"දුප්පත්කම නිසා පවුල් විනාශ වෙයි. ඔවුන්ට සමීප වී නැගී සිටීමට හැකි සෑම දෙයක් ම කරමු" :බදාදා පොදු හමුව

Poverty is a threat to the Family : Pope at the General audience


(2015 ජුනි 4)
දුප්පත්කම පවුල්වලට තද බල පහරක් වී ඇති බව ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසති. එහෙත් ආර්ථික ප්‍රගතිය කෙරෙහි පමණක් අවධානය යොමු කරන දේශපාලනයට මෙය අවබෝධ වී නැති බව උන්වහන්සේ පෙන්වා දෙති. යුද්ධය, පවුල්වල දුප්පත්කම දරුණු කිරීමට හේතු වී තිබේ. කතෝලික සභාව ද පවුල් වල අභියෝගයට නෙත් යොමුකර දුප්පත් කම වැළඳ ගත යුතු බව උන්වහන්සේ අවධාරණය කරති.

වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ දී ඊයේ (ජුනි 3 බදාදා) පැවැති සති පතා පොදු හමුවේ දී පාප් වහන්සේ මේ බව කියා සිටියහ. ඔක්තෝබරයේ පැවැත්වෙන පවුල පිලිබඳ රදගුරු කතිකාව ආරම්භ වනතෙක් පොදු හමුවේ පවත්වන ධර්මෝපදේශ කතාවේ තේමාව ලෙස පාප් වහන්සේ තෝරා ගෙන ඇත්තේ "පවුල"යි. පවුලේ විවිධ පැතිකඩ ගැන ඉකුත් සතිය දක්වා උන්වහන්සේ කතා කළහ. ඊයේ සිට උන්වහන්සේ නව පැතිකඩක් දෙස අවධානය යොමු කළහ.

දුෂ්කර තත්ත්වයන් හේතුවෙන් පවුල් මුහුණ පාන අනතුරු ගැන කතාකිරීම උන්වහන්සේ ඊයේ සිට ආරම්භ කළහ. එහි මුල්ම සාධකය ලෙස උන්වහන්සේ තෝරා ගත්තේ දුප්පත්කමයි.

"නගර හා මෙගා නගරවල පර්යන්ත ප්‍රදේශවලත් ග්‍රාමීය ප්‍රදේශවලත් ජීවත් වන පවුල් ගැන මොහොතක් සිතන්න. ඔවුන් ගේ ජීවිත කෙතරම් දුක්ඛිත ද? කෙතරම් පිරීහී තිබේ ද?" සිය ධර්මෝපදේශය ආරම්භ කරමින් ප්‍රැන්සිස් පාප් වහන්සේ පැවසුහ. "තත්වය තවත් නරක අතට හරවමින්, ප්‍රදේශ ගණනාවකම යුද ගිණි ඇවිලී තිබෙනවා. ඉතා බිහිසුනු දෙයක් වන යුද්ධය, සාමාන්‍ය ජනතාවටත් විශේෂයෙන් පවුල්වලටත් දැඩි බලපෑමක් එල්ල කරනවා. ඇත්තෙන්ම යුද්ධය යනු 'සියලු දුප්පත්කමේ මාතාවයි'. පවුල් තවත් දුප්පත් කරවන යුද්ධය, ජීවිත, ආත්ම සහ අප බොහෝ සෙයින් ආදරය කරන්නන් ගොදුරු කරගන්නා දරුණුම විලෝපීයයා යි," යැයි යුද්ධය, දුප්පත්කම හා පවුල ගැන කතා කරමින් උන්වහන්සේ කියා සිටියහ.

"මේ තත්ත්වයන් තිබියදීත් සිය එදිනෙදා ජීවිතය ගෞරවයෙන් ගත කිරීමට උත්සාහ කරන පවුල් රැසක් සිටිති. දේව ආශීර්වාද කෙරෙහි ද විශ්වාසය තබමින් ඔවුහු ජීවත් වීමට යත්න දරති.එහෙත් මේ තත්ත්වය අපගේ උදාසීනකම යුක්තිසහගත කිරීමට හේතුවක් නොවේ. එහෙත් ඊට වඩා, මෙතරම් දුප්පත්කමක් තිබීම ගැන අප ලජ්ජා විය යුතුයි. මෙතරම් දුප්පත්කමක් තිබියදීත් පවුල් විසින් සුවිශේෂී මානව සම්බන්ධතා ගොඩනගා, ආරක්ෂාකර පවත්වාගෙන යෑම ම මහත් ප්‍රාතිහාර්යයක්" බව පාප්වහන්සේ පෙන්වා දුන්හ.

එසේ වුවද ආර්ථික සැලසුම් කරුවනට මෙය අවබෝධ නොවන බව උන්වහන්සේ විවේචනාත්මකව කියා සිටියහ. "මෙම සාධකය සංවර්ධන සැලසුම් සම්පාදකයන් කෝප කිරීමට හේතු වී තිබේ. මානව හැඟීම්, පරම්පරා සහ පවුල් සබඳතා ඔවුන් සලකන්නේ, ජීවිතයේ ගුණාත්මක භාවයට ද්විතියික විචල්‍යයන් ලෙසයි.ඔවුන්ට කිසිවක් වැටැහෙන්නේ නැත."

"ඒ වෙනුවට, සමාජය ම්ලෙච්ඡත්වයෙන් ගලවා ගන්නා සැබෑ පාසල් වන මෙවන් පවුල් අබියස, සමාජය වැඳ  වැටිය යුතුය.  නව සිවිල් ආචාර ධර්ම පද්ධතියක් ගොඩ නැගෙන්නේ, අපව මහා පාතාලයකට රැගෙන යන පවුල් හා දුප්පත්කමේ දුෂ්ට සර්පිලයට එරෙහි සටනේ සමාජ බැඳීම ප්‍රතිසංවිධාන කිරීමට, පොදු ජන ජීවිතය පිලිබඳ වගකීම දරන පුද්ගලයන් ක්‍රියා කළහොත් පමණකැ" යි ප්‍රැන්සිස් පාප්වහන්සේ අවධාරණය කළහ.

දුප්පත් පවුල් ගැන කිතුනු වගකීම 


"කිතුනුවන් ලෙස, දුප්පත්කමේ පහරකෑමට ලක් වූ පවුල්වලට අප සමීප විය යුතුයි" යැයි කිතුනු වගකීම ගැන සිහිපත් කරමින් ප්‍රැන්සිස් පාප් වහන්සේ පැවසූහ." මේ ගැන මඳක් සිතන්න: ඔබ දන්නා රැකියාව අහිමි වූ තාත්තා කෙනෙක්, රැකියාවක් නැති මවක්? මේ අයගේ පවුල් දුක් විඳිනවා.පවුල් සම්බන්ධතා දුර්වල වෙනවා. මෙය ඉතා නරක දෙයක්" යැයි උන්වහන්සේ පෙන්වා දුන්හ. 

"සමාජයිය දුප්පත්කම නිතර ඉලක්ක කරගන්නේ පවුලයි. ඇතැම් විට මේ නිසා පවුල් විනාශ වෙයි. රැකියා හිඟය හෝ රැකියා අහිමි වීම, එමෙන් ම ඉතා අනතුරුදායක රැකියා, පවුල් සබඳතා මත ආතතීන් ඇති කරමින් පවුල් වලට බරපතල ආදීනව ඇති කරයි. නිවාස හා ප්‍රවාහන ගැටළු, සෞඛ්‍ය, අධ්‍යාපන හා සමාජ සේවා ගැටළු ආදියෙන් බැට කන දුප්පත් (පැල්පත් ආශ්‍රිත) ප්‍රදේශවල ජීවත් වන පවුල්වල ජීවන තත්වයන්, විශාල අර්බුද වලට හේතු වෙයි. ජනමාධ්‍ය මගින් ප්‍රවර්ධනය කෙරෙන පාරිභෝගීකවාදී  ජීවිත රටා සහ 'රූපසොබා වන්දනාව' වැනි රැවටිලිකාර ආකෘතීන් ද, සමාජයේ දුප්පත්ම ජන කොටසට තර්ජනයක් වන අතර පවුල් බිඳ දැමීමටද හේතු වෙයි."

" මාගේ පුතනුව, දුප්පතුනට ජීවත්වීමේ මාර්ගය අහිමි නොකරන්නැ"යි ශුද්ධ බයිබලයේ සිරාක් පොතෙන් ගත් පාඨයක් උපුටා දැක් වූ පාප්වහන්සේ,  දෙවියන්  වහන්සේ අප විනිශ්චය කරන්නේ අප දුප්පතුන් හා අවශ්‍යතාවෙන් පෙලෙන්නන් රැක බලා ගත් ආකාරයට බව ද සඳහන් කළහ.

දුප්පත් පවුල් රැක බලාගනීමත් නැගී සිටීමට ඔවුන්ට ඇත දීමත් සෑම කිතුනුවකු ගේ ම වගකීමක් බව උන්වහන්සේ අවධාරණය කළහ






Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය