"කාන්තාවන්ට තේවාචාරීන් විය නොහැකි ද? - "පුළුවන් වේවි; ඒ ගැන අධ්‍යයනය කරමු." ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තවත් ඓතිහාසික විවෘතභාවයකට යොමු වේ.

Holy father to create a commission to study the issue of women diaconate 


(2016 මැයි 13)
කතෝලික සභාව තුළ කාන්තාවන්ට තෙර්වාචාරීන් ලෙස සේවය කල හැකිද යන්න විමර්ශනය කර අධ්‍යයනය කිරීම සඳහා කොමිෂන් සභාවක් පත් කරන බව  සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කරති.

එතුමා මෙම ප්‍රකාශය කලේ බ්‍රහස්පතින්දා (මැයි 12) වතිකානයේ පැවැත්වුණු ලොව පුරා කතෝලික සභා පැවිදිවරියන් ගේ නිකායයන්වල නායිකාවන් ගේ සම්මන්ත්‍රණයක් අවසානයේ එම නායිකාවන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ජාත්‍යන්තර කාන්තා ශ්‍රේෂ්ඨාධිපතීන් ගේ මහා සමුළුවක් සෑම තෙවසරකට වරක් ම රෝමයේ දී පැවැත්වේ. මේ වසරේ පැවැති එම සමුළුව අවසානයේ 900ක් පමණ වූ එම නායිකාවන්ට සුදොතුම් පියතුමා සමග හමුවක් ලැබිණ. මෙම හමුවේ දී, සුදොතුම් පියතුමා නිතර කරන ලෙස, එතුමාගෙන් ප්‍රශ්න ඇසීමට කාන්තා පැවිදි නිකාය නායිකාවන්ට ඉඩ ලබා දුන්නේ ය.

එහිදී සුදොතුම් පියතුමාගෙන් ඔවුන් ඇසූ එක ප්‍රශ්නයක් වූයේ:"කාන්තාවනට තේවාචාරීන් ලෙස සේවය කිරීමට සභාව ඉඩ නොදෙන්නේ මන්ද? මෙම ප්‍රශ්නය ගැන අධ්‍යයනය කිරීම සඳහා නිල කොමිෂන් සභාවක් පත් නොකරන්නේ මන්ද?" යන්නයි.

ඊට පිළිතුරු දුන් ප්‍රැන්සිස් පාප්වහන්සේ කියා සිටියේ මෙම ප්‍රශ්නයම  තමා මීට බොහෝ කාලයකට පෙර එක් "බුද්ධිමත් දේවධර්ම මහාචාර්යවරයකු" ගෙන් විමසා තිබූ බවයි. එම මහාචාර්යවරයා සභාවේ  මුල් සියවස් වල කාන්තා තේවාචාරීන් යොදා ගැනීම  පිළිබඳව අධ්‍යනය කර තිබූ කෙනෙකි. එහෙත් 'මෙම කාන්තා තේවාචාරීන් සතුව තිබූ කාර්යභාරය නොහොත් භූමිකාව ගැන පැහැදිලි නැතැයි' එම මහාචාර්යවරයා පැවසූ බව සුදොතුම් පියතුමා කියා සිටියේය.

"'කවුද මේ කාන්තා තේවාචාරීන්? ඒ අයට සභාවේ නිල තේවාචාරිවරය ලැබුනාද, නැද්ද?' කියා මා එතුමාගෙන් විමසූ බව මට මතකයි" සුදොතුම් පියතුමා කීවේය. "ඒ සමයේ කාන්තා තේවාචාරීන් ගේ භූමිකාව තරමක් නොපැහැදිලියි" එතුමා සඳහන් කළේය.

"මේ ප්‍රශ්නය ගැන අධ්‍යයනය කිරීමට නිල කොමිසමක් පත් කිරීම? ඔව්. මම විශ්වාස කරනවා එය කල හැකියි කියා. මෙම කරුණ පැහැදිලි කරගැනීම සභාවට යහපතක් වේවි. මම ඊට එකඟයි. මා එය පිළිගන්නවා. මෙය ඉතා හොඳින් පැහැදිළි කරගැනීම සඳහා කොමිසමක් පත් කිරීම අපට ප්‍රයෝජනවත් වේවි." සුදොතුම් පියතුමා පිළිතුරු දෙමින් තව දුරටත් කියා සිටියේ ය.

සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ මෙම ප්‍රකාශය 'සම්පූර්ණයෙන් පිරිමි' පූජක පන්තියක් සතු වූ ද සාම්ප්‍රදායික මතිමතාන්තර හා වෙනස් කල නොහැකියැයි සිතන දැඩි සම්ප්‍රදාය රැසක් සතු වූ ද කතෝලික සභාවේ, ඓතිහාසික විවෘතභාවයක් සංකේතවත් කරන්නක් බව විචාරකයෝ පෙන්වා දෙති.

කාන්තාවනට පූජාත්වරය ලබා දීම ගැන මතුව ආ සංවාදය සැලකිල්ලට ගත් ශු. දෙවැනි ජුවාම් පාවුළු සුදොතුම් පියතුමා 1994 දී "Ordinatio Sacerdotalis" නමැති අපෝස්තලික හසුන ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ,"එවැන්නක් සිදු කිරීමට සභාවට කිසිදු බලාධිකාරියක් නොමැති බවයි. ජේසු සමිඳුන් සිය අපොස්තුළුවරුන් සඳහා තෝරා ගත්තේ පිරිමින් පමණක් වීම නිසා මෙය සිදු කල නොහැකි බව". බව එතුමා පෙන්වා දුන්නේ ය.

කෙසේ නමුත් සභාවේ මුල් ශත වර්ෂවල කාන්තා තේවාචාරීන් සිටි බවට ප්‍රමාණවත් සාක්ෂි ඇතැයි සභා ඉතිහාසඥයෝ පෙන්වා දෙති. ශු. පාවුළු තුමා රෝම වරුනට ලියු හසුනේ එවැනි කාන්තාවක් ගැන සඳහන් කරයි. ඇයගේ නම ෆීබි ය.

මුල් සියවස් ආදර්ශය ගනිමින් කතෝලික සභාව මීට ටික කලකට ඉහත පිරිමින්ට "ස්ථිර තේවාචාරීවරය" ලබා දීම යලි ප්‍රතිෂ්ඨාපානය  කලේ ය. සාමාන්‍යයෙන් වයස අවුරුදු 35ට ඉහල විවාහක පිරිමින්ට මෙම තේවාචාරිවරය ලබා ගත  හැකිය. ඇතැම් සක්‍රමේන්තු දානය කිරීම හා තවත් කටයුතු රැසක දී පුජකවරුනට සහාට වීම ඔවුන්ගේ සේවාවේ අරමුනයි. ඔවුන්ට දිව්‍ය පූජාව පැවැත්විය නොහැකිය. එහෙත් ප්‍රසාද ස්නාපනය ලබාදීම, සක්‍රමේන්තු සඳහා ළමයින් පුහුණු කිරීම, දේශනා කිරීම, පියතුමා නොමැතිවිට දේවස්ථානයේ සහ මීසමේ පරිපාලකයා ලෙස කටයුතු කිරීම ආදිය ඔවුන්ගෙන් ඉටු කෙරේ.මෙය දෙවන වතිකාන කතිකාවෙන් නිර්දේශ කරන ලද පියවරක් ක්‍රියාත්මක කිරීමකි. මෙහි අරමුණ වූයේ පූජකවරුන් අඩු හෝ හිඟ සභා මුහුණ දෙන තත්වයට විසඳුමක් ලබා දීමයි. පූජකවරුන් හා දේව කැඳවීම් අඩු යුරෝපයේ හා උතුරු ඇමෙරිකාවේ ඇතැම් සභාවල මෙය තවමත් ක්‍රියාත්මක වේ.

කාන්තාවන් සභාවේ ක්‍රියාකාරී ජීවිතයට අනුබද්ධ කර ගැනීම "දුර්වල මට්ටමක" පවතින බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. "එහෙත් අප ඒ සම්බන්ධයෙන් ඉදිරියට යා යුතුයි" එතුමා සඳහන් කළේය. "වඩා වැදගත් වන්නේ, තීරණ විස්තාරණය කීරීමයි. හුදෙක් ක්‍රියාත්මක කිරීම පමණක් නොවේ. මෙම සන්දර්භයෙහි ලා කැපවුණු ජීවිත ගත කරන්නන් හෝ ගිහියන් හෝ වේවා , සෑම කාන්තාවක් ම සාකච්ඡා ක්‍රියාමාර්ගයට අනුබද්ධ කරගත යුතුයි."  යයි එතුමා පෙන්වා දුන්නේ ය.

සුදොතුම් පියතුමාගේ මෙම ප්‍රකාශය ගැන විවේචනය කරන්නන් හා කලබල වන්නන් පාර්ශව දෙකක් සිටිය හැකි බව වතිකාන කටයුතු නිරීක්ෂකයකු වන ජේසු නිකායික තෝමස් රීස් පියතුමා පවසයි. එක් කාණ්ඩයක් වන්නේ සභාවේ කිසිවක් වෙනස් කල නොහැකි බව කියන දැඩි මතධාරීන් පිරිසයි. පාප් වහන්සේගේ මෙම ප්‍රකාශය හරියට "කූඩාරමට නහය දමා ගැනීමට ඔටුවාට ඉඩ දුන්නා වාගේ" යයි ඔවුන් පවසනු ඇත. අන්තිමේදී කොහොම හරි ඔටුවා උගේ මුළු ඇඟම කූඩාරමට දමා ගනයි. එසේම මෙම තීරණය ක්‍රියාත්මක වුවහොත් කාන්තා පූජාතවරය ගැන කතා කරන දිනයත් ඈත නොවනු ඇතැයි ඔවුන් තර්ක කරනු ඇත. අනෙක් පස සිටින්නේ 'වමේ ' කණ්ඩායමයි. 'මය මොකක් ද ? ඔය මදි. කාන්තා පූජාතවරය කරාම යා යුතුයි." ඔවුන් තර්ක කරනු ඇත.

එහෙත් මේ සියලු පාර්ශව සහිපත් කල යුතු එක කරුණක් තිබේ. එනම් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නිතරම සභාවෙන් ඉල්ලා සිටින්නේ "ශුද්ධාත්මයානන්ට ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්න" යන ඉල්ලීමයි. යෝජිත මෙම කොමිසම එසේ ශුද්ධාත්මයානන්ට ක්‍රියාත්මක වීමට ඉඩ දීමේ ප්‍රයත්නයකි.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය