"දෑත් විදහා සරණාගතයන් උණුසුම්ව පිළිගන්න" - සරණාගතයන් පිළිගැනීමේ ලෝක ව්‍යාප්ත ව්‍යාපාරයට මුල පුරමින් සුදොතුම් පියතුමා ඉල්ලයි

"Welcome migrants with arms wide open and ready to give an affectionate and embracing hug" Pope appeals while launching the Global Drive to Encounter and Welcome Migrants 

පොදු හමුවේ දී සුදොතුම් පියතුමා සරණාගතයන් හා කරිටාස් නියෝජිතයන් සමග 


(2017 ඔක්තෝබර් 1)
"ඔබේ දෑත් පුළුල්ව දිගහරිමින් ඔබේ රටවලට පැමිණෙන සංක්‍රමණිකයන් සහ සරණාගතයන් ආදාරයෙන් පිළිගන්නැ"යි  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා සිටින කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එතුමා මෙම ඉල්ලීම කලේ කතෝලික සභාවේ ලෝක ව්‍යාප්ත දයා සේවා හස්තය වන ජාත්‍යන්තර කරිටාස් ආයතනය  විසින් ක්‍රියාත්මක කෙරෙන සරණාගතයන් මුණගැසීමේ සහ ඔවුන් පිළිගැනීමේ ලෝක ව්‍යාප්ත ව්‍යාපාරයට මුල පුරමිනි. සැප්තැම්බර් 27 වැනිදා එතුමා ගේ බදාදා පොදු හමුව මුළුමනින්ම මෙම තේමාව සඳහා කැප කරමින් සුදොතුම් පියතුමා එම ව්‍යාපාරය ආරම්භ කළේය.

"ගමනේ හවුල්කරුවන්  වෙමු"  ("Share the Journey") යනුවෙන් නම් කර ඇති මෙම ව්‍යාපාරය දෑවුරුදු වැඩපිළිවෙලකි. සරණාගතයන්/සංක්‍රමණිකයන්   පිළිබඳව ලොව පුරා ජනතාව දැනුවත් කිරීම, ඔවුන් මුණගැසීම හා පිළිගැනීම මෙම ව්‍යාපාරයේ දූත මෙහෙවරයි.

"සාංක්‍රමනිකයන් පලා එන්නේ යුද්ධ සහ ප්‍රචණ්ඩ වූ ගැටුම් වලින් සිය ජීවිත ගලවා ගැනීම සඳහායි. සියලු කිතුනුවන් සිය දෑත් පුළුල්ව විහිදා සෙනෙහෙබර උණුසුම් වැළඳගැනීමකින් ඔවුන්  පිළිගැනීම ජේසු සමිඳුන් ගේ බලාපොරොත්තුව" යැයි සුදොතුම් පියතුමා එම ව්‍යාපාරට මුල පුරමින් කියා සිටියේය.

මෙදින එතුමා බදාදා පොදු හමුවේ ධර්මොපදේශයට තෝරාගෙන තිබූ තේමාව බලාපොරොත්තුවේ අගයයි. සංක්‍රමණිකයා තුළත් ඔවුන් පිළිගන්නා තැනැත්තා තුළත් මේ සොඳුරු බලාපොරොත්තුවේ පහන දැල්වී ඇති බව එතුමා විස්තර කළේය:

"යහපත් ජීවිතයක් සොයා සිය රටින් පිටත්වන සාන්ක්රමනිකයා තුළ සේ ම ඔවුන් මුණගැසී, ඔවුන් ගැන දැනගෙන, ඔවුන් සමග සංවාදයකට පැමිණෙන තැනැත්තා තුල ද බලාපොරොත්තුවේ ආලෝකය තිබෙනවා. බලාපොරොත්තුව යනු ගමන බෙදා ගැනීමට, ගමනේ හවුල් කරුවකු වීමට ඇති තදබල අභිලාෂයයි. අද ආරම්භ කෙරෙන කරිටාස් ජාත්‍යන්තරයේ වැඩසටහන අපට මතක් කරන්නේ එයයි. සහෝදරවරුනි, සහෝදරියනි, ගමනේ හවුල් කරුවකු වීමට, ගමන බෙදා ගැනීමට බිය නොවන්න! බලාපොරොත්තුව බෙදා ගැනීමට බිය නොවන්න!" යැයි සුදොතුම් පියතුමා අවධාරණය කළේය.

මෙම ව්‍යාපාරයට දිරි දීම  හා ප්‍රවර්ධනය කිරීම සඳහා බොහෝ රටවල රදගුරු මණ්ඩල සහ කරිටාස් ශාඛා විසින් යාච්ඥා කිරීමේ සතියක් දැනටමත් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ අතර ඇතැම් දුප්පත් දකුණු ආසියානු රටවල කතෝලික සභා නායකයෝ තම රටවලට පැමිණෙන වෙනත් රටවල සරණාගතයනට මෙලෙස සැලකීමට දැනටමත් ආරම්භ කර තිබේ. බංගලි දේශයේ සභාව එවැනි සභාවකි. එරට රදගුරු හිමිවරු එරටට පැමිණ සිටින රෝහින්ග්‍යා සරණාගතයන් බැහැදැක ඔවුන්ට   සවන් දී සැනසිලි වදනින් ඔවුන් දිරිමත් කළහ. 2006 සංගණන වාර්තා වලට අනුව  බංගලි දේශයේ කතෝලික ප්‍රතිශතය එරට ජනගහනයෙන් සියයට 0.2 කි. එම කතෝලික ජනගහනයෙන් සියයට හැටක්ම අයත් වන්නේ සුළුතර ගෝත්‍ර වලටයි. එහෙත් මේ කතෝලික සුළුතරයේ සාක්ෂි දැරීම අතිශය ප්‍රබල එකක් බව සභා කටයුතු විචාරකයෝ ප්‍රකාශ කරති.

එම තොරතුරු මෙතැනින් කියවන්න:
බංගලිදේශයේ කතෝලික රදගුරු හිමිවරු රෝහින්ග්‍යා සරණාගතයන් බලන්නට යති - සැනසිලි වදනින් ඔවුන් සනසති

මමත් සාංක්‍රමනිකයෙකුගේ මුනුපුරෙක් - පිලිපීන කාදිනල්  හිමි

මෙම ව්‍යාපාරය පිලිබඳ ප්‍රවෘත්ති සාකච්ඡාවක් එදිනම වතිකාන මාධ්‍ය කාර්යාලයේ දී පැවැත්විණි. එය පවත්වන ලද්දේ කරිටාස් ජාත්‍යන්තරයේ සභාපති පිලිපීනයේ මැනිලා පදවියේ අගරදගුරු ලුවිස් ඇන්ටෝනියෝ තග්ලේ කාදිනල් හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙනි.

එහිදී තග්ලේ කාදිනල් හිමියන් කියා සිටියේ සරණාගතයන් ගේ ගමන බෙදා ගැනීමට ඇතැම් ජනතාව සූදානම් නොමැති බවයි. කරිටාස් ආයතනය මෙම වැඩසටහන අරඹන්නේ ඒ නිසා යයි එතුමා පෙන්වා දුන්නේ ය.

"සංක්‍රමණික විරෝධී සහ සරණාගත විරෝධී ආකල්ප සහිත රටවල දේශපාලන නායකයනට ඔබගේ පණිවිඩය කුමක්ද" යි මෙහිදී මාධ්‍ය වේදියෙක් එතුමාගෙන් විමසීය.

"සිත් හැරීමක් ඇතිකරන්න" එතුමා පිළිතුරු දුන්නේ ය. "සාංක්‍රමනිකයන් මුණගැසී ඔවුන් ගේ දුක්බර කතාවලට සවන් දී  සිත් හැරීමක් ඇති කර ගැනීමට රටේ ජනතාව  උනන්දු කරන්න. සාංක්‍රමනිකයන්ට බය වන, එසේම  ඔවුනට  විරුද්ධ වන  බොහෝ දෙනෙක් අවම වශයෙන් සාංක්‍රමනිකයකු මුණ ගැසී කතා කරලාවත් නැහැ" එතුමා විස්තර කළේය.

මැනිලා අගරදගුරු කාදිනල් ලුවිස් තග්ලේ හිමි සරණාගතයන් සමග 


තමා ද චීන ජාතික සංක්‍රමණිකයකු ගේ මුණුපුරකු බව පිලිපීනයේ  කාදිනල් තුමා මෙහිදී හෙළිදරව් කළේය. සිය සීයාගේ පියා (මුත්තා) මිය ගිය පසු මිත්තනිය දැඩි ආර්ථික අපහසුතාවට පත්වූ ආකාරයත් මේ නිසා ඇය ඇගේ සොහොයුරකු ගේ ආධාරයෙන් එකල කුඩා පිරිමි දරුවකු වූ සිය සීයා ද සමග පිලිපීනයට පැමිණි ආකාරයත් එතුමා විස්තර කළේය.

"එදා චීනයේ සිට පිලිපීනයට ආපු මේ දුප්පත් කොලු පැටියාට කාදිනල් මුනුපුරෙක් ලැබේවිය කියලා කාටවත් හිතෙන්නට ඇත්ද?" කාදිනල් ලුවිස් තග්ලේ හිමි ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකාව 

රෝහින්ග්‍යා සරණාගතයෝ ශ්‍රී ලංකාවට ද පැමිණෙමින් සිටිති. මෑතක දී ගල්කිස්සේ දී එම සරණාගත පිරිසට මුහුණ දෙන්නට සිදු වූ ශෝචනීය සිද්ධිය ගැන රට පුරා මෛත්‍රීය, ප්‍රේමය, දයා කරුණාව අගය කරන සියල්ලෝ කතා කරමින් සිටිති.

මෙම තත්ත්වය තුළ බංගලි දේශයේ සභාවට වඩා ශක්තිමත් තත්වයක සිටින ශ්‍රී ලාංකික කතෝලික සභාවේ සාක්ෂි දැරීම කුමක්දැයි සලකා බැලිය යුතුව තිබේ.

සියයට 0.2ක් වූ ගෝත්‍ර පදනමක් සහිත  කතෝලික රදගුරු හිමිවරුන්ගෙන් හා කතෝලික ගිහි ජනයාගෙන් සමන්විත බංගලි දේශ සභාවෙන් රෝහින්ග්‍යාවනට ලැබුණු දයා සෙනෙහස ලබා දෙන්නට ශ්‍රී ලාංකික සභාවට මෙතෙක් නොහැකි වූයේ මන්ද?

"ලාසරස් ලා" තවමත් ගේට්ටුවෙන් එහා සිට "මේසයෙන් වැටෙන පාන් කැබලිවත්  නැතිව" සිටින විට "ධනපතීහු" මේසයේ සිට රස මසවුළු වළඳති. ජේසු සමිඳාණෝ තවමත් සාංක්‍රමනිකයන්, සරණාගතයන්, යුක්තිය අහිමි වූවන් තුළ අසරණව සිටින විට, උන්වහන්සේ ගේ අනුගාමිකයෝ නොඇසූ කන්ව, නොදුටු නෙත්ව, ගොළු වූ  මුවින් සිය ව්‍යාපාර වල නියැලෙමින් සිටිති.

කරිටාස් ජාත්‍යන්තරයේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ ද තිබේ. සාංක්‍රමනිකයන් තුළ වෙසෙන තමා වෙනුවෙන් එහි ලය තෙත් වන්නේ දැයි මහා කාරුණික ජේසු සමිඳාණන් බලා සිටිනු ඇත.




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය