"ඵල දරන්නට නම් සභාව දුප්පත්විය යුතුයි" පාප් වහන්සේ අවධාරණය කරති

"To be FRUITFUL, the Church MUST be POOR" - Holy Father reiterates 


(2015 ජුනි 9)
කතෝලික සභාව දුප්පත්කම වැළඳ ගත යුතු  බව ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ යළිත් වරක් අවධාරණය කරති. ලොව තුළ ඵල දැරීමට නම් මෙය අත්‍යවශ්‍ය කාරනාවක් බව උන්වහන්සේ පෙන්වා දෙති. 
පාප් වහන්සේ මේ බව කියා සිටියේ පසු ගිය බදාදා සිය පොදු හමුවේ ධර්මෝපදේශ දේශනය කරමිනි. පවුලට එල්ලවන බලපෑම් පිළිබඳව ධර්මෝපදේශ කතා මාලාවක් ආරම්භ කළ පාප් වහන්සේ එදා කතා කලේ දුප්පත්කම නිසා පවුල්වලට එල්ලවන බලපෑම් පිලිබඳවය. 
 
නගර හා මෙගා නගරවල පර්යන්ත ප්‍රදේශවලත් ග්‍රාමීය ප්‍රදේශවලත් ජීවත් වන දුප්පත් පවුල් මුහුණ දෙන ප්‍රශ්න ගැන එතුමා එහිදේ කතා කළේය."ඔවුන් ගේ ජීවිත කෙතරම් දුක්ඛිත ද? කෙතරම් පිරීහී තිබේ ද?" යි උන්වහන්සේ විමසීය. යුද්ධය විසින් දුප්පත් පවුල් තවත් දුකට ඇද දමන ආකාරය ද එතුමා පෙන්වා දුන්නේ ය. දුප්පත් පවුල් වලට අත දීමත්, ඔවුන් ගේ ගැටළු වලදී ඔවුනට උපකාර කිරීමත්, දුප්පත් කමින් නැගී සිටීමට ඔවුන්ට කල හැකි සියලු උපකාර කිරීමත් සියලු කිතුනුවන්ගේ යුතුකමක් හා වගකීමක් බව පාප් වහන්සේ සිය ධර්මෝපදේශය දේශනාවේ දී අවධාරණය කළහ.

"දුප්පත්කම නිසා පවුල් විනාශ වෙයි"- එම තොරතුරු මෙතැනින් කියවන්න.

ශුද්ධෝත්තම පියතුමා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ කතෝලික සභාව ද දුප්පත් විය යුතු බවයි

"කතෝලික සභාව ද අම්මා කෙනෙකි. එබැවින් මේ අම්මාට සිය දරුවන් ගේ දුක්ඛිත තත්වය අමතක කල නොහැකියැ" යි සභාවේ වගකීම සිහිපත් කරමින් උන්වහන්සේ ප්‍රකාශ කලහ.

"මෙම දුක්ඛිතබවට ප්‍රතිචාර දැක්වීම සඳහාත්, වඩාත් ඵලබර වනු සඳහාත් සභාව ද දුප්පත් විය යුතු ය.දුප්පත් සභාවක් යනු සිය ජීවිතයේත් සිය ආයතනවලත් සිය සාමාජිකයන් තුලත්  සරල හා චාම් බව ජීවත් කරවන සභාවකි. ඒ මගින් තමන් වටා බැඳී ඇති සියලු පවුරු - වෙසෙසින් දුප්පතුනට ලංවිය නොහැකි ලෙස ඉදිවී ඇති පවුරු - බිඳ දැමිය හැකි යැ "යි   පාප් වහන්සේ වැඩි දුරටත් සඳහන් කළහ. 
පාප් වහන්සේ ගේ මෙම ප්‍රකාශය ගැන විග්‍රහයක් කරන Vatican Insider වෙබ් අඩවිය පවසන්නේ, නූතන ලෝකය තුළ, සභාව, කාලෝචිත වූ ද, ලෝකයට අභියෝගාත්මක හා ඵලදායි වූ ද ආයතනක් කිරීම සඳහා වන පාප් වහන්සේ ගේ පැහැදිලි දර්ශනය හා වැඩසටහන, මේ ප්‍රකාශය මගින් තව දුරටත් තහවුරු වන බවයි.

"දුප්පත් සභාවක් හා දුප්පතුන් සඳහා වන සභාවක් දැකීමට මා කෙතරම් කැමති ද?" යි පාප් වහන්සේ ලෙස පත් වූ වහාම ප්‍රකාශ කළ උන්වහන්සේ සිය ගමන් මග පෙන්වා දුන්හ. එසේ කියු එතුමා තමන්ම ඊට ආදර්ශයක් වූ බව එම වෙබ් අඩවිය පෙන්වා දෙයි. සාමාන්‍යයෙන් පාප්වන්සේලා ජීවත් වන අපෝස්තලික මාලිගාව වෙනුවට, වතිකානයට ඇවිත් යන කාදිනල් හිමිවරුන් හා රදගුරු හිමිවරුන් නවාතැන් ගන්නා තානායමක් වන සාන්තා මාර්තා තානායමේ කාමරයක් එතුමා සිය නිවස ලෙස තෝරා ගත්තේය. පාප් වහන්සේලා පළඳින රක්තවර්ණ සළු පිළි අත හැර පියතුමකු සේ සුදු ලෝගුව පමණක් ඇඟලුවේය.සිය පදවි ප්‍රාප්ති දිව්‍ය පුජා මෙහෙයේ දී පවා උන්වහන්සේ පැළඳ සිටියේ (පාප් වහන්සේලාගේ සාම්ප්‍රදායික රක්ත වර්ණ පාවහන් නොව),ආජන්ටිනාවේ සිට රෝමයට එන විට පැළඳගෙන ආ අව්වට වැස්සට, පාරට තොටට  ගෙවී ගිය කළු පැහැති සපත්තු කුට්ටමය. වාහනය ලෙස තෝරා ගෙන තිබුනේ  ආනයනිත, සුඛෝපභෝගී, වෙඩිනොවදින මෝටර රථයක් නොව, ඉතාලියේම නිෂ්පාදිත මිල අඩු රථයකි. සිය පදවි ප්‍රාප්ති මෙහෙයට සහභාගී වීමට රෝමයට එන ලෙස කිසිවකු උනන්දු නොකරන්නැයි ප්‍රැන්සිස් පාප් වහන්සේ ආජන්ටිනා රදගුරු වරුන්ගෙන් ඉල්ලා සිටියහ.. එසේ කිසිවකු හෝ රෝමයට පැමිණීමට අපේක්ෂා කරන්නේ නම් එම ගමනට වියදම් වන මුදල් එකතු කර දුප්පතුනට දෙන්නැයි එතුමා ඔවුනට උපදෙස් දුන්නේ ය.

උන්වහන්සේ දිගින් දිගටම දුප්පත්කම ගැන සභා නායකයන් හා පුජක සිසුන් ඉදිරියේ කතා කළහ.

"සුඛෝපභෝගී කාර් හොයන තරුණ පුජක වරුන් දැක්කම මට හොඳටම තරහ යනවා" යි ඉතාලියේ දෙව්සත්හලක දී පුජක සිසුන් හා පුජකවරුන් ඉදිරියේ පාප් වහන්සේ පැවසුහ. "සුඛෝපභෝගී කාර් එකක් ගන්න හිතුනාම, අද රාත්‍රියේ ලොව පුරා මිලියන කීයක ජනතාවක් කුසගින්නේ නිදන්න යනවා දැයි සිතා බලන්න" යයි උන්වහන්සේ අවවාද කළහ. "එඬේරුන් (පුජකවරුන්) තුළින් හැමිය යුත්තේ සිය බැටළුවන් ගේ (සේවය කරන ජනතාව ගේ)  සුවඳ" යැයි පාප් වහන්සේ ලෙස සිය ප්‍රථම මහා බ්‍රහස්පතින්දා ශුද්ධවූ තෛලය ආශීර්වාද කිරීමේ දිව්‍ය පූජාවේ දී, එතුමා, ඊට එක්වූ පියතුමන්ලාට පෙන්වා දුන්නේ ය. "පේදුරු මහා අපෝස්තුළුතුමාට බැංකු ගිණුමක් තිබුණේ නැතැ"යි  වතිකාන බැංකුවේ අපචාර ගැනත්   ලොව පුරා සභාව තුළ මුදලට ඇති ගිජු කමත් ගැන ඉඟි කරමින් වරක් පාප් වහන්සේ සඳහන් කළහ.

 "බැටළු සුවඳ හමන බැටළු එඬේරා" - බුවනෝස් අයරෙස් නුවර කාදිනල් හිමිපාණෝ සාමාන්‍ය ජනයා සමග දුම්රියේ


"සංකේතයම, සන්දර්භය  වන්නේ යැ "යි කතෝලික සභාව තුළ  කියමනක් තිබේ.(The Cover is the Message; The Symbol is the Substance) පාප්වහන්සේ ගේ ඉහත කී සංකේත වලින් ද, ඉගැන්වීම් වලින්ද කියවෙන්නේ කතෝලික සභාව ක්‍රියා කල යුතු ආකාරය යැයි විචාරකයෝ පවසති.

මෙහිදී "දුප්පත්කම" යන්නෙන්  පාප්වහන්සේ අදහස් කරන්නේ සභාවට ජීවත් වීමේ මාර්ග අහිමි කර ගැනීම  නොවන බව එම වෙබ් අඩවිය පෙන්වා දෙයි. උන්වහන්සේ විවේචනය කරන්නේ එම පැවතීමේ මාර්ග (මුදල් හා දේපොළ) සභාවේ පුජක-පැවිදි හෝ ගිහි නායකයන් ස්වකීය ප්‍රයෝජනය සඳහා ආත්මාර්ථකාමීව යොදා ගැනීමයි. පාප්වහන්සේ ලෙස උන්වහන්සේ තෝරා ගනු ලැබූ  පාප් වරණ දැහැනට පෙර පැවැති කාදිනල් හිමිවරුන්ගේ  සාකච්ඡා වලදී, එවකට ආජන්ටිනාවේ කාදිනල් තුමන්ව සිටි එතුමා එම තත්වය ගැන කීවේ මෙසේය: "ඵල දැරීමට නම් ,සභාව තමන් විසින්, තමන් වෙනුවෙන්, තමන් තුළ, තමන් කෙරෙහි ජීවත් වීමෙන් මිදිය යුතුයි". තමන් සතු දෙයින් දුප්පතුනට දීමට සභාවට හැකි  වන්නේ එවිටය.

ශ්‍රී ලංකාවට සැපත්ව ආපසු පිටත් වීමට පෙර ද ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙබඳුම "සංකේතයක් " ඉතිරි කර ගියහ.

එනම්, උන්වහන්සේ ගේ දයාවේ  සේවා සඳහා යොදා ගන්නා පිණිස  ශ්‍රී ලංකාවේ ජනතාව ගේ සම්මාදමෙන් එකතුකරගෙන උන්වහන්සේට පිරිනමන ලද මුදල් තිළිණය, ආපසු ලක්දිව කාදිනල් හිමිපාණන් අතටම දී නික්ම යාමයි.

අති  උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් අගරදගුරු හිමිපාණන් කියා සිටියේ එම චෙක්පත බහාලූ කවරය දයාවෙන් තමන් අත තැබූ පාප්වහන්සේ, "මේ මුදල් මේ රටේ දුප්පත් ජනතාව අතර බෙදා දෙන්න," යයි පැවසූ බවය.

පාප්වහන්සේ තවත් උපදෙසක් දුන් බව ද කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ. "මේ මුදල දුප්පතුන්  අතර බෙදා දී, මට ඒ ගැන වාර්තා කරන්න" යන්නයි ඒ.

මුලින් කී ලෙස පාප් වහන්සේ ගේ ක්‍රියා සංකේතාත්මකය. එතුමන් ගේ කතා ද සංකේතාත්මක ය. දුප්පත්කම හා දුප්පතුන් ගැන ශ්‍රී ලකාවේ සභාවට දුන් මේ සංකේතයේ ද ගැඹුරු පණිවිඩයක් තිබේ.

එය ලිහා ගත හැකිනම්, "ශ්‍රී ලංකාවේ සභාවට ද ඵල දැරිය හැකිය".

 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය