කාදිනල් හිමිවරුන් ගේ සාමාන්‍ය පරිෂද රැස්වීම් ඇරඹේ. නව පාප් වහන්සේ පත්වන තෙක් වතිකානයේ පාලන කටයුතු ක්‍රියාත්මක වේ General Congregations of Cardinals begin in the Vatican
![]() |
කාදිනල් හිමිවරුන් ගේ පර්ෂදයේ සාමාන්‍ය රැස්වීම් ආරම්භ වූ අවස්ථාව |
(2025 අප්‍රේල් 22)
ශුද්ධාසනය හිස් වූ විට සාම්ප්‍රදායිකව පැවැත්වෙන කාදිනල් හිමිවරුන් ගේ සාමාන්‍ය පරිෂද රැස්වීම් අප්‍රේල් 22 අඟහරුවාදා වතිකානයේ දී ආරම්භ විය.
කතෝලික සභාවේ නීතිය අනුව ශුද්ධෝත්තම පියතුමකු ගේ අභාවයට පසු දින කාදිනල් හිමිවරුන් ගේ පරිෂදයේ සාමාන්‍ය රැස්වීම් ආරම්භ කල යුතුය. මේ සඳහා ලොව පුරා සිටින රෝමයට පැමිණිය හැකි සියලුම කාදිනල් හිමිවරුනට සහභාගි විය හැකිය.
මෙම සාමාන්‍ය රැස්වීම් මාලාවේදී කෙරෙන්නේ ස්වර්ගස්ථ වූ පාප් වහන්සේ ගේ දේහය පිලිබඳ අවමංගල්‍ය කටයුතු සැලසුම් කිරීම සහ එතුමන් ගේ අනුප්‍රාප්තිකයා තෝරා ගැනීමේ ක්‍රියාවලිය සාකච්ඡා කිරීමයි. මෙම සභා සම්ප්‍රදාය වර්ෂ 1059 තෙක් ඈතට විහිදෙන බව සසුන් ඉතිහාසඥයෝ පවසති.
කාදිනල් පර්ෂදයේ සාමාන්‍ය රැස්වීම් අඟහරුවාදා ආරම්භ වූයේ ඒ අනුවයි. ඒ වන විට රෝමයට ලඟා වී සිටි කාදිනල් හිමිවරුන් 60 දෙනෙකු පමණ එම පළමු රැස්වීමට සහභාගී වූ බව වතිකාන මාධ්‍ය කාර්යාලය ප්‍රකාශ කරයි.
රැස්වීම ආරම්භ වූයේ ස්වර්ගස්ථ වූ ප්‍රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් මොහොතක් නිශ්ශබ්දව කරන ලද යාච්ඥාවකිනි. ඉන් පසුව සභා ව්‍යවස්ථාවට අනුව පාප් වහන්සේ ගේ අසුන හිස් වීමෙන් පසු ක්‍රියා කල යුතු ආකාරයත් නව සුදොතුම් පියතුමා පත් කරගන්නා ආකාරයත් සම්බන්ධයෙන් වූ ප්‍රතිමාන විශ්වාසවන්තව අනුගමනය කරන බවට කාදිනල් හිමිවරු ප්‍රතිඥා දුන්හ. ශුද්ධාත්ම ගීතිකාව ගායනා කිරීමෙන් පසු සභාවේ කටයුතු ආරම්භ විය.
"ශුද්ධාසනය හිස් වීමේ" එනම් sede vacante කාලය තුළ පවතින වගකීම් සහ ක්‍රියා පිළිවෙත් ගැන සඳහන් ව්‍යවස්ථා කියවන ලද අතර කතෝලික සභාවේ කාමලෙන්ඥෝ ධුරය දරන කෙවින් ෆැරල් කාදිනල් හිමියන් විසින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ආධ්‍යාත්මික අන්තිම කැමති පත්‍රය ද කියවන ලදී.
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් ප්‍රකාශයට පත්කර තිබූ සාන්තුවරයන් ප්‍රකාශයට පත් කිරීමේ දිව්‍ය පූජා මීළඟ පාප් වහන්සේ පත්වන තෙක් අත්හිටුවීමට කාදිනල් හිමිවරු තීරණය කළහ. ස්වර්ගස්ථ වූ පාප් වහන්සේ ගේ දේහය සාන්තා මාර්තා ගෙදර සිට සාන්ත පීතර බැසිලිකාවට ගෙනයන දිනය සහ වෙලාව තීරණය කරන ලද්දේ ද මෙහිදී ය.
ස්වර්ගස්ථ වූ ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ අවසන් කටයුතු සිදු කෙරෙන 11 වැනි සෙනසුරාදා සිට සාම්ප්‍රදායික 'නව දින ශෝක සමය" ආරම්භ වේ. ඊට මුල පුරමින් වතිකාන රාජ්‍ය ලේකම් පියෙත්‍රෝ පැරෝලින් කාදිනල් හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් සාන්ත පීතර චතුරශ්‍රයේදී දිව්‍ය පූජාවක් සිදු කෙරේ. එදා සිට දින නවයක් පුරා සෑම දිනකම සවස 5ට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ආත්මය වෙනුවෙන් දිව්‍ය පූජා පවත්වනු ලැබේ.
සභා නීතිය අනුව වතිකානය පාලනය කිරීමට කාමලෙන්ඥෝ තුමන්ට සහය වීම සඳහා කාදිනල් හිමිවරුන් තිදෙනෙකු පත්කර ගැනිණි. අති උතුම් පියෙත්‍රෝ පැරෝලින්, අති උතුම් ස්ටනිස්ලාව් රිල්කෝ සහ අති උතුම් ෆැබියෝ බගියෝ එම කාදිනල් හිමි වරුන් තිදෙනාය. එම සහයක හිමිවරුන් තිදෙනා දින තුනකට වරක් තෝරා පත්කරගනු ලැබේ.
අප්‍රේල් 22 වැනි අඟහරුවාදා සාන්ත පීතර චතුරශ්‍රයේ දී පාප්තුමන් වෙනුවෙන් ජපමාලය ඔප්පු කිරීමක් සිදු කිරීමට ද තීරණය කෙරිණි.
Comments
Post a Comment