"ඉඟිතයන් දෙකක්: ජේසු සමිඳුන් පාද දෝවනය කරයි. ජුදාස් මුදල් වෙනුවෙන් ජේසු සමිඳුන් විකුණයි" සුදොතුම් පියතුමාගේ පාද දෝවන මෙහෙයේ දේශනය සම්පූර්ණ යෙන්

 "Two gestures. Jesus washes the feet, and Judas sells Jesus for money" The Full text of Pope's Foot-Washing Homily



 (2016 මාර්තු 25)
ප්‍රැන්සිස් පාප් වහන්සේ මහ බ්‍රහස්පතින්දා සිය පාදදෝවන  මෙහෙය පැවැත්වූයේ රෝමයේ සරණාගත මධ්‍යස්තානයකය.
ඒ තොරතුරු මෙතනින් කියවන්න: "මිනිස් රුධිරය ඉල්ලන නූතන ජුදාස්ලාට රිදී කාසි නැති කරන්නට, සහෝදරකම ලොවපුරා බෝකරමු": මහ බ්‍රහස්පතින්දා දේශනය

මෙම පාද දෝවන  මෙහෙයට පෙර එතුමා එම අවස්ථාව කේන්ද්‍ර කර ගනිමින් සිය ධර්ම දේශනය පැවැත්වීය. ඉතා කෙටි ධර්මදේශනයක් වූ එය පණ්ඩිත වචනවලින් පිරි දේවධර්ම ශාස්ත්‍රීය ප්‍රහේලිකාවක් හෝ දේව ධර්ම පාඩමක් වුයේ නැත. ඒ වෙනුවට ඉතා සරලව එම අවස්ථාවත් නූතන ලෝකයේ අභියෝගත් කැටි කොටගත් එය මිනිස් හදවත් ආමන්ත්‍රණය කර ඊට අභියෝග කරන්නක් විය.

එහි වැදගත්කම නිසා එම කතාව සම්පුර්ණයෙන්  මෙහි පළකරමු.

"චිත්ත රූප හෝ වචනවලට වඩා ප්‍රබලව අපේ ඉඟිතයන්  සහ ක්‍රියා කතා කරයි. ක්‍රියා. හැසිරීම්. ඉඟිතයන්.

අද අප කියවන ලද සුබ අස්නේ මෙවැනි ක්‍රියා හෙවත් ඉඟිතයන් (Gestures ) දෙකක් ගැන සඳහන් වෙනවා.සේවකයා වන ජේසු සමිඳුන් පාද දෝවනය කරන්නා බවට පත් වෙනවා. නායකයා සහ ප්‍රධානියා වූ තැනැත්තා, තමන් අතරේ ඉතා සුළු වූ තැනැත්තා ගේ පවා පාද දෝවනය කරනවා. එය එක ක්‍රියාවක්; ඉඟිතයක්. දෙවැනි ඉඟිතය මෙයයි: ජුදාස්, ජේසු සමිඳුන් සමග ඇයි හොඳයියක්, මිතුරු කමක්, සාමයක් ඇතිකරගැනීම ප්‍රතික්ෂේප කරන, උන්වහන්සේ ගේ සතුරන් වෙතට යනවා. ඒ කුමකටද? මුදල් ලබා ගන්නට. රිදී කාසි 30ක් ගන්නට. ඉඟිතයන් දෙකක්.

අද මෙතැනත්  ඉඟිතයන් හෝ ක්‍රියාවන් දෙකක් සිදුවෙනවා.  එක පැත්තකින් අප සියල්ලෝම මෙතැන එකතු වී  සිටිනවා. මුස්ලිම්, හින්දු, කතෝලික, කොප්ටික්, ඉවැන්ජලිකල් . වෙනස් අය.  අපි ඔක්කොම සහෝදරයෝ. අපි සාමයෙන් ජීවත් වීමට, ඒකාග්‍ර වීමට කැමැති එකම දෙවියන් වහන්සේ ගේ දරුවෝ. එය එක ඉඟිතයක්. තුන් දිනකට පෙර යුරෝපයේ නගරයක යුද්ධයේ සහ විනාශයේ ඉඟිතයක් සිදුවුනා. මෙය සිදුකරන ලද්දේ සාමයෙන් ජීවත් වීමට කැමැති නැති ජනතාව විසින්. එහෙත් ජුදාස් ගේ ක්‍රියාව පසුබිමේ යම් පිරිසක් සිටියා සේ, මෙම ක්‍රියාව පසුබිමේත් කණ්ඩායමක් සිටිනවා. (බ්‍රසල්ස්හි සිදු වූ) මෙම ක්‍රියාව පසුබිමේ සිටින්නේ ආයුධ නිෂ්පාදකයන් සහ ආයුධ ජාවාරම් කරුවන්. ඔවුන්ට අවශ්‍ය වන්නේ සාමය නොව මිනිස් රුධිරයයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ සහෝදරකම නොව යුද්ධයයි.

ඉඟිතයන් දෙකක්: ජේසු සමිඳුන් පාද දෝවනය කරයි. ජුදාස් මුදල් වෙනුවෙන් ජේසු සමිඳුන් විකුණයි.

ඔබ, අප,අප  සියලු දෙනා එකිනෙකාට වෙනස්. වෙනස් ආගම්; වෙනස් සංස්කෘතීන්; එහෙත් අපි සියලු දෙනාම එකම පියාණන් ගේ දරුවෝ; එනම් සහෝදරයෝ. අපට එහායින් සිටින්නේ මේ සහෝරකම විනාශ කිරීමට ආයුධ මිලදී ගන්නා ජනතාවයි. අද, මේ දැන්, එදා ජේසු සමිඳුන් කළා සේ මා ඔබ 12 දෙනාගේ පාද දෝවනය කරද්දී, අප සියලු  දෙනාම ප්‍රදර්ශනය කරන්නේ එම සහෝදරකමේ ඉඟිතයයි; ක්‍රියාවයි. එසේ කරමින් අප කියන්නේ, 'ඔව්. අපි වෙනස්. අපි අසම සමයි. එහෙත් අපි සහෝදරයෝ. අපට අවශ්‍ය සාමයෙන් ජීවත් වීමටයි. අද මා ඔබ සමග එක්ව කරන  ක්‍රියාවේ, ඉඟිතයේ  අර්ථය මෙයයි. ඔබ හැම කෙනෙකුටම එකිනෙකට වෙනස් කතන්දරයක් තිබෙනවා. දුක් කරදර හුඟක්, වේදනා හුඟක්, කුරුස හුඟක්. ඒ  සියල්ල මැද ඔබ තුළ එක් පොදු දෙයක් තිබෙනවා: එනම් සහෝදරකම ඉල්ලා සිටින විවෘත හදවතක්.

මේ නිසා අද එක දෙයක් කරන්න.  එනම්, ඔබ එකිනෙකා, ඔබගේ දහමේ භාෂාවට අනුව, සහෝදරකම (රෝගයක් සේ) ලොව පුරා බෝකරන්න  කියා  දෙවියන් වහන්සේට යාච්ඥා කරන්න. ඒසේ වූ විට  අපේ සහෝදරයා මරන්නට රිදී 30ක් සොයාගන්නට (නූතන ජුදාස්ලාට) නොහැකි වනු ඇති. මන්ද සහෝදරකම හා යහපත ලොව පුරා පැතිර ඇති නිසාය. එය එසේම වේවා!"  

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය