කතෝලික සභාවට නව කාදිනල් හිමිවරු 5 නමක්; ඒ අතර සහයක රදගුරු තුමෙකුත්

Holy Father to create 5 new Cardinals; one an auxiliary Bishop


(2017 මැයි 21)
කතෝලික සභාවට නව කාදිනල් හිමිවරුන් 5 නමක් පත්කිරීම සඳහා විශේෂ කාදිනල් සභාවක් (consistory) ජුනි මස 28 වැනිදා කැඳවන බව ප්‍රැන්සිස් පාප් වහන්සේ නිවේදනය කරති. මෙම කාදිනල් හිමිවරුන් පත් කෙරෙන්නේ සභාවේ "සියැළි බව" හෙවත් විශ්වීය බව නියෝජනය වන ආකාරයෙන් බවද එතුමා පෙන්වා දෙයි.

අද (21 ඉරිදා) පාස්කු සමයේ තුන්කාල ආරාධනා යැදුම සඳහා වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි වන්දනාකරුවන් අමතමින් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේය.

"සහෝදර  සහෝදරියනි, නව කාදිනල් හිමිවරුන් 5 දෙනෙකු නම් කිරීම සඳහා වන කාදිනල් සභාවක් ජුනි 28 වන බදාදා පවත්වන බව මම සතුටින් ප්‍රකාශ කරමි. උන්වහන්සේලා පත්කරනු ලබන්නේ ලොව වෙනස් ප්‍රදේශ කිහිපයකිනි. මෙයින් විද්‍යමාන වන්නේ ලෝකය පුරා පැතිර පවතින සභාවේ සියැළි බවයි (catholicity)" යි එතුමා කියා සිටියේය.

මෙම කාදිනල් සභාවට පසු දින, එනම් ශු. පේදුරු සහ පාවුළු මහා අපොස්තුළුවරුන් ගේ මංගල්‍යය පැවැත්වෙන ජුනි 28 වන දින නව කාදිනල් හිමිවරුන් 5 නම, ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් සමග හවුල් මංගල්‍ය දිව්‍ය පූජාවට එක වනු ඇත. ඉකුත් වසරේ සුදොතුම් පියතුමන් විසින් නම් කරන ලද අගරදගුරු හිමිවරු ද එතුමන් සමග එම පූජාවට  එක්වෙති.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් නම් කර ඇති නව කාදිනල් හිමිවරුන් 5 නම මෙසේය:
මාලි රාජ්‍යයේ බම්කෝහි අගරදගුරු  ජීන් සෙර්බෝ  හිමි,
ස්පාඥ්ඥයේ බාසිලෝනාහි අගරදගුරු  හුවාන් හොසේ ඔමෙලියා  හිමි,
ස්වීඩනයේ ස්ටොක්හෝම්හි  අන්ද්රෙස් අර්බෝරෙලියස් රදගුරු හිමි,
එල් සැල්වදෝරයේ සැන් සැල්වදෝර් අගරදගුරු පදවියේ සහයක රදගුරු හොසේ ග්‍රේගෝරියෝ රෝසා චාවේස් හිමි,
ලාඕසයේ පක්සේ පදවියේ අපෝස්තලික පරිපාලක ලුයී-මාරි ලිං මන්ඛනේඛෝන් රදගුරු හිමි.

මෙම ලේඛනය දුටු විට යලිත් තහවුරු  වන්නේ "ප්‍රැන්සිස් ශෛලිය" බව සභා කටයුතු විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ලොව වැදගත් තත්වයක් දරන යුරෝපීය රදගුරු පදවිවල ජනයා සේ ම ප්‍රැන්සිස් පාප් වහන්සේ නිතර කතා කරන "පර්යන්ත" සභා වල ජනතාව ද මෙම කාදිනල් වරුන් අතර නියෝජනය වී තිබේ. එසේම සාම්ප්‍රදායිකව කාදිනල් ආසන තිබී නැති නමුත් සභාව තුළ සමස්ත ජනතාව -විශේෂයෙන් සුළුතර හා දුප්පත් ජනතාව - නියෝජනය විය යුතු බවට සුදොතුම් පියතුමා දරන අදහස මේ මගින් යලිත් සනාථ වී තිබේ.

පැහැදිලි උදාහරණයක් වන්නේ මෙතෙක් කාදිනල් නමක් නොසිටි කොමියුනිස්ට් ලාඕසයට කාදිනල් හිමි නමක් පත්කර තිබීමයි. ලාඕසය කිතුනු ප්‍රාණපරිත්‍යාගීන් ගේ බිමක් ලෙස හඳුනාගෙන තිබේ. 1960 දී එරට කොමියුනිස්ට් විප්ලවකාරීන් විසින් විශ්වාසය උදෙසා ඝාතනය කරන ලද කතෝලිකයන් දෙදෙනෙකු සාන්තුවරුන් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ක්‍රියාමාර්ගය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා 2015 දී ආරම්භ කළේය.

එසේම මේ අතර  අතිශයින් කැපීපෙනෙන, අපූර්ව පත්කිරීමක් වන්නේ එල් සැල්වදෝරයේ සැන් සැල්වදෝර් අගරදගුරු පදවියේ සහයක රදගුරු හොසේ චාවේස් හිමි කාදිනල් ධුරයට නම් කිරීමයි. චාවේස් හිමියන් එම තනතුරට තෝරාගෙන  ඇත්තේ එම පදවියේ අගරදගුරු හොසේ ලුවිස් අලස් හිමි එසේම සිටියදීය. සුදුස්සා තෝරාගැනීමේ දී සාම්ප්‍රදායික "කාදිනල් ආසන" මග හැර යාමට වුවද ප්‍රැන්සිස් පාප් වහන්සේ එඩිතර වන බවට මෙය තවත් කදිම නිදසුනකි. ඔබට මතක ඇත්නම්, සැන් සැල්වදෝර් යනු 1980 දී දක්ෂිනාංශික රෙජීමය විසින් ඝාතනය කරන ලද භාග්‍යවන්ත ඔස්කා රොමෙරෝ අගරදගුරු හිමිපාණන් ගේ රදගුරු පදවියයි. සහයක රදගුරු (නව කාදිනල්) හොසේ චාවේස් හිමි රොමෙරෝ අගරදගුරු තුමන් ගෙනගිය මානුෂවාදී අරගලයේ දී එතුමන් ගේ සමීප සහායකයකු ලෙස කටයුතු කරමින් ජනතාවගේ ගෞරවාදරයට ලක්ව සිටියේ ය. එතුමා සැන් සැල්වදෝර් සහායක රදගුරු තුමා ලෙස සේවය කරන්නේ 1982 සිටය.  සිය දූත මෙහෙවර මගින් භා. රොමෙරෝ අගරදගුරු තුමන් ගේ එඬේරික, පූජක හා දිවැසිවර මෙහෙවර ඉදිරියට ගෙනයාමට චාවේස් සහායක රදගුරු තුමා වැඩකරමින් සිටියි.(රොමෙරෝ අගරදගුරු හිමියන් මේ වසරේ දී ශුද්ධවන්ත භාවයට ඔසවනු ඇති බවට ද කට කතාවක් පැතිරෙමින් තිබේ. )

මේ පත් කිරීම වල තවත් විශේෂත්වයක් තිබේ. නව කාදිනල් හිමිවරු 5 නමම අවුරුදු 80 ට අඩු වයස් කාණ්ඩයේ අයයි. මේ නිසා සුදොතුම් පිය වරණ දැහැනකදී ඔවුහු චන්දය දැමීමට සුදුස්සෝ වෙති.

සාම්ප්‍රදායිකව කාදිනල් වරුන් ලෙස පත් කරනු ලබන්නේ පදවි නායකත්වය දරන අගරදගුරුවරුන් හා රෝම කියුරියාවේ ප්‍රධානීන් ලෙස කටයුතු කරන අගරදගුරු තුමන්ලාය. පදවි මට්ටමේ දීද කාදිනල් ධුරය සඳහා තෝරාගැනෙන්නේ කතෝලික ජනගහනය අධික ප්‍රදේශ වල අගරදගුරු පදවි ය. එහෙත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම සම්ප්‍රදාය වෙනස් කර තිබේ. සම්ප්‍රදාය ඉක්මවන මෙවැනි පත් කිරීම් ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමාගේ සුවිශේෂී ලකුණකි. මීට කලින් 2016 නොවැ ම්බරයේ පැවැති කාදිනල් සභාවේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගරු පියතුමෙකුට කාදිනල් ධුරයක්  පිරිනැමුවේය. ඒ, ඇල්බේනියා ආණ්ඩුවේ වදහිංසාවට ලක්වූ ඇල්බේනියා ජාතික අර්නස්ට් සිමොනි පියතුමායි. එසේම මෙතෙක් කාදිනල් අසුනක් නොතිබූ මියන්මාවට හා මුරුසියට කාදිනල් හිමිවරුන්  පත් කළේය. මේ අනුව අනාගතයේ දී ප්‍රධාන පදවියක  අගරදගුරුතුමකු වීම පමණක් කාදිනල් ධුරය සඳහා සුදුසුකමක් නොවනු ඇත.

මේ සම්බන්ධයෙන් මුරුසි පුවත්පතකට අදහස් දැක්වූ මුරුසියේ පෝට් ලුවීහි රදගුරු මොරිස් පියාට් කාදිනල් හිමි මෙසේ කියා සිටියේය: " ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සෑම විටම, සෑම තැනකම  තීරණ ගනිද්දී එතුමා සුබ අස්නෙන් අනුප්‍රාණය ලබමින්, ක්‍රිස්තුන් වහන්සේ හමුවී එතුමන් සමග ගමන් කිරීමේ අදිටනින් එසේ කරන බව පැහැදිලියි. ....එතුමා අනුගමනය කරන්නේත් සුබ අස්නේ එන 'අන්තිමයා ප්‍රථමයා වන්නේය' යන ජේසු සමිඳුන් ගේ උපදේශයයි."



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය