පාප් වහන්සේ රෝමයේ එංගලන්ත සභා දෙව්මැදුරේ ඓතිහාසික සංචාරයක

Holy Father visits All Saints Anglican Church in Rome:An Historic visit



(2017 පෙබරවාරි 27)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඊයේ (පෙබරවාරි 26 ඉරිදා) සන්ධ්‍යාවේ රෝමයේ පිහිටි ඇන්ග්ලිකාන සභා (එංගලන්ත සභා) දේවස්ථානය වන සියලු සාන්තුවරයන් ගේ දේවස්ථානය බැහැදැකීමට ගියේය.

මෙය අතිශයින් ඓතිහාසික අවස්වථාවක් විය. ඊට හේතුව පාප්වහන්සේ නමක් සිය රදගුරු පදවිය වන රෝමයේ පිහිටි එංගලන්ත සභා දෙව්මැදුරට සපැමිණි   ප්‍රථම අවස්ථාව  මෙය බැවිනි. යුරෝපයේ එංගලන්ත සභාවේ  රදගුරු රොබර්ට් ඉන්ස් බිෂොප් තුමා ද මෙම අවස්ථාවට එක්  වී සිටියේ ය.

මෙම සියලු සාන්තුවරයන් ගේ දෙව්මැදුර මේ වසරේ සිය 200 වැනි ජයන්තිය සමරයි.  "සදාතනික නගරය" යන  විරුදය ලද රෝමයේ ඇන්ග්ලිකාන මීසමක් පිහිටුවා මේ වසරට වසර 200ක් සම්පුර්ණ වේ. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙවන් මොහොතක එම දෙව්මදුරට පැමිණීම විශේෂ වැදගත්කමක් දරයි.

සුදොතුම් පියතුමා එහිදී රොබර්ට් ඉන්ස් බිෂොප් තුමන් හා එක්ව එම දෙව්මැදුරේ ගායනා කණ්ඩායමේ ගායනයෙන් මාධූර්ය වූ සැන්දෑ ගීතිකා මෙහෙයකටද සහභාගී  වීම විශේෂ සිද්ධියක් වූයේය.

තවත් වැදගත් හා ඓතිහාසික අවස්ථාවක් වූයේ එම දෙව්මැදුරේ ස්ථාපනය කර තිබූ ගැලවුම්කාර ජේසු සමිඳුන් (“St. Saviour”) ගේ පින්තුරය සුදොතුම් පියතුමන් විසින් ආශීර්වාද කර කැපකරනු  ලැබීමයි.

ඊට අමතරව තවත් ඓතිහාසික සිද්ධියක් ද සිදු වූයේය. එනම් සියලු සාන්තුවරයන් ගේ ඇන්ග්ලිකාන මීසම , රෝමයේ පිහිටි සියලු සාන්තුවරයනට කැපවූ එකම මීසම වන "ඔග්නිස්සාන්ති" (“Ognissanti”) දෙව්මැදුර හා සම්බන්ධ කොට 'නිවුන් මීසමක්'  (“twinning”) බවට පත් කිරීමයි. මෙය සභා දෙකේ එක්සත් බව පිලිබඳ සංකේතයක් බවට පත් වනු ඇත. මෙම ඔග්නිස්සාන්ති දෙව්මැදුර ද ඓතිහාසික වැදගත්කමින් යුත්  එකකි. දෙවැනි වතිකාන කතිකා ප්‍රතිසංස්කරණ වලින් පසුව භා. සවැනි පාවුළු පාප් වහන්සේ ඉතාලි බසින් පැවැත්වූ ප්‍රථම දිව්‍ය පූජා යාගය සිදු කරන ලද්දේ මෙම දෙව්මැදුරේ දී ය. (ඊට කලින් පූජාව පැවැත්වුනේ ලතින් බසිනි.)

මෙහෙයෙන් පසු එහි සිටි සැදැහැවතුන් නැගූ ප්‍රශ්න කිහිපයකට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පිළිතුරු දුන්නේ ය. එහි දී තවත් වැදගත් තුරතුරක් ද හෙළිදරව් විය. වාර්ගික දේශපාලනික ගැටුම් වලට මැදිවූ දකුණු සුඩානයේ අපෝස්තලික සංචාරයක් සම්බන්ධයෙන් දැන් අධ්‍යයනය කරගෙන යන බව එතුමා පැවසුවේය. මෙම සංචාරයට ලෝක එංගලන්ත සභාවේ නායක ආචාර්ය ජස්ටින් වෙල්බි කැන්ටබරියේ අගරදගුරු තුමා ද සහභාගී වීමේ ඉඩකඩ ඇතැයි එතුමා හෙළිදරව් කළේය.

එසේ වුවහොත් පාප් වහන්සේ නමක් කැන්ටබරියේ අගරගුරු තුමන් හා එක්ව කෙරෙන ප්‍රථම අපෝස්තලික සංචාරය බවට එය පත්වනු ඇත.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය