"මිනිස් රුධිරය ඉල්ලන නූතන ජුදාස්ලාට රිදී කාසි නැති කරන්නට, සහෝදරකම ලොවපුරා බෝකරමු": මහ බ්‍රහස්පතින්දා දේශනය

 "Let this brotherhood be contagious in the world, so that modern Judases will have no 30 coins to kill our brother": Pope says at the Washing of the Feet

 

(2016 මාර්තු 24)
රෝමයේ පැවැත්වුණු මහ බ්‍රහස්පතින්දා දිව්‍ය  පුජාවේ දී ප්‍රැන්සිස් පාප් වහන්සේ ඉතාලියේ රැකවරණ සොයා පැමිණ සිටින සාංක්‍රමනිකයන් කණ්ඩායමක ගේ පාද දෝවනය කළහ. එතුමන් ගේ මෙම ක්‍රියාව ඉදිරියේ ඊට සහභාගී වූ බොහෝ දෙනෙකු හැඟුම් බරවෙනු දක්නට ලැබිණ.

මෙම මෙහෙයට සහභාගී වූවන්ට අනුශාසනා කළ පාප් වහන්සේ කියා සිටියේ, ලෝකය තුළ හිංසාව හා ප්‍රචණ්ඩ ක්‍රියා වැපිරීමට ඇතැම් කොටස් උත්සාහ කලත්, ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රිස්තුන් වහන්සේ "සාමයේ, සමගියේ සහ සහෝදරකමේ මාවතක් අපට පෙන්වා දෙන" බවයි.

"ජේසු සමිඳුන් ඉඟි  කළා සේ අද, මේ දැන්, ඔබ 12 දෙනාගේ පාද දෝවනය  කරද්දී අප සියලු දෙනාම එම  සහෝදරකම ඉඟියෙන් ප්‍රකාශ කරනවා. අප එකිනෙකාට වෙනස්. අපි අසම සම පුද්ගලයන්.අපට වෙනස් වූ  ආගම් සහ සංස්කෘතීන් තිබෙනවා. එහෙත් අප සියලු දෙනාම සහෝදර සහෝදරියන්. අපට අවශ්‍ය සාමයෙන් ජීවත් වීමටයි. .........මේ නිසා අද මේ සහෝදරකමේ හැඟීම පාද දොවන ක්‍රියාවෙන් ප්‍රකාශ කරද්දී, සහෝදරකම  ලොව පුරා බෝවී යත්වායි ඔබ එකිනකාගේ ආගමේ භාෂාවෙන් ඉල්ලා සිටින්න; ප්‍රාර්ථනා කරන්න. එවිට ඇතිවන සහෝදරත්වය නිසා සිය සහෝදරයා මරා දමන්නට ජුදාස්ලාට රිදී 30 ක් නැතිව යනු ඇති."

සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙම ඉල්ලීම කලේ මහා බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාවේ පාද දෝවන පිළිවෙතට පෙර ඒ සඳහා සහභාගී වූවන්ටත් මෙහෙයට සහභාගී  වූ සියල්ලන්ටත් අනුශාසනා කරමිනි.

2016 මාර්තු 24 වනදා, මහා බ්‍රහස්පතින්දා, ප්‍රැන්සිස් පාප් වහන්සේ ජේසු සමිඳුන් ගේ අන්තිම රාත්‍රී භෝජන දිව්‍යපුජා යාගය පැවැත්වූයේ  ඉතාලියේ ඇති ප්‍රමුඛතම සරණාගත මධ්‍යස්ථානයකය.එනම් රෝමයට සැතපුම් 18ක් පමණ දුරින් පිහිටි සරණාගතභාවය සොයන්නන් සඳහා වන පිළිගැනීමේ මධ්‍යස්ථානයේ (CARA)  දී ය.  විදේශ වල සිට පලා අවුත් ඉතාලියේ රැකවරණ පතන්නෝ 900 දෙනෙක් පමණ මෙම නිවහනේ ජීවත් වෙති. ඒ අතරින් සංක්‍රමණිකයන් 11 දෙනෙක් සහ එහි සේවය කරන එක ස්වෙච්චා සේවකයෙක්  පාද දෝවනය සඳහා ආරාධනා  ලැබ  සිටියහ.සාංක්‍රමනිකයන්  11 අතරින් 4 දෙනෙක් නයිජීරියාවේ සිට පැමිණි කතෝලික තරුණයන්  වන අතර, 3 දෙනෙක් එරිත්‍රියා ජාතික කොප්ටික් කතෝලික කාන්තාවෝය. සිරියාව, පාකිස්තානය සහ මාලි යන රටවලින්  පැමිණි ඉස්ලාම  ආගමිකයන් තුන් දෙනෙකු හා ඉන්දියාවෙන් පැමිණි එක් හින්දු සාංක්‍රමනිකයෙක් ද ඒ අතර වූහ.

සහෝදරකමේ  අභිනයට අමතරව දැන් තවත් අභිනයක් ඇති බව ද සුදොතුම් පියතුමා සිය ධර්ම දේශනාවේදී පෙන්වා දුන්නේ ය. එනම් යුද්ධයේ හා වෛරයේ අභිනයයි. එතුමන් නිදසුනක් ලෙස ගත්තේ මාර්තු 22 දා බ්‍රසල්ස් නුවරට එල්ල වූ බෝම්බ ප්‍රහාරයයි.

"මෙය සාමයෙන් ජීවත් වීමට කැමැත්තක් නැති මිනිසුන් සඳහා ආදර්ශයකි. එහෙත් එදා ජේසු සමිඳුන් රිදී 30කට අලෙවි කල ජුදාස් පසුපස යම් බලවේගයක් සිටියා සේ මෙම ක්‍රියාව පසු පසද බලවේගයක් තිබේ" යයි එතුමා කීවේය. "ජුදාස් පසුපස සිටියේ ජේසු සමිඳුන් තමන් වෙත පාවා දීම සඳහා ඔහුට මුදල් දුන් කණ්ඩායමයි. ඊට සමානව, බ්‍රසල්ස් නගරයේ ප්‍රහාරය පසුපස සිටින්නේ යුද අවි නිෂ්පාදකයන් හා යුද අවි ජාවාරම් කරුවන් ය. ඔවුනට අවශ්‍ය වන්නේ සාමය නොව මිනිස් රුධිරයයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ සහෝදරකම  නොව යුද්ධයයි."

ජේසු සමිඳුන් ගේ පාද දෝවනය හා ජුදාස් රිදී 30කට උන්වහන්සේ පාවා දීමේ පරස්පරය සුදොතුම් පියතුමා එහි සිටි විවීධ රටවලින් පැමිණි සාංක්‍රමනිකයන්ට යලිත් වරක් පහදා දුන්නේ ය. 

"ඔබ අතර තිබෙන  විවිධාකාර  වෙනස්කම් තිබුනත්  ඔබ සියලු දෙනාම එකම පියාණන් ගේ දරුවෝ. එනම් සහෝදර සහෝදරියෝ. එබැවින් ඔබගේ ආගමික භාෂාවෙන් එක වැදගත් දෙයක් වෙනුවෙන් අද දෙවියන් වහන්සේට යාච්ඥා කරන්න. එනම් මෙම සහෝදරකම  (රෝගයක් සේ) ලොව පුරා බෝකරන්නැයි යාච්ඥා කරන්න. එසේ වූ විට සහෝදරකම  හා යහපත ලොව පුරා  පැතිරී, එහි ප්‍රතිඵලයක් ලෙස අපේ සහෝදරයන් මරා දැමීම වෙනුවෙන්  ජුදාස්ලාට රිදී 30ක් සොයාගැනීමට නොහැකි වනු ඇත. එය එසේම වේවා!" යි පතමින් සුදොතුම් පියතුමා සිය ධර්මදේශනය අවසන් කළේය.

සම්ප්‍රදායක් ලෙස අතීතයේ සිටම කතෝලික සභාව පාද දෝවන  මෙහෙය සඳහා සහභාගී කර ගත්තේ පිරිමින් 12 දෙනෙකි. එහෙත් ප්‍රැන්සිස් පාප් වහන්සේ එම ධුරයට පත් වූ පළමු වසරේම (2013) පැවැති මහා බ්‍රහස්පතින්දා පාද දෝවන පිළිවෙත සඳහා  කාන්තාවන් තිදෙනෙකු සහභාගී කර ගත්හ. මේ පියවර නිසා වතිකානයේ සම්ප්‍රදාය මත වාදීහු  මවිතයට පත්ව සිටියහ. මේ වසරේ පෙබරවාරි මාසයේ එතුමා විශේෂ ව්‍යවස්ථාවක් මගින් මෙම මෙහෙයට කාන්තාවන් සහභාගී කරගැනීමට සභා අනුමැතිය ලබා දුන්නේ ය. 

සුදොතුම් පියතුමා ගේ මෙම දේශනය සම්පුර්ණයෙන් කියවන්න මෙතැනින්:"ඉඟිතයන් දෙකක්: ජේසු සමිඳුන් පාද දෝවනය කරයි. ජුදාස් මුදල් වෙනුවෙන් ජේසු සමිඳුන් විකුණයි"  





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය