"පෙම්බර මව්නි,අපේ සමාජය රෝගී බවට පත්කරන 'විෂබීජ' වලට එරෙහිව සටන් කරන 'ප්‍රතිදේහ' බවට අප පත්කළ මැනව" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නිර්දෝෂ පිළිසිඳීමේ මෑණියන් ඉදිරියේ යාච්ඥා කරයි

Holy Father prays at the Column of the Immaculate conception: "Let us develop the 'antibodies' needed to combat the 'viruses' of our times"


(2017 දෙසැම්බර් 10)
ප්‍රන්සිස් සුදොතුම් පියතුමා නිර්දෝෂ පිලිසිදීමේ මංගල්‍යය නිමිත්තෙන් දෙසැම්බර 8 වනදා සාම්ප්‍රදායික ලෙස රෝමයේ ස්පාඥ්ඥ චතුරශ්‍රයේ ( Piazza di Spagna) පිහිටි නිර්මල පිළිසිඳීමේ දේව මාතාවන්ගේ ප්‍රතිමාව බැහැදකින්නට ගියේය.

මෙම ප්‍රතිමාව ස්ථාපිත කර  ඇත්තේ ස්පාඥ්ඥ චතුරශ්‍රයේ ගිනිකොණ දිගින් පිහිටා ඇති "නිර්මල පිළිසිඳීමේ කුලුන" මතය. කිරිගරුඬ පාෂාණයෙන් ගොඩනැගුණු මෙම කුලුනේ උස මීටර 11.8කි. දේව මෑණියන් ගේ ලෝකඩ ප්‍රතිමාව ස්ථාපිත කර ඇත්තේ ඒ මතයි. දේව මාතාව වන මරිය වහන්සේ ගේ නිර්මල පිළිසිඳීම පිලිබඳ වේද සත්‍යතාව ප්‍රකාශයට පත් කරන ලද්දේ 1854 දී 9 වැනි පියුස් සුදොතුම් පියතුමන් විසිනි. ඉන් වසර තුනකට පසුව 1857 දෙසැම්බර 8 වැනිදා මෙම කුලුන ආශීර්වාද කර කැපකරන ලදී. 1953 සිට පාප් වහන්සේලා නිර්මල පිළිසිඳීමේ මංගල්‍යය දා මෙම ස්ථානයට පැමිණ ප්‍රතිමාව ඉදිරියේ මල් කළඹක් තබා ඊට  ගෞරව කර ඒ ඉදිරියේ යාච්ඥා කිරීම සම්ප්‍රදායක්ව තිබිණි.

සම්ප්‍රදායනුකුලව කුලුන පාමුල මල් කලඹක් තබා උපහාර දක්වූ  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මඳ  වෙලාවක් නිහඬ යාච්ඥාවේ යෙදී සිට ඉන් පසු මරිය මෑණියන්ට යාච්ඥාවක් ඔප්පු කළේය.
ස්පාඥ්ඥ චතුරශ්‍රයේ පිහිටි නිර්මල පිළිසිඳීමේ කුලුන 


මෙම යාච්ඥාවේ ප්‍රථම කොටසෙන් එතුමා අපේ පවුල්, පැවිද්දන්, කම්කරුවන්, වියපත් වුවන්, දුප්පතුන් සහ රෝගීන් වැනි  විවිධ කොටස් සමග ගමන් කිරීම ගැන මරිය මෑණියන්ට ස්තුති  කරයි. අපේ නූතන සමාජය  රෝගී කරණ වෛරස් සමුහයක් ඇති බව එතුමා එහි දෙවැනි කොටසේ කියයි. ඒවා ජයගැනීම සඳහා සුබ අස්නෙන් ලැබෙන' ප්‍රතිදේහ' වලින්  අප ශක්තිමත් කරන්නැයි එතුමා දේව මෑණියන්ට ආයාචනා කරයි.

මෙම යාච්ඥාව විශ්ව යැදුමකි. එහි ඉල්ලීම් විවිධ 'වෛරස' වලින් රෝගී වී ඇති  ශ්‍රී ලංකාවේ අපගේ සමාජයට ද අදාලය. එබැවින් ඔබට ද මරිය මෑණියන් ඉදිරියේ භාවනා කර යාච්ඥා කිරීම සඳහා එම යැදුම සම්පූර්ණයෙන් මෙහි පල කරමු.


"නිර්මල මෑණියනි,
මේ නගරයේ නගර වැසියන් වෙනුවෙන් ඔබට ගෞරවය පුද කිරීම සඳහා රෝමයේ රදගුරු තුමන් ලෙස මම පස්වැනි වතාවටත් ඔබගේ පාමුලට පැමිණ සිටිමි.

ඔබ   නිරන්තරයෙන්  අප රැකබලා ගැනීම නිසා අපි ඔබට ස්තුති කරමු.
ඔබගේ නිරන්තර අවධානයෙන් අපගේ ගමනේ දී, අපගේ පවුල්වල, මීසම්වල, පැවිදි නිකායවල ගමනේදී,
දිනපතා රෝමය පසු කරමින්, ඇතැම් විට විවිධ දුෂ්කරතා මැද, සිය රැකියාවලට යන ජනතාව ගේ ගමනේ දී,
දුප්පතුන්, රෝගීන් සහ වියපත්වූවන් ගේ ගමනේ දී, එසේම, සිය රටවල පවතින යුද්ධ සහ කුසගින්න නිසා මේ නගරයට පැමිණි දහස් සංඛ්‍යාත ජනතාව ගේ ගමනේ දී
ඔබ අප කැටුව ගමන් කිරීම නිසා ඔබට ස්තුති වන්ත වෙමු.

ස්තුතියි, පෙම්බර මව්නි.
මන්ද, අප අපගේ සිතිවිලි ඔබ  වෙත ඔසවන සැනින්,
නැතහොත්, නොදැනීම අපගේ බැල්මක් ඔබ වෙත ඉගිලුණු සැනින් හෝ 'නමෝ මරීයනි' යැදුමක් අපේ මුවින් පිටවන  මොහොතින්,
ඔබගේ මෘදු සහ බලවත් මාතෘක වැඩසිටීම අපට දැනේ.

මෑණියනි, අපගේ සමයේ වයිරස වලට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්‍ය වන 'ප්‍රතිදේහ' වර්ධයට කරගැනීමට අපට උදව් වුව මැනව:
එනම්, "එය මගේ කාර්යය නොවේ" යයි පවසන උදාසීනත්වය; පොදු යහපත ප්‍රතික්ෂේප කරන සමාජශීලි නොවන හැසිරීම; විදේශිකයන් හා අපට  වඩා වෙනස් පුද්ගලයන් කෙරෙහි පවතින බිය;
සෙසු අයට චෝදනා කරමින් තමන් ද ඒ දෙයම කරන කුහකත්වය, සදාචාරාත්මක හා පාරිසරික විනාශය හමුවේ පසුබැසීම: මිනිසුන්  හා කාන්තාවන් ගේ ශ්‍රමය සූරාකෑම,  වැනි විෂබීජය.

සුබ අස්නින් ලැබෙන ප්‍රතිදේහ මගින් 
මේවා ද සෙසු වයිරස ද ප්‍රතික්ෂේප කිරීමට අපට උදව් වුව මැනව.
සෑම  දිනකම සුබ අස්නෙන් කොටසක් කියවීමටත්, ඔබගේ ආදර්ශය අනුසාර කරමින්, දේව වචනය අපගේ හදවත්වල නිදන් කර ගැනීමටත් අප යොමු කල මැනව.
මේ මගින් හොඳ බීජයක් සේ එය අපගේ ජීවිත පොළොවේ වැඩී ඵල දරන්නට ඉඩ හරින්නට සහාය දුන මැනව. 

නිර්මල කන්‍යාවෙනි,

වසර 175කට පෙර, මේ අසල ගම්මානයක පිහිටි සාන්ත අන්ද්රෙයා ඩෙල්ලේ ෆ්රත්තේ දෙව්මැදුරේ දී ඔබ අල්ප්ෆොන්සේ රැතිස්බෝනේ ගේ හදවත ස්පර්ශ කළහ.
ඒ වන විට අදේවවාදියකු සේම  ම සභාවේ සතුරකු ලෙසද ක්‍රියා කරමින් සිටි ඔහු ඔබ අත්දැකීමෙන් පසුව කිතුනුවකු වූයේය.
ඔබ ඔහුට ඔබව හෙළිදරව් කලේ වරප්‍රසාදයේ සහ දයා කරුණාවේ මවක්  ලෙසය.

අපට ද, විශේෂයෙන්  අපගේ පාප ප්‍රස්තා සහ පරීක්ෂා වලදී, ඔබගේ විවෘත දෑත් දෙස නෙත් නොපියා බලා සිටින්නට අවශ්‍ය වරම් දානය කල මැනව. සමිඳුන් ගේ වරප්‍රසාද  ඔබගේ එම දෑත්වලින් ලෝකයට ගලා හැලීමට ඉඩ සලසා දෙන බව  බව අපි දනිමු.

සියලු ආකාරයේ අහංකාරකම් වලින් සහ මාන්නයෙන් මිදීමටත් සැබවින් ම අප අප ලෙස  - එනම් අසරණ පව්කාරයන් - ලෙසත්  පිළිගැනීමට අපට සහය වුව මැනව. එසේ වුවත් අප ඔබගේ දරුවන් බව නිතර මතක තබා ගැනීමට අපට වරම් දුන මානව.

ඉතින්, පෙම්බර මව්නි,
අපි අපගේ අත  ඔබගේ අත  මත තබමු.
එසේ කොට, අප  එනතෙක් බලා සිටීමෙන් කිසිදාකත් වෙහෙසට පත්නොවෙන, අප හැරී ආ පසු අපට සමාව දෙන,  අපගේ සොහොයුරා සහ ගැළවුම්කරුවා වන ජේසු සමිඳුන් වෙතත්,  අපගේ ස්වර්ගීය පියාණන් වෙතත් අප ගෙනයාමට ඔබට ඉඩ හරිමු.

පෙම්බර මව්නි, නිතර අපට සවන් දීම ගැන ඔබට ස්තුතියි.

රෝමයේ සභාව ආශීර්වාද කල මැනව. මේ නගරය ද සමස්ත ලෝකය ද ආශීර්වාද කල මැනව.

ආමෙන්."

සබැඳි පුවත:
"මරිය මව මිනිසත් බවේ සදා හරිත කෙම් බිමයි": නිර්දෝෂ පිළිසිඳීම දින තුන්කාල ආරාධනා භාවනාව





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය