල් හිමිවරුන්

Holy Father to create 14 new Cardinals on June 29 



(2018 මැයි 20)
නව කාදිනල් හිමිවරු 14 නමක්  ස්ථාපනය කරන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රකාශ කරයි. කතෝලික සභාවේ මහා මංගල්‍යයක් වන ශු. පේදුරු- පාවුළු අපෝස්තුළුවරුන් ගේ මංගල්‍යය යෙදෙන ජුනි මස 29 වනදා ඔවුන් ස්ථාපනය කරන බව ද එතුමා ප්‍රකාශ කළේය.

"මෙම කාදිනල් හිමිවරුන් ගේ සම්භවයෙන් ප්‍රකාශිත  වන්නේ දෙවියන් වහන්සේ ගේ කරුණාබර ප්‍රේමය පොළොවේ සියලු ජනතාව වෙත අඛණ්ඩව පතළ කරන සභාවේ  විශ්වීය බවය. ...නව කාදිනල් හිමිවරුන් අතර රෝම පදවියේ හිමිවරු  ද වෙති. ඔවුන් සංකේතවත් කරන්නේ පේදුරු තුමා ගේ අසුනත් ලොව පුරා පැතිර ඇති ස්වදේශීය සභාත් අතර ඇති වෙන් කල නොහැකි බැඳීමයි" යයි මෙම තීරණය ප්‍රකාශයට පත් කරමින් සුදොතුම් පියතුමා කීවේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නව කාදිනල්  හිමිවරුන් නම් කලේ අද පැවැත්වුණු ශුද්ධාත්ම මංගල්‍ය දින දිව්‍ය පූජාව අවසානයේ දීය.

එතුමන්  විසින් නම් කරන ලද නව කාදිනල්හිමිවරුන් 14 නම අතරින් තුන් නමක් 80 වැනි විය ඉක්මවූ අයයි. මේ නිසා සසුන් පිය වරණ දැහැනක දී එතුමන්ලාට ඡන්දය  ප්‍රකාශ කල නොහැකිය. ඒ අතර එක්  නමක් ස්පාඥ්ඥ ජාතික ක්ලැරේෂියාන නිකායික පියනමකි.

වයස අවුරුදු 80 ට අඩු නව කාදිනල් හිමිවරු 11 නම මෙසේය:
ඉරාකයේ චැල්දියාන කතෝලිකයන් ගේ නායක ලුවිස් රෆායෙල් පළමුවැනි සාකෝ බැබිලෝනයේ පේත්‍රියාක් තුමා (ඉරාකය )
විශ්වාස ධර්මය පිලිබඳ පර්ෂදයේ ප්‍රධානි ලුයිස් ලදේරියා අගරදගුරු හිමි (ස්පාඥ්ඥය )
රෝම පදවියේ අනුනායක ඇන්ජෙලෝ ද දොනාතිස් අගරදගුරු හිමි (ඉතාලිය)
වතිකානයේ නියෝජ්‍ය  රාජ්‍ය ලේකම් සහ මෝල්ටාවේ නයිට්වරුන් ගේ සේනාවේ විශේෂ නියෝජිත ජියෝවන්නි ඇන්ජෙලෝ බෙචියු අගරදගුරු හිමි (ඉතාලිය)
සුදොතුම් පියතුමා ගේ දයා  සේවා (පුණ්‍ය කටයුතු ) ප්‍රධානි කොන්රඩ් ක්‍රජෙව්ස්කි අගරදගුරු හිමි (පෝලන්තය)
ජෝසප් කූට්ස් අගරදගුරු හිමි (කරච්චිය, පාකිස්තානය )
අන්තෝනියෝ දොස් සාන්තොස් මාර්තෝ රදගුරු හිමි (ලීරා-පාතිමා, පෘතුගාලය)
පෙද්‍රෝ බරෙටො අගරදගුරු හිමි (හුයන්කායෝ, පීරු)
දෙසරේ ට්සරහ්සානා අගරදගුරු හිමි (ටෝමැනිසා, මැඩගස්කරය)
ජිසේප්පේ පෙට්‍රොච්චි අගරදගුරු හිමි (ලෙ'අකිලා, ඉතාලිය)
තෝමස් අක්වයිනස් මන්යෝ අගරදගුරු හිමි (ඔසාකා, ජපානය )

වයස අවුරුදු 80ට වැඩි හිමිවරු:
සර්ජියෝ ඔබෙසෝ රිවෙරා විශ්‍රාමලත් අගරදගුරු හිමි (ක්සලාපා, මෙක්සිකෝව)
තොරිබියෝ තිකෝනා පොර්කෝ විශ්‍රාමලත් රදගුරු හිමි ( කොරෝකොරෝ, බ්‍රසීලය)
ක්ලැරේෂියාන නිකායික අකිලිනෝ බොස්කොස් මෙරිනෝ පියතුමා (ස්පාඥ්ඥය)

නව කාදිනල් හිමිවරුන් ගේ විශේෂතා 

නව කාදිනල් හිමිවරුන් නම්  කරද්දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මුලින්ම ප්‍රකාශයට පත් කලේ ඉරාකයේ ලුවිස් රෆායෙල් I සාකෝ චැල්දියාන පෙත්රියාක් තුමා ගේ නමයි. එතුමා සිය ජනතාව විඳින දුක් ගැහැට සම්බන්ධයෙන් නිරන්තරයෙන් හඬ නගන රදගුරු හිමි නමක් ලෙස ගෞරවයට පත්වී සිටියි.  2003 ඇමෙරිකානු ආක්‍රමණයේ සිට සිය ජනතාව මුහුණ දෙන ගැහැට ගැන එතුමා කතා කරයි.

සම්ප්‍රදායෙන් ඉවත් වූ තවත් කාදිනල් පත්කිරීමක් වන්නේ සුදොතුම් පිය දයා සේවා අංශයේ ප්‍රධානි කොන්රඩ් ක්‍රජෙව්ස්කි අගරදගුරු තුමන් ගේ පත්වීමයි. එතුමා අගරදගුරු තුමකු වුවද එම පදවිය තුළ පාලකයකු නොව සේවකයකු ගේ භූමිකාව ඉටු කරන පුදැදුරු නමකි. නිදසුනක් ලෙස, එතුමා  රෝමයේ ගෙයක් දොරක් නැති ජනයා වෙනුවෙන් ග්‍රීෂ්ම කාලයේ  මුහුදේ නා වෙරළේ පිට්සා දිවා භෝජනයක් ලබා දීමේ සේවාවක් සිදුකළේය. මෙලෙස එම ජනයා වෙරළට  ගෙනයනු ලබන වාහනයේ රියදුරා වූයේත් එතුමා මය. වෙරළේ දී ඔවුනට නාන ඇඳුම් සහ තුවා ආදිය බෙදා දුන් අය  අතරද එතුමා සිටියේය.

වතිකානයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඇන්ජෙලෝ බෙචියු අගරදගුරු හිමි, මොල්ටාවේ නයිට්වරුන් ගේ  ස්වෛරී සේනාංකයට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් පත්කරන ලද විශේෂ නියෝජිතයා ද වේ. මේ දක්වා ඉපැරණි ව්‍යවස්ථාවකට කටයුතු කරන එම සේනාංකයේ නායකත්ව අර්බුදයක් මතු වූ අවස්ථාවේ සුදොතුම් පියතුමා විසින් එම පත්වීම සිදු කරන ලදී. අර්බුදය මහා ගැටළුවක් වීම වලක්වා එම සේනාංකයේ ප්‍රතිසංස්කරණ සිදු කෙරෙන්නේ එතුමා ගේ අධීක්ෂණය මතය. මෙම  සේනාංකයට මඟ පෙන්වීම සඳහා එතුමාට මෙම කාදිනල් ධුරය මහත් සහයක් වනු ඇත.

අලුතින් කාදිනල් හිමිවරුන් පත් කළ රටවල්  කිහිපයකටම දීර්ඝ කාලයකින් කාදිනල් හිමි නමක් සිට නැත. 2007 දී ස්ටීවන් හමෝ කාදිනල් හිමි සග සැපත් වූ පසුව ජපානයට කාදිනල් තුමකු සිටියේ නැත. පාකිස්තානයට සිටි අවසන් කාදිනල් තුමා 1994 දී ස්වර්ගස්ථ වූ ජෝසප් කොර්දේරියෝ කරච්චියේ අගරදගුරු තුමාය. ඇන්ටනනාරිවෝ හි අගදරගුරු ආර්මන්ඩ් රසෆින්ද්‍රතන්ද්‍රා හිමියන් 2010 දී සග සැපත් වූ පසු මැඩගස්කරයට ද කාදිනල් නමක් සිටියේ නැත.

සංයුතිය

මෙය ප්‍රැන්සිස් සුදොතුම් පිය සමයේ පැවැත්වෙන 5 වැනි කාදිනල් හිමි ස්ථාපනයි.

මෙම කාදිනල් වරුන් ස්ථාපනය කිරීමේ මෙහෙයෙන් පසුව කතෝලික සභාවේ ඡන්දය හිමි කාදිනල් හිමිවරුන් ගේ සංඛ්‍යාව 125 දක්වා ඉහල යයි. මේ අතරින් 59 දෙනෙකුම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් පත් කරන ලද අයයි. 47 නමක් සොළොස්වන බෙනඩික් විශ්‍රාමලත් පාප් වහන්සේ විසින් පත්කරන ලද අය වන අතර 19 දෙනෙකු ශු.  දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ විසින් පත් කරනු ලැබූ අය වෙති.

එසේම මෙම පත්කිරීම් වලින් පසුව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ධුර කාලය තුළ ප්‍රථම වතාවට ඡන්දය හිමි කාදිනල් හිමිවරුන් ගේ සංඛ්‍යාව  120ට වැඩි වනු ඇත. මෙම සංඛ්‍යාව නියම කරන ලද්දේ භා. සවැනි පාවුළු පාප් තුමන් විසිනි. එහෙත් ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ ගේ සමයේ ද එම සංඛ්‍යාව අතික්‍රමණය කරනු ලැබිණ.

සේයාරුව: 2017 කාදිනල් ස්ථාපන මෙහෙය


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය