වතිකානයේ ඇමෙරිකානු නව තානාපති ලෙස උග්‍ර ප්‍රැන්සිස් විරෝධියෙක් නම් කෙරේ. ලෝකයම අවුල් කරන ට්‍රම්ප් වතිකාන-ඇමෙරිකා සම්බන්ධතාත් අවුල් කරන්නට සැරසෙයි ? Trump names an anti-Francis Catholic as America's new Vatican envoy

2017 මැයි 24 වැනිදා ජනාධිපති  ඩොනල්ඩ් ට්‍රම්ප් වතිකානයේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් මුණගැසුණු අවස්ථාව 


(2025 අප්‍රේල් 18)

ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා පත් වූ කාලයේ සිට ම උග්‍ර ප්‍රැන්සිස් විරෝධියකු ලෙස එතුමන් දැඩි විවේචනයට ලක්කළ ඇමෙරිකානු කතෝලිකයකු වන බ්‍රයන් බර්ච්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වතිකානයේ ඇමෙරිකානු  තානාපති ලෙස නම් කරනු ලැබ සිටියි.  මේ වාර්තාව ලියන අවස්ථාව විට ඇමෙරිකාවේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය විසින් ඔහුගේ සුදුසුකම් පරීක්ෂා කෙරෙන සම්මුඛ පරීක්ෂණයට සූදානම්ව තිබිණි. ජනාධිපති විසින්  නම් කර ඇත්තේ වුව ද ඔහු ගේ පත්වීම ස්ථිර කල යුත්තේ සෙනෙට් මන්ත්‍රී  මණ්ඩලයේ විදේශ සම්බන්ධතා කමිටුව විසින් සිදු කෙරෙන සම්මුඛ පරීක්ෂණයෙන් පසුවය. 

අන්ත දක්ෂිනාංශික කොන්සවටිව්වාදියකු වන බ්‍රයන් බර්ච් ප්‍රන්සිස් සුදොතුම් පියතුමා සම්බන්ධයෙන් ගත් විට රාජ්‍ය තාන්ත්‍රික භාවයෙන් ඉතා දුරස් වූ පුද්ගලයෙකි. සුදොතුම් පියතුමා ගේ මානව දයාව,  මානව සහ පරිසර ගරුත්වය සහිත විශ්වීය සමගි සන්ධානමය ගමන, මානව සහෝදරත්වය කේන්ද්‍ර කොටගත් ඉගැන්වීම, මුල සිටම ඔහුගේ වෛරයට පාත්‍ර විය. ඔහු ප්‍රැන්සිස් සසුන් පිය සමය හැඳින්වූයේ "මහා අවුලක්" සහ "තනිකර බොරුවක්" ලෙස ය. 

බ්‍රයන් බර්ච් යනු "Catholic Vote" නමැති සංවිධානයේ සම ආරම්භකයා ය. 2024 ජනාධිපතිවරණයේදී ඔහු ගේ සංවිධානය ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජය සඳහා සම්පූර්ණයෙන් සහය දැක්වීය.  

තීරණාත්මක මොහොතක 

ඔහු ට්‍රම්ප් ගේ නියෝජිතයා ලෙස වතිකානයට යන්නේ දරුණු නියුමෝනියා තත්වයෙන් සුවය ලැබූ සුදොතුම් පියතුමා පූර්ණ සුවය තෙක් අවශ්‍ය  විවේකය සහ ප්‍රතිකාර ලබමින් සිටියදීය. සුදොතුම් පියතුමා ගේ සෞඛ්‍ය තත්ත්වය සමග විශේෂයෙන් ප්‍රැන්සිස් විරෝධීන් ගේ විසින්  මතුකර ඇති එතුමන් ගේ අනුප්‍රාප්තිකයා කවුරුන්ද, ඒ අනුව එතුමන් විසින් මුල පුරන ලද ගමනට කුමක් වේද යන ප්‍රශ්න ගැන සාකච්ඡාවක් ගලා යමින් තිබියදීය. 

ලංකාව සහ ඇමෙරිකාව - සංසන්දනයක් 

ජනාධිපති ට්‍රම්ප් සිය වතිකාන නියෝජිතයා ලෙස බර්ච් නම් කරන්නට කල් ගත්තේ නැත. "පසුගිය මැතිවරණයෙදී ඔහු ඉතා විශිෂ්ට ලෙස මා නියෝජනය කළා. මේ නිසා මෙතෙක් කිසිදු ජනාධිපතිවරයකුට නොලැබෙන ආකාරයේ දැවැන්ත කතෝලික ඡන්දයක් මට ලැබුණා" ට්‍රම්ප් ඔහු එම තනතුරට නම්  කරමින් කියා සිටියේය. 

2019 දී ලංකාවේ කතෝලික බහුතරය ගෝඨාභය රාජපක්ෂ නමැති අපරාධකරුවා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කෙළ යම් සේ ද 2024 දී ඇමෙරිකානු කතෝලික  ජනතාවගෙන් සියයට 56ක් ට්‍රම්ප්ට ඡන්දය ප්‍රකාශ කළහ. 

ආතතියෙන් යුත් සම්බන්ධතාවක් ?

බර්ච් සහ  වතිකානය අතර ආතතියෙන් යුත් සම්බන්ධතාවක් පවතිනු ඇතැයි ඇමෙරිකාවේ National Catholic Reporter පුවත්පතට අදහස් දැක්වූ වතිකාන නිරීක්ෂයකු වන මාධ්‍යකරු මැස්සිමෝ  ෆ්රැන්කෝ කියා සිටියේ ය. "මෙයින් අදහස් කෙරෙන්නෙ ගැටුම ලබා දී ඇති දෙයක් යන්න නොවේ. සම්බන්ධතාවක් ගොඩනගා ගත යුතු වෙනවා. ඒ නිසා වෙන්නට යන්නේ කුමක්ද කියා අප දන්නෙ නැහැ," යි ඔහු සඳහන් කළේය. 

ට්‍රම්ප් ගේ ප්‍රථම ජනාධිපති ධුර කාලයේදී ඔහු සිය රටේ වතිකාන තානාපති ලෙස පත් කලේ එලෙසම ප්‍රැන්සිස් විරෝධියකු වන කැලිස්ටා ගින්රිච් ය. ඇය සහ  ඇගේ සැමියා වන නිවට් ගින්රිච් දැඩි ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විවේචනය කල ඇමෙරිකානුවන් ලෙස ප්‍රසිද්ධය. එහෙත් තානාපති ලෙස පත්කරනු ලැබීමෙන් පසුව කැලිස්ටා වතිකානය සමග ගැටුමක් ඇති කරගැනීමට ක්‍රියා කලේ නැත. ඇතැම් විට මෙවර ඇය එම තනතුරට පත් නොකරන ලද්දේ ද එම හේතුව නිසාම් විය යුතු බව නිරීක්ෂයෝ කියති. ඉකුත් වාරයේ තම ක්‍රියා මාර්ග වලට සහය නොවූ කිසිදු නිලධාරියකුට මෙවර ට්‍රම්ප් පත්වීම් ලබා දී නොමැත. 

ට්‍රම්ප් සුදොතුම් පියතුමා සමග ඇති වෛරය 

ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සමග වෛරයක් ඇති කරගත්තේ ඔහු ගේ ප්‍රථම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාර සමයේ සිටය. දකුණෙන් ඇමෙරිකාවට විදේශික සංක්‍රමනකියන් ඇතුළුවීම වලක්වීම සඳහා මැක්සිකෝව සහ අමෙර්කාව අතර දේශ සීමාව දිගට මහා ප්‍රාකාරයක් ඉදි කරන බව එම ප්‍රචාරක ව්‍යාපාරය කාලයේ ට්‍රම්ප් ප්‍රකාශ කළේය. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විදේශ දූත ගමනක යෙදී ආපසු එන අතර ගුවන් යානයේ දී මාධ්‍යවේදියෙක් මේ ගැන එතුමාගෙන් ප්‍රශ්න කළේය.

"කිතුනුවෝ  තාප්ප හදන්නෙ නැහැ. කිතුනුවෝ හදන්නෙ පාලම්" ඊට පිළිතුරු දෙමින් සුදොතුම් පියතුමා කීවේය. 

එපමණක්  නොවේ. ඩොනල්ඩ් ට්‍රම්ප් පමණක් නොව ඔහුගේ උප ජනාධිපති මෑතකදී කතෝලික දහම වැළඳගත්  ජේ ඩී  වාන්ස් ද  කතෝලික සමාජ ධර්මය කේන්ද්‍ර වූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ප්‍රවේශයට ගරහති.  සාංක්‍රමණිකයන් සහ  අයුක්තියට ලක් වූ සරණාගතයන්  පිළිගන්නා, දුප්පතුන්, කොන් කරන ලද්දන්, සමාජයේ ප්‍රත්‍යන්තයේ සිටින්නන්ට සරණය වන, විවිධ හේතු නිසා සභාවෙන් කොන් කරන ලද ජනතාව අන්තර්ග්‍රහණය කරගන්නා එම මාර්ගය ඔවුන් දකින්නේ "අවුලක්" ලෙස ය.  එසේ නම්, මේ 'අවුල' මුලින් ම තිබුණේ මිනිසත් බව ගත්  දේව පුත්‍රයාටය: නාසරෙතයේ ජේසු තරුණයාට ය.  

ජනතා පීඩක, ජනතාව බෙදන ධනේශ්වර  ඒකාධිපති පාලකයන්ට නිතරම  කෙලින් කතා කරන දිවැසිවරුන් අරහං ය. 


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය