"අයුක්තියටත් වදහිංසා වලටත් ලක්වන ජනතාවගේ හදවත් වල ප්‍රතිබිම්බයක් බඳු ශ්‍රී සළුවේ විකෘති වූ වත මඬල...." ටියුරින්හි ශ්‍රී සළුව අබියස සිට

“The Disfigured face of the Holy Shroud: A reflection of people’s  faces  marred by loss of  human dignity, by war and violence ” 

ශ්‍රී සළුවේ ඡායාරූප නෙගටිව් පිටපතක් 


(2015 ජුනි 21)
උතුරු දිග ඉතාලියේ ටියුරින් නුවර ආසන දෙව්මැදුරට ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ පැමිණියහ. එය මඳ අඳුරේ පැවැතින. ආලෝකය පැවතියේ එක ස්ථානයක පමණි. ඒ ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී සළුව ප්‍රදර්ශනය කර තිබූ ස්‌ථානයේ ය. පාප් වහන්සේ එම ස්ථානයට ගමන් කළහ.

එය දැඩි නිහැඬියාවේ මොහොතක් විය. අල්පෙනෙත්තක් බිම වැටුනත් එහි ශබ්දය ඇසෙන තරමේ නිශ්ශබ්දතාවක් දෙව්මැදුර පුරා පැවැතින.එම නිහඬබව තුළ ධ්‍යානසම වූ පාප්වහන්සේ, නෙත් නොපියා  ශ්‍රී සළුව දෙස බලා සිටිමින්, සිය හදපත්ලෙන් නැගෙන යැදුම් හා වන්දනාව ඊට  ඔප්පු කලහ. පාප් වහන්සේ සළුව අබියස සිය  අසුනේ හිඳගෙන අනිමිසලෝචනයෙන් මෙන් එදෙස බලා සිටියහ.

 ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසියේ මරණයෙන් පසු උන්වහන්සේ ගල් ලෙනෙහි තැන්පත් කරද්දී, ජුදෙව් චාරිත්‍රානුකුලව උන්වහන්සේ ගේ ශ්‍රී දේහය ඔතන ලද සළුව ලෙස මෙම ශ්‍රී සළු ධාතුව සියවස ගණනක් තිස්සේ ලොව පුරා කිතුවන් ගේ වන්දනාමානයට පත්ව තිබේ. සළුවේ ඉතිහාසය නිර්ණය කිරීම සඳහා එය විද්‍යාත්මක කාබන් සමස්ථානික පර්යේෂණ කිහිපයකට ද භාජනය කෙරින. ටියුරින්හි ශ්‍රී සළුව ලෙස ගෞරවයට පත්ව ඇති මෙම සළුව ටියුරින් ආසන දෙව් මැදුරේ තැන්පත් කර ඇති අතර කලින් කලට පොදු ජනතාවගේ වන්දනා මානය සඳහා එහි  විශේෂ ප්‍රදර්ශනයක් පැවැත්වේ.  මේ වසරේ අප්‍රේල් මාසයේ ආරම්බ වූ ප්‍රදර්ශනය ජුනි 24 වැනි දායින් අවසන් වේ.




යාච්ඥාවෙන් පසු සළුව සහිත මංජුසාව වෙත ගිය පාප් වහන්සේ,එය ගෞරවයෙන් ස්පර්ශ කළහ.

අනතුරුව එහි සිටි බැතිමතුන් වෙත ගිය පාප් වහන්සේ කියා සිටියේ මෙම ශ්‍රී සළුව වෙත ලඟාවීම යනු හුදෙක් එය "බැලීමක් හෝ නැරඹීමක්" නොවන බවයි. "එයින් අදහස් කෙරෙන්නේ යැදුම් සහගත බැල්මෙන් ඊට ගෞරව කිරීමයි. ඊටත් වඩා ඔබ්බට ගියහොත් මෙහි පැමිණීමෙන් අප කරන්නේ ශ්‍රී සළුවට අප දෙස බලා සිටීමට ඉඩ හැරීමයි.මෙම ශ්‍රී සලුවේ ඇති දෙනෙත් පියවී තිබේ.එය මරණයට පත් වූ තැනැත්තා ගේ දෙනයනයි. එහෙත් අබිරහස්‍යමය ලෙස උන්වහන්සේ අප දෙස බලා සිටිති.එසේම නිහැඬියාව තුළ උන්වහන්සේ අපට කතා කරති.එය එසේ සිදුවන්නේ කෙසේ ද? කසවලින් තලා කුරුසියක මිය ගිය මිනිසකු ගේ සිතුවමක් අබියස ඔබත් මාත් වැනි විශ්වාසිකයන් නිහඬව ධ්‍යාන ගතවන්නේ කෙසේ ද? ඒ මන්ද, ශ්‍රී සලුවේ සිටින මිනිසා නාසරෙතයේ ජේසුන් වහන්සේ ගැන භාවනා කිරීමට අපට ඇරැයුම් කරන බැවිනි.සළුව මත මුද්‍රණය වී ඇති මේ රුව අපගේ හදවත් වලට කතා කරයි එසේ කතා කොට,  කුරුසිය දෙස බලා ප්‍රේමයේ 'ව්‍යක්ත නිශ්හබ්දතාව' තුළ ගිලීම සඳහා  කල්වාරි කන්දට නැගීමට අප පොළඹවන්නේ" යයි පාප්වහන්සේ කියා සිටියහ.

"එබැවින් මෙම වන්දනා ස්ථානයට පැමිණ, නිශ්ශබ්දතාව තුළ  ශ්‍රී සලුවේ දෙනයනට ඔබ දෙස බලා සිටින්නට ඉඩ හරින්නැයි" එතුමා බැතිමතුන්ට ආරාධනා කළේය. "එම දෙනෙත් යොමු වී තිබෙන්නේ අපගේ දෙනෙත් වලට නොව අපගේ හදවත් වලටයි. මරණයෙන් ඔබ්බට ගිය ජීවිතය ගැන අපට කියන්නට උන්වහන්සේ ට ඇත්තේ කුමක් දැ යි , එම නිශ්ශබ්දතාව තුළ අපි සවන් යොමා අසා සිටිමු," යි උන්වහන්සේ පැවසූහ.

" අසමසම වූ අති ශ්‍රෙෂ්ඨ වූ දෙවිඳුන් ගේ වචනය තෙම ශ්‍රී සළුව ඔස්සේ  අප වෙත පැමිණෙයි.අපගේ මානව ඉතිහාසය තුළ මිනිස් බව ගත් ප්‍රේමය අප වෙත එයි. නපුරේ බලයෙන් අප ගැලවීම සඳහා සියලු නපුර තමන් මත පවරා ගත් දෙවිඳුන් ගේ කරුණාබර ප්‍රේමය උන්වහන්සේ ය."

ශ්‍රී සළුවේ වත මඬලින් පිළිබිඹු කරන්නේ මානව සංහතිය තුළ විවිධ හේතු නිසා දුකටත් අසාධාරණයට හා අනේක දුක් ගාවිනාවලටත් ලක්වන සියලු ජනතාවගේ වේදනාබර හදවත් යයි ද පාප්වහන්සේ පෙන්වා දුන්හ. "ශ්‍රී සළුවේ විකෘති වූ මුහුණ, යුද්ධය, ප්‍රචණ්ඩ ක්‍රියා සහ සමාජයේ දුර්වලම ජන කොටස් පීඩාවට පත් කරන විවිධ ක්‍රියා නිසා මානව ගෞරවය විනාශ කරන ලද සියළු ස්ත්‍රීන් හා මිනිසුන් ගේ මුහුණුවලට සමාන වෙයි.එහෙත්, ඒ අතරම, ශ්‍රී සළුවේ වත මඬල මහත් සාමයක් පෙන්නුම් කරයි. වද හිංසාවට ලක් වූ එම දේහයෙන් පරම බල පරාක්‍රමයක්, තේජශ්‍රියක්  දිස්වෙයි. එය හරියට  හික්මවන ලද එහෙත් අති බලවත් ශක්තියක්  එම සිරුර තුළින් විහිදුනා වැන්න; එම ශක්තිය,'විශ්වාසයෙන් සිටින්න, බලාපොරොත්තුව නැති කර නොගන්න,දෙවියන් වහන්සේ ගේ ප්‍රේමය, උත්ථාන වූ තැනැන්වහන්සේ ගේ ප්‍රේමය සියල්ල ජයගන්නේය' කියන්නා වැන්න " යයි පාප්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය