සුදොතුම් පියතුමා ඉස්ලාම් දහම සමග බහුවිධ සංවාදයක් ඇරඹීමේ වෑයමක: ආරම්භය ඊජිප්තුවෙන්?

Holy Father's multiple-front effort to initiate a deep Islam-Catholic dialogue: Is Egypt the key

කයිරෝ නුවර අල්-අෂර් මහ පල්ලිය

(2016 පෙබරවාරි 28)
කිතුනු සභා අතර සංවාදය සේ ම සමයාන්තර සංවාදය ද සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ කේන්ද්‍රීය සේවාවක්  බවට පත් වී තිබේ. සමයාන්තර සංවාදයේ දී ඉස්ලාම් දහම සමග සංවාදය එතුමා ගේ හදවතට බොහෝ සමීප එකක් බවට පත් වී ඇත. කිතුනු-ඉස්ලාම් සංවාදයේ ගැඹුරක් සොයන පාප් වහන්සේ ඉකුත් සතියේ කියා සිටියේ සුන්නි ඉස්ලාම් පාර්ශවයේ නායකකු වන අහමඩ් එල්-ටයෙබ් ඉමාම්වරයා හමුවීමට තමන් මහත් බලාපොරොත්තුවකින් සිටින බවයි. "එතුමා හමුවීමට මා කැමැත්තෙන් සිටිනවා. මා දන්නවා එතුමාත් ඒ පිලිබඳ බලාපොරොත්තුවෙන් සිටින බව" යැයි සුදොතුම් පියතුමා කියා සිටියේ මැක්සිකෝවේ සිට ආපසු රෝමය බලා එන අතර ගුවනේ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එල්-ටයෙබ්, ඊජිප්තුවේ කයිරෝ නුවර අල්-අෂර් ප්‍රධාන පල්ලියේ  අග්‍ර ඉමාම් වරයා ය. අල්-අෂර් පල්ලිය සහ ඊට එකාබද්ධව පවතින විශ්ව විද්‍යාලය සුන්නි ඉස්ලාමයේ ප්‍රමුඛතම ආයතන දෙකක් ලෙස සැලකේ. දීර්ඝ ඉතිහාසයක් ඇති මෙම ආයතන දෙක පිහිටුවන ලද්දේ 10 වන සියවසේ දී ය. 1961 දී මෙම විශ්ව විද්‍යාලය ආගමික නොවන විෂයමාලා ද එහි අධ්‍යයන පාඨමාලාවට එකතු කලේ ය. 2003 සිට මෙම විශ්ව විද්‍යාලයේ කුලපති වරයා ලෙස කටයුතු කරමින් සිටි එල්-ටයෙබ් 2010 දී ප්‍රධාන පල්ලියේ අග්‍ර ඉමාම්වරයා ලෙස ද තේරී පත් විය. ඉස්ලාම් අන්තවාදය වැළක්වීමේ මෙහෙවරෙහි යෙදී සිටින ඔහු සැලකෙන්නේ මධස්ථමතවාදී සුන්නි ඉස්ලාම් නායකයකු ලෙසයි. සුන්නි ඉස්ලාම් ලෝකය තුළ ඔහු මහත් ගෞරවයට ලක්ව සිටියි.

කතෝලික සභාවේ වෙනත් ආගම් සමග සංවාදය පිලිබඳ වගකීම පැවරී ඇති ජෝන් ලුවී ටොරන් කාදිනල් හිමිපාණන් ගේ නායකත්වයෙන් යුත් සමයාන්තර සංවාදය පිලිබඳ ශුද්ධාසන මන්ත්‍රණ සභාව ඉස්ලාම් දහම සමග සංවාදය සඳහා යොමු වී ඇත්තේ අහමඩ් එල්-ටයෙබ් ඉමාම්වරයා වෙතය. මෙම මන්ත්‍රණ සභාවේ ලේකම් මිගෙල් අයුසෝ පියතුමා ඉකුත් පෙබරවාරි 16 වනදා කයිරෝ නුවර දී අල්-අෂර් පල්ලියේ නියෝජ්‍ය ප්‍රධාන ඉමාම්වරයා වන අබ්බාස් ෂුමාන් මුණගැසී සාකච්ඡා කලේ ය. වතිකාන මාධ්‍ය කාර්යාලය කියා සිටියේ මෙම හමුව ඉතා සුහද එකක් වූ බවයි.

වතිකානයට පැමිණ සුදොතුම් පියතුමා හමුව වන්නැයි මෙම හමුවේ දී මිගෙල් අයුසෝ පියතුමා අග්‍ර ඉමාම් තුමාට ආරාධනා කලේ ය.

මෙම හමුව වැදගත් වන ප්‍රධාන කරුණු අතර එක කැපී පෙනෙන හේතුවක් තිබේ. එය නම්, අල් -අෂර් පල්ලිය 2011 දී වතිකානය සමග පවතී සම්බන්ධතා අත්හැර දමා තිබීමයි. ඊට හේතු වූයේ 2011 ජනවාරි 1 වැනිදා ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිදු වූ බෝම්බ පිපිරීමකින් කොප්ටික් කිතුනුවන් 23 දෙනෙකු මියයාමත් ඉන්පසු සිදු වූ සිද්ධි මාලාවත් ය. ප්‍රහාරයෙන් පසු ක්ෂණිකවම මෙන් ප්‍රතිචාර දැක වූ සොළොස්වන බෙනඩික් සුදොතුම් පියතුමා මෙම ප්‍රහාරය "වන්දනාකරුවනට කුරිරු ලෙස එල්ල කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරයක්" ලෙස හැඳින් වුයේ ය. එතුමා කියා සිටියේ එය කිතුනුවනට එරෙහිව එල්ල වන "උපායමාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා මාලාවක කොටසක්" බවයි. යලිත් නව වසරේ වතිකානයට අනුයුක්ත කොට සිටින විදේශ තානාපතිවරුන් ඇමතීමේ දී ද උන්වහන්සේ මෙම විෂය ගැන කතා කළහ.තම රටවල වෙසෙන ආගමික සුලුතරයන් ආරක්ෂා කරන්නැයි එතුමා තානාපතිවරුන් ගෙන් ඉල්ලා සිටියහ. බෙනඩික් සුදොතුම් පියතුමා ගේ මෙම ප්‍රකාශයට අල-ටයෙබ් ඉමාම්වරයා ප්‍රතිචාර දැක්වූයේ තරමක දැඩි ප්‍රතිචාරයකි. ඔහු කියා සිටියේ පාප් වහන්සේ ගේ ප්‍රකාශය "ඊජිප්තුවේ අභ්‍යන්තර  කටයුතුවලට ඇත පෙවීමක්" බවයි. ඊට පෙරදිගින් සහ ඊජිප්තුවෙන් රිනාත්මක ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි හෙතෙම සඳහන් කලේ ය. එදා සිට අල්-අෂර් පල්ලිය සහ වතිකානය අතර ම දක්වා කිසිදු සම්බන්ධතාවක් ඇති නොවීය.

මෑතක සිට එම තත්වය වෙනස් වෙමින් තිබේ. අල්-ටයෙබ් ඉමාම් තුමා එම සරසවිය කේන්ද්‍ර කරගනිමින් චන්ද්‍රිකා රුපවාහිනි සේවාවක් ආරම්භ කර තිබේ. ඒ මගින් සහ සරසවි පාඨමාලා නවීකරණ මගින් සමයාන්තර සංවාදය ප්‍රවර්ධනය කිරීමට ඔහු කටයුතු කරමින් සිටියි.

ඉස්ලාම් දහම සමග සංවාදය සුදොතුම් පියතුමාට කෙතරම් වැදගත් ද කියන්නේ නම්  ඉකුත් ජනවාරි අවසානයේ එතුමා අයුසෝ පියතුමන් රදගුරු තුමකු ලෙස නම් කළේය.ඉස්ලාම් දහම පිලිබඳ වියතකු හා විශේෂඥයකු වන අයුසෝ පියතුමා කලක් කයිරෝ නුවර  මහාචාර්යවරයකු ලෙස ද කටයුතු කර තිබේ. රදගුරුවරය එතුමා ඉස්ලාම් ලෝකය සමග පවත්වන සම්බන්ධතා සහ සංවාදය ශක්තිමත් කිරීමට සමත් වනු ඇතැයි වතිකානය විශ්වාස කරයි.එතුමා ගේ එම දායකත්වය සමයාන්තර සංවාදය පිලිබඳ ශුද්ධාසන මන්ත්‍රණ සභාවට බෙහෙවින් තීරණාත්මක වනු ඇති බව වතිකාන නිරීක්ෂකයෝ කියති.

කටාර් සමුළුව

අයුසෝ පියතුමා කයිරෝවේ සිටියදී කාදිනල් ටෝරන් හිමි කටාර්හි දෝහා අගනුවරට ගොස් සිටියේ ය. එතුමා එහි ගියේ අන්තර් දහම් පිලිබඳ දෝහා ජාත්‍යන්තර මශ්‍යස්තානය සංවිධාන කල සමුළුවකට සහභාගී වීම සඳහා ය. එතුමා එම සමුළුවේ දී "ආගමික ඉගැන්වීම්වල ආලෝකය තුළ ආධ්‍යාත්මික හා බුද්ධිමය ආරක්ෂාව" යන මැයින් දේශනයක් කළේය.

 වෙන කවරදාටත් වඩා මේ යුගයේ ආගම් අතර සංවාදය අත්‍යවශ්‍ය වී ඇති බව ටෝරන් කාදිනල් හිමි මෙම සමුළුවේ දී පෙන්වා  දුන්නේ ය. එසේම වෙන කවරදාටත් වඩා මේ යුගයේ තැන යොවුන් ජනතාවට දෙන පණිවිඩය ගැන අවධානය යොමු කරන්නැයි එතුමා ආගමික පූජ්‍ය- පූජක උතුමන්ගෙන් ඉල්ලා  සිටියේය. ජනවාර්ගික, ආගමික, භාෂාමය හා සංස්කෘතික වැනි වෙනස්කම් සම්බන්ධයෙන් ගෞරවයෙන් හා විෂයමුලිකව කටයුතු කරන ලෙස ද එතුමා ඉල්ලීමක් ක
ළේය.

ඉතාලියේ ඉස්ලාම් කිතුනු සංවාදය 

සිය සහායකයන් ලොව විවධ දිශාවල ඉස්ලාම්-කිතුනු සංවාදය ප්‍රවර්ධනය කිරීමට වෙහෙස වන අතර ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉතාලියේ ඉස්ලාම් බැතිමතුන් සමග සංවාදයක් ඇතිකර ගැනීමේ උත්සාහයක යෙදී සිටියි. මේ අනුව රෝමයේ ඉස්ලාම් පල්ලියට පැමිණෙන ලෙස කරන ලද ආරාධනාවක් එතුමන් විසින් පිළිගෙන තිබේ. මෙම සංචාරය  ලබන අප්‍රේල් 10 වනදාට යෙදෙනු ඇති බව ඉතාලි ඉස්ලාම් සංගමයේ ආරංචි මාර්ග උපුටා දක්වන CNA ප්‍රවෘත්ති සේවාව කියයි.

ඉරානයේ කොම් හි ප්‍රධාන පල්ලියක්

සංවාදය ෂියා ඉස්ලාම් පාර්ශවය සමගත්
 
වතිකානය ෂියා ඉස්ලාම් පාර්ශවය සමගත් සංවාදයක් ආරම්භ කර තිබේ. ලොව බලවත්ම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයේ ජනාධිපති හසන් රුහානි මහතා ඉකුත් ජනවාරි 26 වැනිදා වතිකානයට පැමිණ සුදොතුම් පියතුමා හමුවිය. යුක්තිය හා සාමය කොමිසමේ සභාපති පීටර් ටර්ක්සන් කාදිනල් හිමි පෙබරවාරි 6 වැනිදා ඉරානයේ කොම් නුවර  දී  කතෝලික සභාවේ සමාජ දර්ශනය පිළිබඳව දේශනයක් කළේය. එතුමා පවසන්නේ කතෝලික සමාජ දර්ශනය සමයාන්තර සංවාදය ගොඩනැගීමේ ප්‍රධාන දොරටුවක් බවයි.

කොම් නුවර ද ඉස්ලාම්-කිතුනු සංවාදය ගොඩනැගීමේ ප්‍රධාන පීඨිකාවක් ලෙස සැලකේ. කොම් නගරය ෂියා මුස්ලිම් බත්මතුන් ගේ ශුද්ධ නගරයකි. එම නගරයට් වාර්ෂිකව එක්කෝටි පනස් ලක්ෂයක පමණ වන්දනා කරුවන් සංඛ්‍යාවක් පැමිණෙති. ආගම් සහ කුඩා ආගම් පිලිබඳ විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේ මෙම නගරයේ ය. කතෝලික සභාවේ ධර්මෝපදේශය ෆාර්සි භාෂාවට හැරවීමේ යෝජනාවක් එම සරසවිය විසින් ඉදිරිපත් කර තිබේ. ආධ්‍යාත්මිකතත්වයේ කේන්ද්‍රස්ථානයක් බඳු මෙම නගරයේ ශිෂ්‍යයෝ 50,000- 60,000 අතර පිරිසක් ශුද්ධ කුරානය හා ඉස්ලාම් දහම හදාරති. ඒ සිසුවන් අතරින් 2000 කට වැඩි පිරිසක් ක්‍රිස්තු ධර්මය, ජුදෙව්දහම, බුද්ධ ධර්මය හා හින්දු ධර්මය ද ඉගෙන ගනිති.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය