"මරිය මව මිනිසත් බවේ සදා හරිත කෙම් බිමයි": නිර්දෝෂ පිළිසිඳීම දින තුන්කාල ආරාධනා භාවනාව

 "Mary is ever-green oasis of humanity": Holy Father's reflection at Angelus

ළදරු මරිය තුමිය සිය දෙමාපියන් වන ජෝකිම් තුමා සහ ආනා මෑණියන් සමග.- මෙය ඉස්තාන්බුල් හි ඕතඩොක්ස් දෙව්මැදුරක ඇති බිතුසිතුවමකි. 


(2017 දෙසැම්බර 09)
දෙසැම්බර 8 වන දා සමරන ලද්දේ දේවමාතාව වන මරිය මෑණියන් ගේ නිර්මල පිළිසිඳීමේ මහා මංගල්‍යයයි. එය සභාව මහත් භක්තියෙන් හා උද්දාමයෙන් සමරන අබිරහසකි.

මෙදින ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්  විසින්  මෙහෙයවනු ලබන තුන්කාල ආරාධනා මරිය යැදුමට  සහභාගී වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත වන්දනා කරුවන් සහ සංචාරකයන් පිරිසක් වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්වී සිටියහ.

සුදොතුම් පියතුමා මෙම යැදුමට පෙර කල භාවනාවේ දී මරිය වහන්සේ ගේ නිර්මල පිළිසිඳීමේ අබිරහස තේරුම් ගත හැකි "යතුර"  පැහැදිලි කර දුන්නේය. එසේම "වයස් ගත නොවී  යෞවනය සදා රැකගැනීමට" අවශ්‍ය  "ආහාර වට්ටෝරුව" ද එතුමා පැහැදිලි කර දුන්නේ ය.

වන්දනා කරුවන් අමතමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ මරිය මව ගේ නිර්මල  පිළිසිඳීම තේරුම් ගත හැකි යතුර නම් ගාබ්‍රියෙල් දේව දූතයාගේ ආචාර වාක්‍යය බවයි.

"ගාබ්‍රියෙල් දේව දූතයා මරිය තුමිය ගේ  නම කියන්නටත් පෙර ඇය අමතන්නේ 'ප්‍රසාද පූර්ණවන්තිය' යනුවෙනි. දේව දූතයාගේ ප්‍රථම ආචාරය 'නමෝ!  ප්‍රසාද පූර්ණවන්තිය' යන්නයි. මේ ආකාරයෙන් දෙවියන් වහන්සේ ඇයට ලබා දුන් නව නම දේව දූතයා හෙලිදරව් කරනවා. ඇත්තෙන් ම එම නම සිය මාපියන් විසින් දුන් නමට වඩා හොඳින් ඇයට ගැලපෙනවා. 'ප්‍රසාද පූර්ණවන්තිය' යන්නෙන් අදහස් කෙරෙන්නේ, "දෙවියන් වහන්සේ ගේ වැඩසිටීමෙන් පූර්ණ වූ මරියා'  යන්නයි" යයි එතුමා එම ආචාරයේ අරුත විස්තර කරමින් කියා සිටියේය.

"මේ අනුව ඇය  තුළ  මුළුමනින්ම දෙවියන් වහන්සේ පැතිර ගොස් තිබුණා. මෙසේ එතුමිය තුළ දෙවියන් වහන්සේ විනිවිද ගොස් සිටි සේක්  නම්,  ඇය තුළ පාපයට ඉඩක් නැහැ. මෙය අතිවිශේෂයි. මන්ද කනගාටුදායක ලෙස මුළු ලෝකයම පාපයෙන්  කෙලෙසී, කිලිටි වී ඇති නිසයි."

" මේ නිසා මනුෂ්‍ය වර්ගයේ සදා හරිත ක්ෂේම භුමිය මරිය මෑණියන් පමනක්මයි. පාපයෙන්  දුෂ්‍ය නොවුණු එකම පුද්ගලයා ඇයයි .ඇයගේ "එසේම  වේවා"යන ප්‍රතිචාරයත් සමග  මෙලොවට ජනිත වූ දෙවියන් වහන්සේ ආදරයෙන් පිළිගැනීම සඳහා නිර්මලව මවන ලද එකම පුද්ගලයා ඇයයි" යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මරිය වහන්සේ ගේ නිර්මල පිළිසිඳීමේ අබිරහස තව දුරටත් පැහැදිලි කරමින් කියා සිටියේය.

"'ප්‍රසාද පූර්ණවන්තිය' ලෙස අප ඇය අමතන විට ඇයට අප පුද කරන්නේ විශිෂ්ටතම අභිනන්දනයයි; ආශිංසනයි. මන්ද එම ගෞරවය  දෙවියන් වහන්සේ විසින් ද ඇයට පුද කරන ලද බැවිනි."

වයස සහ යෞවනය

දේව ප්‍රසාදයත් ජීවිතයේ  සෞන්දර්යයත් අතර ඇති සම්බන්ධතාව ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විස්තර කළේය.

"මරිය මව පාපයෙන් තොර වීම නිසා එතුමිය වයස් ගතවීමෙන් විනිර්මුක්තයි. මන්ද කෙනෙකු වියපත් කරන්නේ පාපය නිසයි. මේ නිසා එතුමිය 'tota pulchra' හෙවත් "සම්පූර්ණයෙන් සුන්දර වූ" (“completely beautiful”) යන නාමය  ලබන්නට සුදුසු යි.

"එතුමිය ගේ යෞවනය රඳා පවතින්නේ වයස මත නොවන නිසා, එතුමියගේ රූප ශෝභාව රඳා පවතින්නේ ද එතුමිය ගේ බාහිර පෙනුම මත නොවේ. අද කියවූ සුබ අස්නට අනුව එතුමිය විශිෂ්ටත්වයට පත් වන්නේ බාහිර පෙනුමින් නොවේ. ඇය ඒ දිනවල කවුරුත් දැනගෙන නොසිටි පුංචි ගමක් වූ නාසරෙතයේ සරල ජීවිතයක් ගත කල පවුලක දැරියක්. ඇයගේ සෞන්දර්යය ප්‍රසාදයෙන් පූර්ණ වීමයි".

"ප්‍රසාද පූර්ණිය" වූ මරිය තුමිය "සුන්දර  ජීවිතයක්" ගත කිරීමේ රහස ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පහදා දුන්නේ ය.

"දේව දූතයා මරිය තුමියට මංගලම් කීම දැක්වෙන බොහෝ සිතුවම් වල අපට දැකගන්නට ලැබෙන පොදු දර්ශනයක් තිබෙනවා. එනම් දේව දූතයා ඉදිරිපිට පුංචි පොතක් අතැතිව වාඩිවී සිටින මරිය තුමියයි. මේ පුංචි පොත කුමක්ද? එය ශුද්ධ ලියවිල්ලයි. මරිය තුමිය නිතරම දෙවියන් වහන්සේට සවන් දෙමින් උන්වහන්සේ සමග භාවනා කළා. මේ නිසා එතුමිය ගේ සුන්දරත්වයේ රහස දේව වචනයයි. එතුමිය ගේ හදවතට සමීප වූ දේව වචනය, එතුමිය ගේ කුසෙහි මාංශගත වූවා".

"පාපයට 'බැහැ ' යයි කියන අතර දෙවියන් වහන්සේට 'ඔව්' යි කියමින් සදා සුන්දර  යොවුන් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වරප්‍රසාද දානය කරන ලෙස මරිය වහන්සේ තුළින් යාච්ඥා කරමු" යි සුදොතුම් පියතුමා සියල්ලනට ආරාධනා කළේය. 

සබැඳි පුවත
"පෙම්බර මව්නි,අපේ සමාජය රෝගී බවට පත්කරන 'විෂබීජ' වලට එරෙහිව සටන් කරන 'ප්‍රතිදේහ' බවට අප පත්කළ මැනව" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නිර්දෝෂ පිළිසිඳීමේ මෑණියන් ඉදිරියේ යාච්ඥා කරයි



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය