"සමිඳුන් ඔබ කැඳවුයේ 'කුමාරයන්' වන්නට නොවේ": සුදොතුම් පියතුමා කාදිනල් හිමිවරුනට කියයි

Holy Father tells Cardinals: "You are not called to be 'princes'" 


(2017 ජුනි 28)
ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ කතෝලික සභාව තුළ නවෝදයක් උදා කරමින් සිටිති. එම නවෝදය වෙන කිසිත් නොව සභාව තුළ ජේසු සමිඳුන් අනුදැන වදාළ ලක්ෂණත්  හා  ශුද්ධාත්ම ආගමනයෙන් පසුව මුල් සභාව තුළ තිබූ ලක්ෂණත් යළිත් උදා කිරීමට ක්‍රියා කිරීමයි.

ජේසු සමිඳුන් අනුමත කළේ "සේවක නායකත්වයක්" මිස සිය "ජනයා මත බර පටවා" කුමාර වරුන් සේ කල් ගෙවමින් ජනතා "බර ඔසවාගෙන යාමට ඇඟිල්ලක්වත් නොතබන" නායකත්වයක් නොවේ.

එහෙත් සියවස් ගණනක් පුරා පැවැති රෝම අධිරාජයන්ගේ පීඩනයෙන් පසුව කිතුනුවන්ට ඇදහිල්ලේ නිදහස උදා කල කොන්ස්තන්තීනු පාලනයේ අතුරු ඵලයක් වූයේ කිතුනු සභා නායකත්වය "සේවක නායකත්වයක" සිට "රාජකීය නායකත්වයක්" දක්වා විපරීත  වීමයි. ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම්, යාන වාහන වැනි ලක්ෂණ වලින් පමණක් නොව, එක්තරා අන්දමක අභියෝග කළ නොහැකි 'ආඥාදායක' මට්ටමේ නායකත්වයක් දක්වා මේ වන විට කිතුනු නායකත්වය ගමන් කරමින් සිටියි.

ගතවූ සිව් වසර තුළ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් අත ගසා සිටින්නේ මෙම ගමන සිය ස්වර්ගීය ස්වාමියාගේ පුත්‍රයා අනුදැන වදාළ මුල් තත්වය දක්වා ආපසු කරකැවීමේ අභියෝගයටයි. මේ අනුව පූජකවරුන්, රදගුරුවරුන් පමණක් නොව පාප් වහන්සේ ද වෙනස් විය යුතු බව ගත මෙම කාලය තුළ එතුමා පහදා දුන්නේ ය.

එතුමා අද මෙම ගමනේ තවත් පියවරක් ඉදිරියට තැබුවේය. එනම් ඉතිහාසයේ එක් අවධ්යක සිට "සභාවේ කුමාරවරුන්" යන විරුදයෙන් හැඳින්වුණු කාදිනල් හිමිවරුනට එම විරුදය සිය ස්වර්ගීය ස්වාමියාගේ පුත්‍රයා, එනම් ජේසු සමිඳුන් අනුමත කරන්නක් නොවන බව පැහැදිලි කර දීමයි. මේ  සිදුවූයේ වැදගත් අවස්ථාවක දීට.

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානය දී අද (ජුනි 28 බදාදා) නව කාදිනල් හිමිවරුන් පස් නමක් ස්ථාපනය කළහ. කාදිනල් ධුරයේ රතු බිරෙට්ටු ඔවුන්ට පළඳවමින් සුදොතුම් පියතුමන් ඔවුන්ට අනුශාසනා කලේ කීර්තිය සහ ගරු බුහුමන් වැනි ලෞකික ආකර්ෂණයන්ගෙන් වල්මත් නොවී, සිය නෙත් ජේසු සමිඳුන් ගේ කුරුසිය සහ ලෝක යථාර්ථයන් දෙස ම පමණක් තරයේ රඳවා ගනිමින් උන්වහන්සේ පසුපස පා තබන ලෙසයි.

"මා විශේෂයෙන් කතා කරන්නේ ඔබටයි, ප්‍රේමවන්ත නව කාදිනල් හිමිවරුනි" යි සම්ප්‍රදායික කාදිනල් ස්ථාපන දිව්‍ය පූජාවේ අනුශාසනයෙන් ඔබ්බට යමින් සුදොතුම් පියතුමා කීවේය: "ජේසු සමිඳාණෝ ඔබට ඉදිරියෙන් ගමන් කරමින් සිටිති.    තමන්වහන්සේ ගමන් කරන මාර්ගයේ ස්ථිරව ගමන් කරමින් තමන්  අනුගමනය කරන ලෙස උන්වහන්සේ ඔබගෙන් ඉල්ලා සිටිති. යථාර්ථය දැකීමත්, වෙනත් ආකර්ෂණයන්, ඇලුම්කම් හෝ ලාභ අපේක්ෂාවලින් වල්මත් නොවීමත් උන්වහන්සේ විසින් ඔබෙන් බලාපොරොත්තු වෙති" යි සුදොතුම් පියතුමා කීවේය.

"ජේසු සමිඳුන් ඔබ කැඳවා ඇත්තේ සභාවේ 'කුමාරවරුන්' වීමට නොවේ; උන්වහන්සේ ගේ දකුණු පස හෝ වම් පස අසුන් ගැනීමට නොවේ; උන්වහන්සේ ඔබ කැඳවන්නේ උන්වහන්සේ සමග උන්වහන්සේ මෙන් සේවය කිරීමටයි."

"පියාණන් හා ඔබගේ සහෝදර සහෝදරියනට සේවය කිරීම සඳහා, තමන් වහන්සේ කළා  සේ ලෝකයේ පාපයට හා නූතන ලෝකය මත දක්නට ලැබෙන පාපයේ බලපෑම්වලට මුහුණ දීමට උන්වහන්සේ ඔබ කැඳවන සේක. සමිඳුන් ගේ කුරුසිය සහ උත්ථානය දෙස තිරසරව නෙත් රඳවා ගෙන  උන්වහන්සේ අනුගමනය කරමින් දෙවියන් වහන්සේ ගේ ශුද්ධවූ ජනතාව ඉදිරියෙන් ගමන් කරන්න" යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කාදිනල් හිමිවරුනට අනුශාසනා කළේය.

අද පෙරවරුවේ සාන්ත පීතර බැසිලිකා දෙව්විමනේ පැවැති දිව්‍ය පූජාවේදී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් රදගුරු හිමිවරුන් 5 නමක් කාදිනල්හිමිවරුන් ලෙස ස්ථාපනය කරන ලදී. ඒ අතරින් සිව් නමක්, එනම් ස්වීඩනයේ ස්ටොක්හෝම් පදවියේ අන්ද්‍රෙස් ආර්බෝරේලියස් රදගුරු හිමි, ලාඕසයේ පාක්සේ පදවියේ අපෝස්තලික පරිපාලක ලුයී-මාරි ලිං මැංඛණෙඛෝන් හිමි සහ මාලි රාජ්‍යයේ බමාකෝ පදවියේ ජාන් සෙර්බෝ අගරදගුරු හිමි එම රටවලින් පත් වන ප්‍රථම කාදිනල් හිමිවරුය.

තවත් අතිශය සුවිශේෂී කරුණක් වන්නේ එල් සැල්වදෝරයේ සන් සැල්වදෝර් අගරදගුරු පදවියේ සහායක රදගුරු හොසේ ග්‍රෙගෝරියෝ රෝසා චාවේස් හිමි කාදිනල් නමක් ලෙස ස්ථාපනය කරනු ලැබීමයි. එතුමා ඒ සඳහා තෝරා ගැනුනේ එම පදවියේ ලුයිස් එස්කොබාර් අලස් අගරදගුරු හිමි එසේම සිටියදීය.


ඒ තොරතුරු මෙම 'ලින්ක්' වලින් කියවන්න.
කතෝලික සභාවට නව කාදිනල් හිමිවරු 5 නමක්; ඒ අතර සහයක රදගුරු තුමෙකුත්

භූගෝලය, ජ්‍යාමිතිය සහ අංක ගණිතය: නව කාදිනල් පත්වීම් වලින් කියැවෙන ප්‍රැන්සිස් සුදොතුම් පිය සභා දැක්ම


මෙම මෙහෙයේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය අනුශාසනයට පාදක කර ගත්තේ එදින සුබ අස්න වූ මතෙව් සුවිශේෂයේ 10:32-45 පාඨයයි. මෙහි සිය ශ්‍රාවකයන්  සමග ජෙරුසලෙමට ගමන් කරමින් සිටින ජේසු සමිඳු සිය කුරුසියේ මරණය ගැන තෙවන වරටත් පුරෝකථනය කරයි.

"ජේසු සමිඳානෝ  ඔවුන් (ශ්‍රාවකයන්) ඉදිරියෙන් ගමන් කරමින් සිටිති.  දැන් සිදුවෙමින් පවතින සිද්ධිය -එනම් කාදිනල් හිමිවරුන් ස්ථාපනය කිරීමේ අවස්තාව - පසුබිමේ සිට  අද කියවූ සුවිශේෂය අපට ඉදිරිපත් කරන සිත්තම මෙයයි" සුදොතුම් පියතුමා විස්තර කළේය.

"ජේසු සමිඳුන් ශ්‍රාවකයන් ඉදිරියෙන් ගමන් කරමින් සිටින්නේ තව ටික දිනකින් ජෙරුසලෙමේ සිදුවන්නට  යන දේ ගැන සම්පුර්ණයෙන් දැනුවත්වයි. එහෙත් මේ මොහොතේ උන්වහන්සේගේ හදවත සහ ශ්‍රාවකයන් ගේ හදවත් අතර යම් දුරස්ථ බවක්, බෙදීමක් ඇතිවෙනවා. මෙම බෙදීම යාකල හැක්කේ ශුද්ධාත්මයාණන්ට පමණයි. ජේසු සමිඳුන් මෙය දැනගෙන ඔවුන් ගැන  ඉවසිලිමත් වෙනවා. වඩා වැදගත් වන්නේ උන්වහන්සේ ඔවුනට ඉදිරියෙන්, ඔවුනට පෙරටුව ගමන් ගන්නවා යන්නයි."

"අතරමග දී ශ්‍රාවකයන්ගේ සිත්  ජේසු සමිඳුන් කරන්නට සුදානම් වන දේ සහ පියාණන් වහන්සේ ගේ කැමැත්ත යන කාරනා වලින් ඉවත්ව වෙනත් කාරනා වලට ඇදී යනවා. ඔවුන් යථාර්ථයට මුහුණ දෙන්නේ නැහැ. ඔවුන් සිතන්නේ ඔවුනට පෙනෙන බවයි. එහෙත් ඔවුනට නොපෙනේ. ඔවුන් සිතන්නේ ඔවුන් දන්නා බවයි. එහෙත් ඔවුන් දන්නේ නැත. ඔවුන් සිතන්නේ ඔවුනට අවබෝධ වන බවයි. එහෙත් එය එසේ නොවේ. මන්ද යථාර්ථය ඊට වඩා හාත්පසින්ම වෙනස්නිසාය. යථාර්ථය නම් ජේසු සමිඳුන් දකින දේ ය. උන්වහන්සේට දිශාව පෙන්වා දෙන දේ ය. එනම් කුරුසියේ යථාර්ථයයි" යැයි ප්‍රැන්සිස් සුතුම් පියතුමා පහදා දුන්නේ ය.

"මෙම යථාර්ථය නම්, ජේසු සමිඳුන් තමන් ගේ කරපිට පටවා ගත්තා වූත් සියලු ජන හදවත්වලින් මුලිනුපුටා දමන්නා වූ ලෝකයේ පාපයයි. පාපයේ යථාර්ථය ලෝකය තුළ විවිධාකාරයෙන් විද්‍යමාන වේ. යුද්ධයේ සහ ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත්ව  දුක් විඳින සහ  මියයන අහිංසකයන් තුළ,හා  මානව  වහල් භාවයේ විවිධ ආකෘතීන් තුළ මෙම යථාර්ථය අපට හමුවේ. මෙය සරණාගත කඳවුරු වලද දක්නට ලැබේ.."

මේ ජේසු සමිඳුන් ජෙරුසලෙමට යන අතරමග ජේසු සමිඳුන් දුටු දේ බව සුදොතුම් පියතුමා කීවේය.

"අපි ද ජේසු සමිඳුන් සග ගමන් කරමින් සිටිමු"  යයි එතුමා පෙන්වා දුන්නේය. " මේ නිසා අපගේ හදවත් සහ ජේසු සමිඳුන් ගේ හදවත අතර ඇති සෑම පරතරයක් ම  යා කර අපගේ ජීවිත සම්පුර්ණයෙන් ම දෙවියන් වහන්සේගේ කැමැත්තට පුද දෙමු යයි එතුමා වැඩි දුරටත් කියා සිටියේය.  







Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය