Fake News (ව්‍යාජ පුවත්) වලින් පරෙස්සම් වන්න! - ප්‍රැන්සිස් පාප් වහන්සේ ගැන පැතිරුණු බොරු ප්රවෘත්ති - මීළඟ පාප් වහන්සේ තෝරන සුදොතුම් පිය වරණ දැහැනේ දීත් සංසරණය වීම සහතිකයි
![]() |
තායිලන්තයේ බැංකොක් නුවර දකින්නට ලැබුණු ව්‍යාජ ප්රවෘත්ති විරෝධී දැන්වීම් පුවරුවක් |
(2025 මැයි 27)
ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් සම්බන්ධයෙන් සහ නව පාප් වහන්සේ තෝරාගැනීමේ කාර්යාවලිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තොරතුරු පිළිගන්නට හෝ බෙදාහරින්නට පෙර විචක්ෂනශීලි වන ලෙස ඉතා වගකීමෙන් ක්‍රියා කරන බ්ලොග් පිටුවක් ලෙස "වතිකාන සුළඟ" බ්ලොග් පිටුව මාධ්‍ය පාරිභෝගිකයන්ට අවවාද කරයි.
මෙසේ අනතුරු අඟවන්නේ පසුගිය වසරේ අවසාන භාගයේ සිටම ප්‍රැන්සිස් පාප්වහන්සේ පිළිබඳවත් කතෝලික සභාව සහ "මීළඟ පාප්වහන්සේ පිළිබඳවත් මුළුමනින්ම අසත්‍ය, ව්‍යාජ තොරතුරු හෝ විකෘති කරන ලද තොරතුරු රාශියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ නිසාය.
'පාප්ධුර අපේක්ෂකයෝ ?'
'ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ අනුප්‍රාප්තිකයා' වීම සඳහා 'අපේක්ෂයන්' X සංඛ්‍යාවක් නම් කර ඇති බව ද (X යයි කීවේ එක එක වාර්තා අනුව එම සංඛ්‍යාව වෙනස් වූ නිසාය) ඒ අතර කොළඹ අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් හිමියන් ගේ නම 3 වැනි ස්ථානයේ පවතින බවට ද වූ 'පුවතක්' (ඇතැම් කතන්දර වල සඳහන් වූයේ එතුමා 6 වැනි 10 වැනි ස්ථානයේ සිටින බවය) මේ වසරේ ජනවාරි මුල් භාගයේ පැතිර ගියේය. මෙය සිදුවූයේ ප්‍රැන්සිස් පාප් වහන්සේ තවමත් ධුරයේ සිටිද්දීය.
ඒ ගෙතූ 'කතන්දර' (ඒවා වාර්තා නොවේ) අනුව ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා තරමක් දුර්වල තත්වයේ සිටි නිසා 'පාප් නිලවරණයක්' ( 'පාප් නිල වරණය' යන වචනය පවා වැරදිය) පැවැත්වෙන බවක් පෙනෙන්නට තිබිණි. නාමල් කුමාර නමැති "පාස්කු ඉරිදා ප්‍රහාරයේ අපරාධකරුවන් ගේ හඬ" සහ "අතකොලුව" හදිසියේ ප්රාදුර්භූත වී කාදිනල් හිමිපාණන්ට පදනම් විරහිත චෝදනාවක් නගා සමාජය අවුල් කරන්නට උත්සහ කලේ එම 'කතන්දරය' පෙන්වමින් ය.
'පාප්තුමා මියගියා' - 'එතුමාට සුරතල් බල්ලෙක් හිටියා'
කුතුහලය සහ 'කුණු ප්රවෘත්ති' මගින් බලන සංඛ්‍යාව වැඩිකර ගැනීම සඳහා ඕනෑම පහත් දෙයක් කරන ඇතැම් සමාජ මාධ්‍යකරුවෝ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ද්විත්ව නිව්මෝනියා තත්වයෙන් රෝගී වී ජෙමෙල්ලි රෝහලට ඇතුළු කිරීමෙන් පසුව ද අසත්‍ය තොරතුරු රැසක් බෙදා හැරියහ.
'එතුමාට වැඩකළ නොහැකි නිසා එතුමා ගේ ඉල්ලා අස්වීම භාරගෙන නව පාප්වහන්සේ තෝරාගැනීමේ සාකච්ඡාවක් වතිකානයේ ආරම්භ වී' ඇති බව එක් වාර්තාවක කියවිණි. එහෙත් එවැනි සාකච්ඡාවක් ඇති වී තිබුනේ නැත. මේ නිසා එය අසත්‍යයක් බව ඉතා දැඩි ලෙස ප්‍රකාශ කිරීමට වතිකාන රාජ්‍ය ලේකම් පියෙත්‍රෝ පරෝලින් කාදිනල් හිමිපාණන්ට සිදුවිය. "මේ සියල්ලම කිසිදු පදනමක් නොමැති අනුමාන පමණයි. මේ මොහොතේ අපේ අවධානය යොමු වී තිබෙන්නේ ශුද්ධෝත්තම පියාණන් ගේ සෞඛ්‍ය තත්ත්වය, එතුමා ඉක්මනින් සුවපත් වීම සහ එතුමන් යළිත් වතිකානයට පැමිණීම - ඒ කාරණා පමණයි අපට මේ මොහොතේ වැදගත් වන්නේ..." එතුමා කිවේය
වෙන කවුරුන් හෝ එසේ කරනු ඇත්දැයි වාර්තාකරුවකු ඇසු විට එතුමා මෙසේ කීවේය:
"අවංකවම, එවැනි කිසිවක් ගැන මම දන්නෙ නැහැ. ඒ කවරක් වුනත් මම එවැනි දේවලට සහය වෙන්නෙ නැහැ. අනෙක් අතින්, මෙවැනි අවස්ථාවල එවැනි කටකතා පැතිර යාම සාමාන්‍යයි. එවැනි දේ සිදු වී ඇති පළමු වතාව මෙය නොවේ. ඒත් මම හොඳටම දන්නවා එයාකාරයේ කිසිවක් සිදු නොවන බව. මේ දක්වා එවැනි කිසිදු උත්සාහයක් ගැන මට දැනගන්නට ලැබිලා නැහැ." .
මාර්තු 22-23 දිනවල දී එතුමා ගේ තත්වය තරමක් අසාධ්‍ය අතට හැරිණ. මෙය ප්‍රයෝජනයට ගත් සමාජ මාධ්‍ය සුදොතුම් පියතුමා අභාවටය පත් වූ බව ප්‍රචාරය කළහ. වතිකානයේ බව පෙන්වන ට්විටර් (X) ගිණුමක් පවා යොදාගෙන තිබිණි.
![]() |
Fake තොරතුර - මෙවැනි X ගිණුමක් පවා වතිකාන ප්රවෘත්ති සේවාවට නැත. පාප් වහන්සේ |
මේ දිනවල එතුමා ගේ ය කියන 'යාච්ඥා', එතුමාට කිසිදු සම්බන්ධයක් නැති එතුමාගේ බව කියන 'කියමන්' සහ ''සිතිවිලි' ද මෙසේ පැතිර යයි.
ඊටත් වඩා ජනතාව නොමග යවන අමු බොරුවක් වන්නේ ප්‍රැන්සිස් පාප්වහන්සේට සුරතල් බල්ලෙකු සිටිය බවට පැතිර යන කතාන්දරයයි. එතුමා මේ කියන 'බල්ලා' සමග සිටින සේයාරු පමණක් නොව ඒ බල්ලා සහ එතුමන් අතර තිබූ බව කියන 'දයාබර සම්බන්ධතාව' ගැන කියන සුන්දර සුරංගනා කතා ද ඒ සමග පල වී තිබේ. එතුමාට බල්ලෙක් සිටියේ නැත. ඒ කතාව සමග මට ලැබුණු මුහුණු පොත් පොස්ටුවක මම මෙසේ සඳහන් කලෙමි. "Pope had no time to pet a DOG because he was busy with the business of GOD". අනෙක එතුමා ගේ ධුර කාලයේ මුල් සමයේ වරක් එතුමා මෙසේ කීවේය. "බල්ලෙක් හදා ගන්නවා වෙනුවට දරුවෙක් අරගෙන හදා ගන්න."
පුදුමය නම්, ඇතැම් කිතුනුවන් පමණක් නොව පියතුමන්ලා පවා මෙවැනි ව්‍යාජ පුවත් විමසිල්ලකින් තොරව බෙදා හැරීමයි.
ඉදිරි සති දෙක තුන
මේ නිසා නව පාප්වහන්සේ තෝරාගැනීම දක්වා දිවයන ඉදිරි සති දෙක තුන සමාජ මාධ්‍ය ඇසුරු කරන්නන් ඒවායින් ගලා එන තොරතුරු දෙස විචක්ෂණයෙන් බැලිය යුතු කාලයකි.
'සංවේදී' 'කුතුහලය දනවන' පුවතක්, ඊනියා Breaking News එකක් ලැබුණු පමණින් වැලඳ ගැනීමට පෙර එය සත්‍යයක් ද යන්න විමසා බැලිය යුතුය.
ඒ සඳහා ඇති හොඳම ක්‍රමය එම ප්‍රවෘත්තියේ මුලාශ්‍රය නොහොත් එය වාර්තා කරන පුද්ගලයා හෝ ආයතනය හෝ යූ ටියුබ් නාලිකාව කුමක්ද යන්න ගැන පරීක්ෂාකාරී වීමයි. ඇතැම් විට ප්‍රධාන් ධාරාවේ මාධ්‍ය ආයතත පවා ව්‍යාජ පුවත් මවන බැවින් ඒවා ගැන ද විමසිල්ලෙන් සිටිය යුතුය. මේ තරම් ජනතාව දැනුම් තේරුම් ඇති කාලයක නාග ලෝකයෙන් ආ බව කියන නයින් පෙන්වා මාරාන්තික වෛරස් රෝගයක් මර්දනය කල හැකි බව කියන පැණියක් පෙන්වා ප්‍රධාන ප්රවාහයේ මාධ්‍ය ජනතාව රැවටූ බව ද අමතක නොකල යුතුය.
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ උපදේශය
සමාජ මධ්‍යයේ ආගමනයත් සමග ඉතා වගකීමක් ඇති මාධ්‍යකරුවන් අනුගමනය කල වෘත්තීය මාධ්‍ය කලාවේ ආචාර ධර්ම වලට තැනක් නැතුව යමින් තිබේ. එයින් අයුක්තියක් අසාධාරණයක් සිදු වන්නේ හුදෙක් මාධ්‍ය පාරිභෝගිකයන්ට පමණක් නොවේ. අදාල සිද්ධියේ සත්‍යතාව ට ද අයුක්තියක් සිදුවේ.
කතෝලික මාධ්‍ය සහ මාධ්‍යකරුවන් ව්‍යාජ ප්රවෘත්ති පරාජය කිරීම සඳහා ක්‍රියා කල යුතු යැයි 2022 දී දකුණු කොරියාවේ පවත්වන ලද සිග්නිස් ජගත් (SIGNIS) සමුළුව වෙත පණිවිඩයක් යවමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේය. සිග්නිස් යනු කතෝලික සභාවේ ජනමාධ්‍ය සහ සිනමාව පිලිබඳ සංවිධානයයි. "විචාරාත්මක බුද්ධියක් වර්ධනය කරගැනීමට, සත්‍යය සහ බොරුව, වැරැද්ද සහ නිවැරැද්ද, යහපත සහ අයහපත වෙන්කර හඳුනාගැනීමටත් යුක්තිය සහ සමාජ සංවාදය සහ අපේ පොදු නිවහනේ වැදගත්කම අගය කිරීමටත් තරුණ ජනතාවට සහය වීමට කතෝලික මාධ්‍ය සහ වෘත්තීය කතෝලික මාධ්‍යවේදීන් ඉතා දැඩි ලෙස ක්‍රියා කල යුතුයි" යයි ද එම පණිවිඩයෙන් එතුමා උපදෙස් දුන්නේය.
Comments
Post a Comment