"ටියුරීන් හි සළුවේ ගැලී ඇති රුධිරය එයින් වෙලා තිබූ තැනැත්තා අධික වදහිංසාවට ලක්කර තිබූ බව සනාථ කරයි": අලුත්ම විද්‍යාත්මක පරීක්ෂණයේ වාර්තාව

"Shroud of Turin bears the blood of a heavily tortured person" says a new study 

ටියුරීන්හි ශව වස්ත්‍රයේ පූර්ණ ප්‍රමාණයේ සේයාරුවක් (කැනඩාවේ පවත්වන ලද ප්‍රදර්ශනයක දී සේයාරු ගත කෙරිණි)
 (2017 ජූලි 17)
ටියුරීන්හි ශව වස්ත්‍රයේ ඇති රුධිරය අධික වදහිංසාවට භාජනය කරනු ලැබීමෙන් පසු මියගිය තැනැත්තෙකු ගේ සිරුරෙන් වෑහුණු රුධිරය බව ඒ පිළිබඳව කරන ලද අලුත්ම පරීක්ෂණයෙන් හෙළිදරව් වී තිබේ.

ඉතිහාසය 
ටියුරීන් හි ශව වස්ත්‍රය යනු ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසිය මත මිය යාමෙන් පසුව උන්වහන්සේ ගල්ලෙනෙහි තැන්පත් කිරීම පෙර උන්වහන්සේ ගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර වෙළීමට භාවිත කළ සළුව ලෙස ලොව පුරා කිතුනුවන් විශ්වාස කරන වස්ත්‍රයයි. ජුදෙව් සිරිතට අනුව පූජක ගෝත්‍රයේ  ජුදෙව් පිරිමියකු මිය ගිය විට ඔවුන් ගේ සිරුරු මිහිදන් කරන්නේ නැතහොත් තැන්පත් කෙරෙන්නේ වස්ත්‍රයක එතීමෙන් පසුවය.  ජේසු සමිඳුන් ද එම ගෝත්‍රයට අයත්ව සිටි බැවින් උන්වහන්සේ ගේ සිරුර ද එසේ වස්ත්‍රයකින් වෙලා එතෙක් කිසිවෙකු තැන්පත් නොකළ අලුත් ගල්ලෙනෙක තැන්පත් කල බව ශුද්ධ ලියවිල්ල කියයි.

ක්‍රිස්තුන් වහන්සේ ගේ උත්ථානයෙන් පසුව එම ශව වස්ත්‍රය උන්වහන්සේ තැන්පත් කළ ස්ථානයේ තිබෙන ආකාරය දුටු උන්වහන්සේ ගේ ශ්‍රාවකයන් (උත්ථානය) 'අදහාගත්' බව ද සුබ අස්න ලියූ සුවිශේෂකවරු පවසති.

ඉන් අනතුරුව දීර්ඝ මාර්ගයක ගමන් කළ මෙම සළුව මේ වන විට ඉතාලියේ ටියුරීන් නුවර තැන්පත් කර තිබේ.

මෙම සළුව ගැන හා ඒ පිලිබඳ කල විද්‍යාත්මක පරීක්ෂණ වල විවිධ මත භේද ඇතත් කිතුනුවන් දැඩි ලෙස විශ්වාස කරන්නේ මෙම ශව වස්ත්‍රය ක්‍රිස්තුන් වහන්සේ ගේ ශරීරය එතීමට භාවිත කල සළුවම බවයි. මෙම සළුවෙහි සිත්තම් වී ඇත්තේ අධික වදහිංසාවට ලක්වීමෙන් පසුව කුරුසියේ දණ්ඩනයට ලක්ව මිය ගිය ජේසු සමිඳුන් ගේ රූපකාය බව ද ඔව්හු විශ්වාස කරති.

නවතම පරීක්ෂණය 
ශව වස්ත්‍රය පිලිබඳ නවතම පරීක්ෂණය සිදු කරන ලද්දේ ඉතාලියේ බරී නුවර ස්ඵටික විද්‍යා ආයතනය (Institute of Crystallography) හා පාදුවා විශ්ව විද්‍යාලයේ කාර්මික ඉන්නේජිනේරු විද්‍යා පීඨය විසිනි.

'මෙම ශව වස්ත්‍රයේ නූල් වල ගැලී ඇති ඉතා කුඩා අංශු වල සටහන් වී ඇත්තේ මෙම  අවමංගල සළුවෙන් ඔතන ලද වින්දිතයා විසින් විඳින ලද  අධික වේදනාව" යැයි එම ආයතනයේ පර්යේෂක එල්වියෝ කාලිනෝ පවසයි. මෙම පර්යේෂණයේ සාමාජිකයකු වූ පාදුවා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගීලියෝ ෆාන්ති පවසන්නේ 'නැනෝඅංශු' මෙම අංශුවල "සුවිශේෂී ව්‍යුහයක්, විශාලත්වයක් හා බෙදී යාමක්" දක්නට ලැබුණු බවයි.

මෙම නැනෝ අංශු යහපත් සෞඛ්‍යයෙන් සිටින පුද්ගලයකුගෙන් හමුවන ඒවා නොවේ. ඒ වෙනුවට, ක්‍රියටිනීන් සහ ෆෙරිටීන් යන සංයෝග ඉතා ඉහල මට්ටමක් මෙම අංශු තුළ දක්නට ලැබේ. මෙම සංයෝග ඉහල මට්ටමින් දක්නට ලැබෙන්නේ  බලහත්කාරයෙන් අධික හිංසාවට භාජනය කරන ලද රෝගීන් තුළය.

"මේ නිසා, අප කළ පරීක්ෂණ වලදී මෙම ජීව විද්‍යාත්මක නැනෝඅංශු හමුවීම මගින් ගම්‍ය වන්නේ මෙම සළුවෙන් ඔතන ලද පුද්ගලයා අධික වශයෙන්  ප්‍රචන්ඩ වූ මරණයකට ගොරු වූ පුද්ගලයකු වූ බවයි" යයි මහාචාර්ය ෆාන්ති පකාශ කරයි.

මෙම පර්යේෂණය හා එහි ප්‍රතිඵල ඇමෙරිකාවේ ප්‍රකාශිත 'PlosOne' විද්‍යා පර්යේෂණ සඟරාවේ අලුත්ම කලාපයේ වාර්තා කර තිබේ. මේ පිලිබඳ පර්යේෂණ වාර්තාව පල වී ඇත්තේ "ටියුරීන් හි ශව වස්ත්‍රය පිලිබඳව සිදු කරන ලද අණුක විශ්ලේෂණ අධ්‍යයනයෙන් ලැබෙන නව ජීව විද්‍යාත්මක සාක්ෂි" (“New Biological Evidence from Atomic Resolution Studies on the Turin Shroud,”) යන්නයි.

අංශු අධ්‍යයනය කරන ලද්දේ නැනෝ මානයට අනුවයි. එනම් නැනෝ මීටර එකේ සිට සියය දක්වා පරිමානයටයි (නැනෝ මීටරයක් යනු මීටරයෙන් බිලියනයෙන් එකකි.)

ශව වස්ත්‍රයේ සටහන්ව ඇති රූපය මධ්‍යතන යුගයේ අඳින ලද සිත්තමක් බවට පවතින මතවාදය මේ ප්‍රතිඵල මගින් යළිත් වරක් ප්‍රතික්ෂේප වී තිබේ. "මෙම අංශු තුළ සටහන්ව ඇති ලක්ෂණ මෙම සළුව මත සියවස් ගණනකට පෙර සිතුවම් මරණ ලද ඒවා බවට කිසිදු සාක්ෂියක් හමු නොවන" බව වාර්තාව කියයි.

මෙම පර්යේෂණ ප්‍රතිඵල වලින් ටියුරීන් සළුව පිළිබඳව මීට කලින් සිදුකෙරුණු පර්යේෂණ වල ප්‍රතිඵල සනාථ වී ඇති බව රෝමයේ පලවන ලා ස්ටම්පා පුවත්පත පවසයි. 1991 දී ඇලන් අල්ඩර් විසින් සිදු කරන ලද පර්යේෂණය එක් නිදසුනකි.

ටියුරීන්හි ශව වස්ත්‍රය ජේසු සමිඳුන් ගේ සිරුර වෙලන ලස සළුව බව කිතුනු ජනතාව විශ්වාස කල ද එහි සත්‍යතාව සම්බන්ධයෙන් කතෝලික සභාව මෙතෙක් නිල වශයෙන් ස්ථාවරයක් ගෙන නොමැත. එහෙත් ටියුරීන් හේ ශා. ස්නාවක ජුවාම් ආසන දෙව්මැදුරේ තැන්පත් කර ඇති මෙම සළුව දැක බලා ගැනීමටත් ඊට ගෞරව කිරීමටත් සභාව ජනතාවට අවකාශ ලබා දී තිබේ. ඒ අතර ඒ පිළබඳ ස්වාධීන විද්‍යාත්මක පර්යේෂණ ද සභාව උනන්දු කරයි.

2015 ජුනි 21 වැනිදා මෙම සලුවට ගෞරව දක්වන්නට පැමිණි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එහි සිට වන්දනාකරුවනට අනුශාසනා කරමින් මෙසේ කීවේය:

"ටියුරීන් හි ශව වස්ත්‍රය වද හිංසාවට ලක් කරන ලද ජේසු සමිඳුන් ගේ ශ්‍රී වත මණ්ඩල හා ශ්‍රී සිරුර වෙත අප ආකර්ෂණය කර ගනියි. ඒ සමගම, දුක් විඳින්නාවූ ද අයුක්ති සහගත ලෙස වදහිංසාවට ලක්කරනු ලබන්නා වූ ද සෑම පුද්ගලයකු වෙතම එය අප තල්ලු කරයි. ජේසු සමිඳුන් ගේ ප්‍රේමයේ තිළිණය අප යොමු කරන දිශාවටම, එය අප යොමු කරයි."

එම තොරතුරු මෙතැනින් කියවන්න:
"අයුක්තියටත් වදහිංසා වලටත් ලක්වන ජනතාවගේ හදවත් වල ප්‍රතිබිම්බයක් බඳු ශ්‍රී සළුවේ විකෘති වූ වත මඬල...." ටියුරින්හි ශ්‍රී සළුව අබියස සිට

යුක්රේන් කතෝලිකයන්ගේ ශව වස්ත්‍ර බැතිය 

රෝමානු කතෝලික සභාව ශව වස්ත්‍රය ගැන නිල මතයක් ප්‍රකාශ නොකලත්, ජේසු සමිඳුන් ගේ සිරුර ආවරණය කළ මේ අවමංගල සළුව යුක්රේන ඕතඩොක්ස් සභා කතෝලිකයන් ගේ මහත් ගෞරවයට හා බැතියට හේතු වී තිබේ.

කතෝලිකයන් මහා සිකුරාදා මෙහෙයේ දී වන්දනා කරන්නේ ජේසු සමිඳුන් දිවි පිදූ ශ්‍රී කුරුසියටයි. එහෙත් යුක්රේන ඕතඩොක්ස් කිතුනුවන් ගෞරව කරන්නේ මෙම ශ්‍රී සළුවටයි. යුක්රේන ඕතඩොක්ස් කිතුනුවෝ මහ සිකුරාදා මෙහෙය ආරම්භ කරන්නේ ශව වස්ත්‍රය රැගෙන දෙව්මැදුර වටා යන පෙරහරකින් පසුවයි.
ඊට හේතුව මේ සළුව මත සටහන් වී ඇත්තේ ජේසු සමිඳුන් ගේ මරණය පමණක් නොව උත්ථානය පිලිබඳව ද සාක්ෂිය නිසා ය.

මෙහි වම් පස ඇත්තේ ශව වස්ත්‍රයේ සැබෑ වස්ත්‍රයේ සේයාරුව (positive) සහ එහි 'නෙගටිව්' (negative) සටහන් දෙකයි. මෙම සළුවෙ ආශ්චර්යය වන්නේ මෙම සළුවෙන් වෙළන ලද පුද්ගලයාගේ හැඩරුව 'negative' රූපයේ වඩා පැහැදිලිව සටහන් වීමයි. ක්‍රිස්තුන් වහන්සේ ගේ උත්ථානයේ දී විහිදුනු මහිමාන්විත ආලෝකයෙන් මෙම සටහන ඇති වූ බවට ඇතැමෙක් තර්ක කරති.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය