පාප් වහන්සේගේ ලැම්බෝගිනිය වෙන්දේසියට - අරමුදල් අසරණයන් හා පීඩාවට පත්වූවන් වෙනුවෙන්

Pope's newest gift to the poor, persecuted and the downtrodden - A "Papal Lamborghini"  


(2017 නොවැම්බර 15)
'සුපිරි' ලැම්බෝගිනි මෝටර රථ 'සංවර්ධනය වෙමින් පවතින' ශ්‍රී ලංකාවට අමුත්තෙක් නොවේ.

රාජ රාජ මහාමාත්‍යාදීන් හා ඔවුන් ගේ දරුවන් පරිහරණය කරන ලම්බෝගිනිය  පාප් වහන්සේට කදිම "පෝප් මොබයිල්" රථයක් බවටත්  පත්විය හැකිය.  ඉතාලියේ ලැම්බෝගිනි මෝටර රථ නිෂ්පාදකයන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ට නොවැම්බර 15 වනදා අලුත්ම ලැම්බෝගිනි හුරකාන් රථයක් පිරිනැමුවේ මේ අරමුණිනි.

එය භාරගෙන ඉතාලියේ ප්‍රසිද්ධ වෙන්දේසි සමාගමකට භාරදුන් සුදොතුම් පියතුමා ඉල්ලා සිටියේ එය වෙන්දේසි කොට එම මුදල තමාට ලබා දෙන ලෙසයි. මෙයින් ලැබෙන අරමුදල තමන් යටතේ ක්‍රියාත්මක වන දයා සේවා තුනකට පිරිනමීමට සුදොතුම් පියතුමා තීරණය කර තිබෙන බව වතිකානය අද ප්‍රකාශ කළේය.

මෙම සුඛෝපභෝගී  මෝටර රථය පාප් වහන්සේ ගේ නිල වර්ණ වන ධවල පැහැය හා රන් රේඛා වලින් සමන්විතය. නොවැම්බර 15 දා බදාදා පොදු හමුවට පැමිණීමට පෙර ලැම්බෝගිනි නිෂ්පාදක සමාගමේ නියෝජිතයෝ මෙම රථය එතුමනට පිරිනැමුහ. එහි බොනට්ටුව මත සිය අත්සන යෙදූ එතුමා එය ආශීර්වාද කර වෙන්දේසිය සඳහා භාර දුන්නේ ය.

වෙන්දේසියෙන් ලබා ගන්නා මුදල් දයා සේවා තුනක් සඳහා යොමු කෙරේ.

අයිසිස් (ISIS ) ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් සිය නිවෙස් වලින් පලවා හරින ලද  ඉරාකයේ නිනිවේ තැන්නේ කිතුනුවන් යලි පදිංචි කිරීම සඳහා අරමුදලින් කොටසක් යොදවනු ලැබේ. මෙහි කටයුතු සම්බන්ධීකරණය කරනු  ලබන්නේ තර්ජනවලට ලක්වූ   කිතුනු ජනතාවට ආධාර කරන දයා සේවා සංවිධානයක් වන Aid to the Church in Need ආයතනය විසිනි. ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් විනාශ කරන ලද මෙම ජනතාවගේ නිවාස, දෙව්මැදුරු සහ ප්‍රජා මධ්‍යස්ථාන යලි ගොඩනගා එම ජනතාව  යළි පදිංචි කිරීමට මෙම ආයතනය කටයුතු කරමින් සිටියි.

නීති විරෝධී මිනිස් පරිවහනයට හා බලහත්කාර  ගණිකා වෘත්තියට හසුව සිට එයින් මුදා ගන්නා ලද කාන්තාවන් නගා සිටුවීම සඳහා එම අරමුදලින් තවත් කොටසක් යොදා ගැනේ. එය සම්බන්ධීකරණය  කරනු ලබන්නේ ඉතාලියේ  23 වැනි ජුවාම් සමාජය විසිනි. අරමුදලින් තවත් කොටසක් අප්‍රිකාවේ විශේෂ වෛද්‍ය සේවා සඳහා එම කලාපයේ දයා සේවා ආයතනයකට පිරිනැමෙනු ඇත.

"ඔබට සුඛෝපභෝගී මෝටර රථයක් මිලදී ගන්නට පරීක්ෂාවක් පැමිණි විට, අද රාත්‍රියේ මිලියන කීයක ජනතාවක් කුස ගින්නේ නින්දට යනවා දැයි සිතන්න" යයි සුදොතුම් පිය ධුරය ලැබුණු අලුත දෙව්සත්හලක් බලන්නට ගිය එතුමා සිටි පැවිදි පුජක, ගිහි  සියල්ලන් අමතා කිටා සිටියේය.

මෙහි එන සේයාරුවේ දැක්වෙන්නේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෝටර රථයේ සිය අත්සන (Autograph) තැබූ අවස්ථාවයි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය