කාන්තා තේවාචාරීවරය ගැන අධ්‍යයනයට කොමිසමක් පත් කෙරේ; පිරිමි-කාන්තා සාමාජිකයන් 6 දෙනා බැගින් සම සමව

Pope Francis Institutes a Commission to study female deacons; with a gender balanced membership 


(2016 අගෝස්තු 2)
කාන්තා තේවාචාරීවරය ගැන අධ්‍යයනය කිරීම සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කොමිෂන් සභාවක් පත්කරයි. 2016 අගෝස්තු 2 වනදා වතිකානයේ දී එතුමන් විසින් පත් කරන ලද  මෙම කොමිසමේ සාමාජික සංඛ්‍යාව 12 දෙනෙකි. පිරිමි 6 දෙනෙකු සහ කාන්තාවන් 6 දෙනෙකු ලෙස සමානාත්මතාව රැකෙන ලෙස  සාමාජිකයන් පත් කරනු ලැබ තිබීම මෙහි විශේෂත්වයකි. එසේම එය හුදෙක්ම පූජක-පැවිදි සාමාජිකයන්ගෙන් සැදුම්ලත් කොමිසමක් නොව උගත් සහ සභාව පිලිබඳ ඇසූ පිරූ තැන් ඇති ගිහියෝ කිහිප දෙනෙක් ද ඊට ඇතුලත් වෙති.

මෙම කොමිසම පිහිටුවීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් තීරණය කරන ලද්දේ "දැඩි යාච්ඥාවෙන් හා පරිනත භාවනාවෙන් පසුව" යයි මෙම කොමිසම ප්‍රකාශයට පත් කරමින් වතිකානය විසින් ඊයේ (අගෝස්තු 2) නිකුත් කෙරුණු නිවේදනයේ සඳහන් වේ. වෙනත් කටයුතු අතර "සභාවේ මුල් සමයේ කාන්තා තේවාචාරීවරයේ ඉතිහාසය පිළිබඳව විශේෂයෙන් අධ්‍යයනය කිරීම මෙම කොමිසමෙන් සුදොතුම් පියතුමා බලාපොරොත්තු වන බව" එම  නිවේදනය කියයි.

වතිකානයේ විශ්වාස ධර්මය පිලිබඳ සසුන් පර්ෂදයේ ලේකම් ලුයිස් ලැඩරියා ෆෙරර් (ජේසු නිකායික) අගරදගුරු හිමිපාණෝ කොමිසමේ සභාපති ලෙස නම් කරනු ලැබ සිටිති.

මෙම කොමිසම,  ලොව පුරා කාන්තා පැවිදි නිකාය නායිකාවන් නියෝජනය කරන ජගත් කාන්තා නිකාය ශ්‍රෙෂ්ඨාධිපති  සම්මේලනයේ නියෝජිතයන් පසුගිය මැයි 12 වනදා සුදොතුම් පියතුමාගෙන් කල කල ඉල්ලීමක් හා ඊට එතුමා දුන් ප්‍රතිචාරයේ ප්‍රතිඵලයකි. සභාවේ මුල් යුගයේ ලෙස යලිත් කාන්තා තේවාචාරීවරය පිහිටුවන්නැයි ඔවුහු පාප් වහ්ස්න්සේගෙන් ඉල්ලා සිටියහ. මෙම යෝජනාව ගැන අධ්‍යනය කල හැකි බව ද ඒ සඳහා කොමිෂමක් පිහිටුවිය හැකි බව ද සුදොතුම් පියතුමා ඔවුනට පිළිතුරු දෙමින් කියා සිටියේ ය.

(මෙම සිද්ධිය වතිකාන සුළග විසින් එදා වාර්තා කෙරිණි. එම තොරතුරු මෙතැනින් කියවන්න: "කාන්තාවන්ට තේවාචාරීන් විය නොහැකි ද? - "පුළුවන් වේවි; ඒ ගැන අධ්‍යයනය කරමු." ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තවත් ඓතිහාසික විවෘතභාවයකට යොමු වේ.)

මෙම කොමිසමට සුදොතුම් පියතුමා විසින් නම් කරන ලද සාමාජිකයන් අතර සසුන් පිය විශ්ව විද්‍යාල වල මහාචාර්ය වරු 6 දෙනෙක්, වතිකානයේ ජාත්‍යාන්තර බයිබල් කොමිසමේ සාමාජිකයන් 4 දෙනෙක් සහ සසුන් පිය බයිබල් කොමිසමේ සාමාජිකයෙක් ද සිටිති. කොමිසමේ සාමාජිකයන් 12 දෙනාගෙන් 6 දෙනෙක් පූජකවරුන් වන අතර දෙදෙනෙක් කාන්තා පැවිදිවරියෝය. සෙසු 4 දෙනා ගිහි කාන්තාවෝය. මෙම සාමාජිකයන් අතර සභා ලේඛන වේදය (patristic theology), සභා අධ්‍යනයනය (ecclesiology), සහ ආධ්‍යාත්මිකත්වය (spirituality) යන ක්ෂේත්‍රවල විශේෂඥයෝ සිටිති.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය