මෙවර සුදොතුම් පිය වරණ දැහැනට දේශපාලන අතපෙවීම් ඇති වේවිද? ඇතැම් කාදිනල් හිමිවරුන්ට අමෙරිකන් කොන්සවටිව් (රිපබ්ලිකන්) කතෝලික ධනපතින්ගෙන් මධුපාන, රසමසවුළු සහිත භෝජන උත්සව! මේ මොහොතේ කතෝලිකයන් කල යුත්තේ කුමක්ද?

"මට පාප් වෙන්න පුළුවන්" ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සමාජ මාධ්‍ය පිටුව 


(2025 පෙබරවාරි 5)

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්  ස්වර්ගස්ථ වීමෙන් පසුව මීළඟ පාප් වහන්සේ පිලිබඳ ප්‍රශ්නය දේශපාලනීකරණය වී මහා මාධ්‍ය ඝෝෂාවක් වූ ආකාරය මීට කලින් ලිපියේ සාකච්ඡා කළෙමු.  මේ හේතුව නිසා සියවස් ගණනාවකට පසුව ලෝක දේශපාලන භේද සහ  කා කොටා ගැනීම් වල කුණාටු කතෝලික සභාව ද දුෂ්‍ය කොට දේශපාලන විෂ 7 වැනි බදාදා ඇරඹෙන සුදොතුම් පිය වරණ දැහැනටත්  ඇතුළු වනු ඇත්ද යන ශෝකය මුසු බිය පැතිර යමින් තිබේ. 

මෙවර සුදොතුම් පිය වරණ දැහැනේ පසුබිමේ තිබිය හැකි (යක්ෂ) බලය ?

මුළු ලෝකයම ප්‍රැන්සිස් පාප්  වහන්සේට ආදරය කරන විට ඇමෙරිකාවේ රිපබ්ලිකන් (කොන්සවටිව්) කාදිනල්වරුන් සහ බිෂොප්වරු එතුමන් ගත් සෑම පියවරක්ම විවේචනය කළහ. එතුමා ගේ මානුෂවාදී ඒ නයින්ම කතෝලික සමාජ ධර්මයේ සඳහන් ක්‍රිස්තු ඉගැන්වීම් කේන්ද්‍ර කොටගත් සෑම වැඩකටම අකුල් හෙලූහ. මේ වෙනුවෙන් EWTN නමැති කතෝලික ටෙලිවිෂන් නාලිකාව මුළු වෙර දැමූ අතර කොන්සවටිව් පූජක වරු ගණනාවක් සමාජ මාධ්‍ය චැනල් භාවිත  කළහ. එසේ කරන අතර  බයිබල් ඔසවාගෙන සිටගෙන සේයාරූ ගනිමින්  හුදෙක්  ක්‍රිස්තියානිකම පෙන්වා, කරන තරමක් මානව දයාවට සහ ප්‍රේමයට විරුද්ධවම  ක්‍රියා  කල ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රශංසා කළහ. එසේ කොට කතෝලික බිෂොප්වරුන් සහ කාදිනල්වරු (ඔවුනට 'හිමි' යන ගෞරව පදය හිමි නොවේ)  බහුතරයකගේ සහය මත ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති කරගත්හ. 

ට්‍රම්ප් සිය ජනාධිපති පදවි ප්‍රාප්තිය මොහොතේ කතෝලික ආශීර්වාදය සඳහා ආරාධනා කලේ මෙවර ඉදිරි පෙලේ පපාබිලි කාදිනල්වරයකු ලෙස විශ්වාස කරන නිව්යෝක් අගරදගුරු තිමති කාදිනල් ඩෝලන්ය. ට්‍රම්ප් ජනාධිපති ගන්නට යන මානුෂ විරෝධී එනයින් ක්‍රිස්තියානි විරෝධී ක්‍රියාමාර්ග ගැන අවම වශයෙන් මෘදු අනතුරු ඇඟවීමක් වත් නොකළ ඔහු, ට්‍රම්ප්ට ප්‍රශස්ති ගායනා කළේය.

කාදිනල් ඩෝලන් ධවල මංධීරයෙ ට්‍රම්ප්ගේ පදප්‍රාප්ති උත්සවයේදී 

යක්ෂයා මෙන් ම ට්‍රම්ප් ලා  ද මිනිසුන් අල්ලන විට අල්ලන්නේ නිල බලලාය. දේවධර්මය සහ දර්ශනය පිලිබඳ "මධුර ධර්ම කථිකයකු" ලෙස ප්‍රසිද්ධ බොහෝ දෙනෙකු මෝහනය කරගෙන සිටින රොබට් බැරන්  බිෂොප්වරයා ට්‍රම්ප් ගේ සෙනේට් මන්ත්‍රී වරයකු විසින් ට්‍රම්ප් විසින් එරට කොන්ග්‍රෙස් මන්ත්‍රී මණ්ඩලය අමතා කරන "රාජ්‍යයේ  තත්ත්වය පිලිබඳ දේශනයට"  ආරාධනා කළේය. හුදෙක් දේවධර්ම පාඩම් වල නියැලී සිටි නමුත් ජනතාව සහ දේශපාලනය ගැන අතැඹුලක් පමණවත්  නොදත් මේ බිෂොප්වරයා කැපිටල් ගොඩනැගිල්ල තුළ සිදුවන ඊනියා  දේශපාලන මහිමය දැක පිස්සු වැටුනේය. පසුව සිය ට්විටර් ගිණුමට වැදුණු ඔහු මෙසේ ලිව්වේය: " කොන්ග්රෙස් මණ්ඩලය තුළ සිදු වූ 'ප්‍රජාතන්ත්‍රවාදයේ ජනවන්දනාව" (Liturgy of Democracy) දැක්කෙමි. .... ජනාධිපති ට්‍රම්ප් මහතා කොන්ග්‍රෙස් සභා ගර්භයට ඇතුළු වූයේ ජනවන්දනාව සඳහා දෙව්මැදුර ඔස්සේ එන ඇතුළුවීමේ පෙරහැර වාගේය." "ජනවන්දනාව" යනු කතෝලිකයන් ගේ අති ශුද්ධවූ දිව්‍ය පූජා යාගය ය. මේ "විචිත්‍ර ධර්ම කථික" පඬිවරයාට හදිසියේම ඒ ශුද්ධවූ යාගය සහ මේ කුණුවූ දේශපාලනය සමාන වූයේ කෙසේද? "ඩොනල්ඩ් ට්‍රම්ප් ජේසු සමිඳුන් ලෙස පෙනුනා" යයි නොකීවා ඇතිය. 

දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඔවුන් මගින් ඇමෙරිකානු කතෝලික සභාව සිය අනසකට නතු කර්ගෙන සිටියි. මීට ටික දිනකට පෙර ඔහු මේ කාදිනල් සහ බිෂොප් වරයා ඔහුගේ "ආගමික නිදහස පිලිබඳ කොමිසමේ" සාමාජිකයන් ලෙස පත් කළේය. 

එපමනක් නොව නාපා, නයිට්ස් ඔෆ් කොලම්බස් වැනි ධනවත් කතෝලික සේවා ද මේ වන විට ධනපති  රිපබ්ලිකනුන් ගේ අනසකට පත් වී තිබේ. 

ට්‍රම්ප්ට සහ ඔහුගේ ගැත්තන්ට ඇති එකම අභියෝගය 

මුළු ලෝකයම තර්ජනයෙන් බිය කර සිය ධනපති ආශාවන් ඉටු කරගැනීමේ  ඒකායන අභිලාෂයෙන් ක්‍රියා කරමින් සිටින මේ තක්කඩි (bully) කපටි  ජනාධිපති එක දෙයක් පැහැදිලිව දනියි. එනම් සිය අමානුෂික අරමුණු වලට අභියෝග කල හැකි එකම එක ප්‍රබල  ආගමික, සදාචාරාත්මක (Moral) මෙන්ම   දේශපාලන බලවේගයක් තිබෙන බවයි. ඒ රෝමයේ පාප්වහන්සේය. ප්‍රැන්සිස් පාප්තුමා  ජීවත්ව සිටියදී ට්‍රම්ප්ගේ නොපනත් කම්වලට නිර්භීතව අභියෝග කළේය. වෙනෙකක් තබා දෙවන වර ජනාධිපති වීමෙන් පසුව අමෙරිකාවේ නීති විරෝධීව සිටි බව පවසමින් එහි සිටි විශාල ජනතාවක් අමානුෂික ලෙස පිටුවහල් කිරීමට ගත් තීරණය ප්‍රැන්සිස් පාප්තුමා දැඩි ලෙස විවේචනය කළේය. එතුමා ඒ අවස්ථාවේ තරමක් රෝගීව සිටියත් එම ක්‍රියාවේ අක්‍රිස්තියානි අමානුෂික බව පැහැදිලි කරමින් එතුමා අමෙරිකාවේ කතෝලික රදගුරු සමුළුවට දීර්ඝ ලිපියක්  යැව්වේය. 

මේ නිසා පාප් වහන්සේ ලෙස තමන්ට ආණ්ඩු කල හැකි, තමන්ට කීකරු කරගත හැකි පුද්ගලයකු තෝරා ගැනීම ගැන ඔහු සිතා ඇති බවක් පෙනෙන්නට තිබේ. එසේ කළහොත් තමන්ට රුචි දේ හිතුමතේට කරගත හැකි බව ඔහු දනියි.  ඒ නිසා ට්‍රම්ප් මෙවර සුදොතුම් පිය වරණ දැහැන තුළට ඇතුළු වන සාතන් ගේ කළු අවතාරය වේවිද ?

සැක සංකා සහිත පුවත් 

මේ ගැන සැක සංකා සිතෙන සිද්ධි බොහෝ කලක පටන් සිදු වෙමින් තිබිණි.  ඒ සැක සංකා තහවුරු කෙරෙන පුවත් කිහිපයක් දැන් වාර්තා වෙමින් තිබේ. ඉන් එක්  පුවතක් ඇමෙරිකාවේ "නැෂනල් කැතලික් රිපෝටර්" පුවත්පත වාර්තා කර තිබේ. 

සාමන්‍යයෙන් අමෙරිකාවේ නාපා වැනි  කතෝලික අරමුදල්  රැස්කරන කොන්සවටිව් ආයතන (Fund raising  agencies) රෝමයේ සිය අරමුදල් රැස්කරන කාලය මෙයයි. 

ප්‍රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් ශෝක වීමේ නව දින කාලය අවසන් වූ වහාම  එම ආයතන  රෝමයේ සුපිරි හෝටල් වල මේ වන විට  "අරමුදල් රැස්කිරීම" සඳහා ය කියමින් විවිධ  උත්සව අවස්ථා ආරම්භ කර තිබේ. විශේෂත්වය වන්නේ  අධික මිල මධු පානය සහ රස මසවුළු වලින් රස ගැන්වුණු මේ උත්සව වලට තව දවසකින් යාච්ඥාවෙන්, භාවනාවෙන්  මීළඟ පාප් වහන්සේ තෝරාගැනීමට සුදොතුම් පිය වරණ  දැහැනට  ඇතුළුවීමට සිටින කාදිනල් හිමිවරුනටද ආරාධනා කිරීමයි. ඡන්දය දමීමට සුදුසුකම්  ඇති  කාදිනල් හිම්වරු රැසක් ඊට පැමිණ සිටි බව ඒ වාර්තාව සඳහන් කරයි. කතෝලිකයන් ශුද්ධවන්ත දෙයක් සේ සලකන මේ ඡන්ද විමසීමට ධ්‍යනශිලිව ඇතුළු විය යුතු කාදිනල් හිමිවරුන් මෙවැනි අවස්ථාවකට සම්බන්ධ කරගනිමින් මේ ට්‍රම්ප්වදීන් මේ කරන්නේ කුමක්ද? 

EWTN යනු කතෝලික සභාව තුළ ට්‍රම්ප් ගේ හඬ ලෙස හැඳින්වීමේ වරදක් නැත. එසේම එය සභාවේ ප්‍රැන්සිස් විරෝධී හඬය. එම නාලිකාව අද මෙවැනි ප්‍රශ්නයක් නැගෙන පුවතක් පළකර තිබිණි:

"බිෂොප් බැරන් නව පාප්තුමන් ලෙස ?" මෙය විහිළුවක් ද? නැති නම් අනුමානයක් ද?

බිෂොප් රොබට් බැරන් කාදිනල් තුමකු නොවේ. එතුමාට පාප් වරණ දැහැනට   ඇතුළුවීමට ද නොහැකිය. එහෙම නම් මෙය විහිළුවක් කියා ඔබ සිතනු ඇත. නැත. පාප් වරණ දැහනට ඇතුළු නොවන, පිටත සිටින ඕනෑම කෙනෙකු නව පාප් වහන්සේ ලෙස තෝරා  පත්කර ගැනීමට එම කාදිනල් හිම්වරුන්ට හැකිය.ඒ නිසා  මෙය විහිළුවක් ලෙස  සිත බැහැර කල නොහැකිය. 

"I can be the Pope" යනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන අවස්ථාවක් ධවල මන්දිර සමාජ මාධ්‍ය ඉකුත්දා සංසරණය කළේය. එහි ඩොනල්ඩ් ට්‍රම්ප් පාප්තුමන් ලෙස ඇඳ සිටින සේයාරුවක් ද පලකර තිබිණි. ට්‍රම්ප් කියන කතා විහිලුවට ගත්  කාලය හමාරය. "කැනඩාව ඇමෙරිකාවේ 51 වැනි ප්‍රාන්තය" යයි ඔහු කියන කතාව විහිළුවක් නොව "බරපතල කාරනාවක්" සේ සලකන බව කැනඩාවේ හිටපු විදේශ ඇමති මෙලනි ජොලි කීවාය. එසේ නම් මේ කතාවත් බරපතල ලෙස සැලකිය යුතුය. තමන්ට පාප් වන්නට බැරි බව ඔහු දනියි. එසේ නම් මේ කතාවේ යටි පෙළක් තිබේද ?

කාදිනල් හිමිවරුන් එසේ කරාවි ද? 

කාදිනල් හිමිවරුන් 133 නම අතරින් බහුතරය ප්‍රැන්සිස් පාප්  වහන්සේ විසින් පත්කරන ලද්දන් නිසා එවැන්නක් සිදු නොවනු ඇතැයි කෙනෙකුට තර්ක කල හැකිය. එහෙත් ප්‍රැන්සිස්  පාප් වහන්සේ පත්කළ කාදිනල් හිමිවරුන් අතරින් බහුතරය බලයක් නැති තුන්වන ලෝකයේ සංවර්ධනය වන රටවලින් පත්කරන ලද හිමිවරුය. ඇමෙරිකානු සහ යුරෝප ජ්‍යෙෂ්ඨයන් හමුවේ ඔවුනට සම්මුතියකට එන්නට සිදු වේවිද යන ප්‍රශ්නය තිබේ. 

කතෝලික ජනතාව  ගේ වගකීම 

මේ නිසා කතෝලික ජනතාව සතුව මේ මොහොතේ බරපතල වගකීමක් තිබේ. 

එනම්  කතෝලික සභාවේ එකම ස්වාමියා වන ජේසු සමිඳුන් ඉදිරියේ ප්‍රබලව යාච්ඥා කිරීමයි. පෙන්තකොස්ත දිනයේ කුණාටුවක් ලෙස සේනාකුලු ශාලාවට එවන ලද  ශුද්ධාත්මයාණන්, සිතට දැනෙන සිසිල් පවනක් සේ, මද "සුළඟක්" සේ එවා කාදිනල් හිමිවරුන් ප්‍රඥාවෙන් පුරවන ලෙස ඉල්ලා සිටීමයි. එදා එවන ලද ගිණි දිව බඳු ශුද්ධාත්ම ගින්න එවා සභාවට ඇතුළු වේ සිටින නපුර පුළුස්සා දමන ලෙසයි. 

ප්‍රැන්සිස් ශුධෝත්තම  පියතුමා ගේ අභාවය පිළිබඳව අපේ මීසමේ පල්ලියේ දී ඉරිදා පූජාවට පෙර අපි කතා කරමින් සිටියෙමු. අපි එකිනෙකා  එතුමා ගේ විවිධ ගුණ ගැන කතා කළෙමු. ඒ අතර එක් සුදු ජාතික කාන්තාවක් මෙසේ කීවාය:

"මේ ලෝකේ මොනවා හරි නරක දෙයක්, බරපතල අයුක්තියක්‌ අසාධාරණයක් වුනොත් මට බයක් තිබුනේ නැහැ. 'ඇන්ක්සායටි' එකක් තිබුණේ නැහැ. මගේ හිතට ශක්තියක් තිබුන, පෝප් ප්‍රැන්සිස් ඉන්නවනේ, එය මොනවා හරි කරයි කියල." 

ලෝකයේ බොහෝ නායකයන් අයුක්තියට ක්‍රියා කරද්දී යුක්තිය වෙනුවෙන් , දුප්පතුන්  ප්‍රමුඛ දුර්වල වුවන් වෙනුවෙන්,  ඔවුන් සමග නැගී සිටියේ ප්‍රැන්සිස් පාප් වහන්සේ ය. ලෝකයම අවුල් කරන දේශපාලන නායකයන් සිටින මේ කාලයේ අප වැනි  "දෙවියන් වහන්සේ ගේ දුප්පතුන්" (Poor of Yahweh) වෙනුවෙන් නැගී සිටිය හැකි පාප්තුමකු අවශ්‍යය. ජේසු සමිඳුන් මෙන් යහපත් එඬේරික ගුණ ඇති පාප් වහන්සේ නමක් අවශ්‍යය. ඒ අවශ්‍යතාව වෙනුවෙන් යාච්ඥා කල යුතුය.  

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය