සුදොතුම් පියතුමා මහ බ්‍රහස්පතින්දා රෝමයේ බන්ධනාගාරයක රැඳවියන් බලන්නට යයි. Pope Francis visits Roman prison on Holy Thursday
![]() |
හිරගෙදර පල්ලියේදී සුදොතුම් පියතුමා රැඳවියන් සමග කතා කළේය. |
(2025 අප්‍රේල් 17)
ප්‍රන්සිස් ශුද්ධෝත්තම පියතුමා අද මහ බ්‍රහස්පතින්දා රෝමයේ "Regina Coeli" ("ස්වර්ගීය රැජින") බන්ධනාගාරයේ රැඳවියන් බලන්නට ගියේය.
2013 සුදොතුම් පියතුමන් ලෙස තේරී පත් වූ වසරේ සිටම සෑම මහා බ්‍රහස්පතින්දා දිනකම සුදොතුම් පියතුමා මහ බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ ජේසු සමිඳුන් ගේ අන්තිම රාත්‍රී භෝජන සමරු ස්තෝත්‍ර යාගික පූජාව පැවැත්වූයේ ඉතාලියේ බන්ධනාගාරයක රැඳවියන් සහ නිලධාරීන් සමගය. ඒ සෑම අවස්ථාවකම මහ බ්‍රහස්පතින්දා පාද දෝවන පිලිවෙතේදී එතුමා රැඳවියන් ගේ පාද දෝවනය කරමින් ඔවුන් වෙත දේව සෙනෙහස ගෙන ආවේය.
මේ වසරේ සුදොතුම් පියතුමා දරුණු නියුමෝනියා තත්වයෙන් සුවපත් වෙමින් සිටින්නේ වුවද එතුමා හිරගෙදර රැඳවියන් බලන්නට යාම අත්හැරියේ නැත.
මහ බ්‍රහස්පතින්දා දහවල් එතුමා රෝමයේ "ස්වර්ගීය රැජින" බන්ධනාගාරයට ගොස් එහි සිටින රැඳවියන් 70 දෙනෙකු සහ එහි කාර්ය මණ්ඩලය මුණගැසුණේය. ඊට බන්ධනාගාර උපාධ්‍ය පියතුමන්ලා ද සහභාගී වූහ. එතුමා ඔවුන් සමග පය බාගයක් පමණ ගත කල බව වතිකාන වාර්තා ප්‍රකාශ කරයි.
"මහ බ්‍රහස්පතින්දා ජේසු සමිඳුන් කළ දේ කරන්න මම කැමතියි. ඒ තමයි, සුදොතුම් පියතුමා සිරකරුවන් ගේ පාද දෝවනය කිරීම," ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඔවුන්ට කීවේය. "ඒත් මේ අවුරුද්දේ මට ඒ දේ කරන්න හැකියාවක් නැහැ. ඒත් මට පුළුවන්, මට අවශ්‍යයි ඔබාට සමීපව ඉන්න. ඒ නිසයි මං ඔබ බලන්න ආවේ. මම ඔබ වෙනුවෙනුත් ඔබේ පවුල් වෙනුවෙනුත් යාච්ඥා කරනවා" යි එතුමා සඳහන් කළේය.
බාහිර කිසිවෙකුටත් විවෘත නොවූ මේ හමුවේදී ප්‍රන්සිස් සුදොතුම් පියතුමා එක් එක් සිරකරුවාට තනි තනිව කතා කළ බව වතිකානය වාර්තා කරයි. ඇතැම් සිරකරුවන් සුදොතුම් පියතුමන්ට තමන් ලියූ සටහන් සහ කාඩ්පත් පිළිගන්වනු වතිකාන මාධ්‍ය අංශය නිකුත් කල ඡායාරුප වල දක්නට ලැබේ. එසේම එත්ම සිරකරුවන් ගෙන් සමුගන්නා අවස්ථාවේ වීදුරු දොරකින් වෙන්වූ සිරකරුවන්ට සුදොතුම් පියතුමා ඉගිලෙන හාද්දක් පාකර යවන ආකාරයද තවත් සේයාරුවක දැක්වේ.
![]() |
සුදොතුම් පියතුමා සිරකරුවන්ගෙන් සමුගත්තේ ඉගිලෙන හාද්දක් පා කර යවමිනි |
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිරකරුවන් කෙරෙහි විශේෂ සෙනෙහසක් දක්වයි. 2016 දී එතුමා සිරකරුවන් ගේ සහභාගීත්වයෙන්ස ඔවුන් සඳහා වතිකානයේ විශේෂ දිව්‍ය පූජාවක් සිදු කළේය. 2021 ග්‍රීෂ්ම ඍතුවේ රෝමය පුරා දරාගත නොහැකි උණුසුමක් පැතිර ගිය අවස්ථාවේ එතුමා රෝම නගරයේ සිරකරුවන් වෙත අයිස් ක්‍රීම් 15,000ක් යැව්වේය.
Comments
Post a Comment