සුදොතුම් පියතුමාට තිළිණ කළ ලැම්බෝගිනිය ඩොලර් මිලියනයකට වෙන්දේසි වෙයි; ලත් මුදල දයාවේ සේවා වලට

Pope's Lamborghini auctioned for nearly $1 million


(2018 මැයි  14)
ඉතාලියේ ලැම්බෝගිනි නිෂ්පාදන සමාගම විසින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ට පිරිනමන ලද ලැම්බෝගිනි  මෝටර රථය ඉකුත් සෙනසුරාදා (මැයි 12) එංගලන්තයේ ලන්ඩන් නුවර සෝත්බි හිදී වෙන්දේසි කරන ලදී. එම වෙන්දේසියේදී එම රථය ස්ටර්ලිං පවුම් 630,000කට (ඇ.  ඩොලර් 950,000කට) නම සඳහන් නොකෙරුණු පුද්ගලයකුට අලෙවි වූ බව බ්‍රිතාන්‍ය වාර්තා පවසයි.

ලැම්බෝගිනි හරකන් වර්ගයේ මෙම රථය එහි ඉතාලි ජාතික නිෂ්පාදකයන් විසින් සුදොතුම් පියතුමන්ට පිරිනමන ලද්දේ 2017 නොවැම්බර 15 දාය. එතුමන් වෙනුවෙන්ම නිෂ්පාදනය කරන ලද මෙම රථය සුදොතුම් පිය නිල වර්ණ වන සුදෝ සුදු පැහැය  හා රන්වන් රේඛා වලින් සමන්විත විය. සිය නිවස වන සාන්තා මාර්තා තානායමේදී රථය පිළිගත් සුදොතුම් පියතුමා, එය ආශීර්වාද කොට,  එහි බොනට්ටුව මත සිය අත්සන යොදා එය වෙන්දේසි කර එයින් ලැබෙන මුදල සිය දයාවේ සේවා (පුණ්‍ය කටයතු) වෙනුවෙන් ලබා දෙන ලෙස ඉල්ලා නිෂ්පාදකයන් වෙත යළි බාර දුන්නේය. මැයි 12 වැනිදා වෙන්දේසි කරන ලද්දේ එම රථයයි.

අදාළ පුවත: පාප් වහන්සේගේ ලැම්බෝගිනිය වෙන්දේසියට - අරමුදල් අසරණයන් හා පීඩාවට පත්වූවන් වෙනුවෙන් 

මේ සඳහා ලැබුණු පවුම් 630,00ක මුදල හරකාන් වර්ගයේ රථයක මිල මෙන් සිව් ගුණයක් බව බ්‍රිතාන්‍ය ඔටෝ මොබයිල් සඟරාවක් කියයි. මෙම මුදල  සුදොතුම් පියතුමන් ගේ දයා සේවා තුනක් වෙනුවෙන් යෙදීමට නියමිතය. ඒවා නම්, ඉරාකයේ  නිනිවේ තැන්නේ යුද්ධයෙන් විනාශ වූ ගම්මාන පිළිසකර කිරීම, මිනිස් ජාවාරමට ගොදුරුවූවන්ට පිහිට  වීම සහ අප්‍රිකාවේ ධර්මදූත සේවාවයි.

2014 දී මුලින්ම නිපදවන ලද හරකන් රථය මේ වන විට ලැම්බෝගිනි රථ අතර අතිශයින්ම ජනප්‍රිය රථය බවට පත්ව ඇති බව ඔටෝ රථ සඟරා වල සඳහන් වේ. "හරකන්" යන ස්පාඥ්ඥ වචනයේ තේරුම "Hurricane" හෙවත් "චණ්ඩ මාරුතය" යන්නයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ගමන් බිමන් සඳහා කිසිසේත් සුඛෝපභෝගී  රථ භාවිත නොකරයි. ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් කාදිනල් අගරදගුරු තුමන් ලෙස සිටියදී එතුමා ගමන් ගියේ පොදු බස්රථ සහ දුම්රියවලිනි. මෝටර රථ භාවිත කලේ නැත.වතිකානයේ දී මුලින්ම එතුමා භාවිත කලේ 1984 රෙනෝල්ට් 4 වර්ගයේ මෝටර රථයක් වූ අතර පසුව වතිකාන මෝටර රථ ගාලේ තිබූ ෆෝඩ් ෆෝකස් රථයක් ඉතාලිය තුල ගමන් බිමන් සඳහා යොදා ගත්තේය. මේ වන විට එතුමා ඉතාලියේ නිෂ්පාදිත ෆියට් 500L රථයක් භාවිත කරයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එතුමාට පිරිනැමුණු රථ සියල්ලම වෙන්දේසියට තබා එම මුදල් දයා සේවා සඳහා  ලබා දුන්නේය.  මේ අයුරින් 2013 දී එතුමනට තෑගී ලැබුණු ඩයිනා සුපර් ග්ලයිඩ් වර්ගයේ හාලි ඩේවිඩ්සන් මෝටර සයිකලයක් ඩොලර් 327,000කට වෙන්දේසි විය. එය වෙන්දේසියට පෙර තක්සේරු කර තිබුනේ ඩොලර් 16,000 - 22,000 අතර මිලකටය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය