'ජන හදවත් වල පාප් වහන්සේට' වතිකානයෙන් ප්‍රේමවන්ත සමුදීමක්; "ප්‍රැන්සිස්, දැන් ඉතින් අප වෙනුවෙන් යාච්ඥා කරන්න" දිව්‍ය පූජා ධර්ම දේශනයේදී ජොවන්නි බැට්ටිස්ටා රේ කාදිනල් හිමි ඉල්ලයි An emotional send off to the "Pope of Hearts". "Now pray for ua from heaven" Cardinal Re prays to Pope Francis
(2025 අප්‍රේල් 26)
"මානව හදවත්වල" පාප් වහන්සේ සඳහා රෝමය සෙනසුරාදා අතිශය හැඟුම්බර සහ ප්‍රේමනීය අවමංගල්‍ය පිළිවෙතක් සූදානම් කර තිබිණි. එය අවසන් වූයේ කඳුල මුසු සතුටක් ජනිත කරන ප්‍රේමවන්ත සමුදීමකිනි.
සගසැපත් සුදොතුම් පියතුමන් ගේ ආත්මය වෙනුවෙන් දිව්‍ය පූජාව පවත්වන ලද්දේ සාන්ත පීතර චතුරශ්‍රයේ දිය. එය ගාම්භීර සහ සෞන්දර්යයෙන් යුත් ජනවන්දනා පිළිවෙතක් විය.
ජනවන්දනා පිළිවෙතින් පසුව එළඹුණේ එතුමන් ගේ දේහය මිහිදන් කිරීමේ අවස්ථාවයි. ඉකුත් සියවසකට වැඩි කාලයක් පුරා සභා නායකත්වයේ සිටි පාප් වහන්සේලා මිහිදන් කරන ලද්දේ සාන්ත පීතර බැසිලිකාවේ පොළොව යට පිහිටි පාප් වහන්සේලා මිහිදන් කරන බිමේ ය. එහෙත් ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ ඉල්ලීම අනුව එතුමන්ගේ දේහය ඊට සැතපුම් තුනක් පමණ දුරුන් පිහිටි සාන්ත මරිය මැජෝරේ බැසිලිකාව තුළ මිහිදන් කිරීමට සූදානම් කර තිබිණි. නෙතට කඳුලත් සතුටත් ඇතිකරන හැඟුම්බර සුන්දර අවස්ථාව වූයේ සාන්ත පීතර බැසිලිකාවේ සිට මරිය මැජෝරේ බැසිලිකාව දක්වා එතුමන් ගේ ගේ දේහය රැගෙන යාමට සූදානම් කරතිබූ පෙරහැරයි.
දිව්‍ය පුජාවෙන් පසුව සාම්ප්‍රදායික ලෙස එතුමන් ගේ දේහය සාන්ත පීතර බැසිලිකාවේ ප්‍රධාන ද්වාරයෙන් එම දෙව්මැදුර තුළට ගෙන යනු ලැබිණි.
ඉන් පසුව එම දේහය බැසිලිකාවේ පසු පස දොරටුවෙන් පිටතට රැගෙනැවිත් වතිකාන උද්‍යාන මාවතේ නවතා තිබුණු පාප් වහන්සේ ගේ පෝප් මොබයිල් රථයේ තැන්පත් කරන ලදී. අනතුරුව පෙරහැර ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ජීවත් වූ සාන්ත මාර්තා තානායම ඉදිරිපිට වීදිය ඇතුළු එම උද්‍යානයේ කුඩා විදි ඔස්සේ ගමන් කර රෝමයේ ප්‍රධාන විදි වලට අවතීර්ණ විය.
ඉන් පසුව රෝමයේ මාවත් සහ වීදි රැසක් ඔස්සේ දේහය රැගත් පෝප්මොබයිල් රථය ගමන් කළේය. එම මාවත් දෙපස රැඳී සිටි ජනතාව සිය "හදවත්වල පාප්වහන්සේට" අත්පොලසන් දෙමින් අවසන් වරට ආචාර කරමින් සමු දුන්හ. තවත් පිරිසක් සිය ත තිබුණු සුදු රෝස මල් රථය ගමන් කරන මාර්ගයට විසි කරමින් පාප්තුමන්ට මල් පාවඩයක් එලන්නට කටයුතු කළහ. මේ ගමන් මාර්ගයේ 150,000කාට අධික ජනතාවක් සිටි බව වතිකාන වාර්තා සඳහන් කරයි.
![]() |
පෙරහැර කොලෝසියම ඉදිරිපිටින් ගමන් කල අවස්ථාව |
මේ සිද්ධිය දුටු මෙම ලියුම්කරුට සිහිපත් වූයේ බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියගේ අවමංගල්‍ය පෙරහැරයි. ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් ඇබේහි පවත්වන ලද ඇයගේ අවමංගල්‍ය මෙහෙයෙන් පසුව එම දේහයද ලන්ඩන් නගරයේ වීදි ඔස්සේ එය මිහිදන් කරන බිමට ගෙන යන ලදී. එම පෙරහැර ද භාවාතිශය එකක් විය. "හදවත් වල රැජින" (queen of hearts) යන විරුදය ලැබූ අයගේ දේහය ගෙන යන මාර්ගය දෙපස ද දහස් සංඛ්‍යාත ජනතාවක් රැස්ව සිටියහ. ඔවුහු රතු රෝසමල් විසි කරමින් ඇය ගිය මාර්ගය සැරසූහ.
"ජනතාවට සමීපව සිටි එඬේරෙක්"
දිව්‍ය පූජාව ඔප්පු කරන ලද්දේ කාදිනල් හිමිවරුන් ගේ පර්ෂදයේ නායක ජෝවන්නි බැට්ටිස්ටා රේ කාදිනල් හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙනි.
ධර්ම දේශනය පැවැත්වූ එතුමා, සගසැපත් ප්‍රැන්සිස් පාප් වහන්සේ ලොව පුරා සෑම තරාතිරමකම, ප්‍රදේශයකම, වයසකම ජානතාව ගේ හදවත් ප්‍රේමයෙන් සහ දයාවෙන් ස්පර්ශ කල බව පෙන්වා දුන්නේ ය. මෙදින රෝමයට ගලා ආ ජන ගඟ මෙන්ම පාප් වහන්සේ දැඩි ලෙස රෝගාතුර වූ කාලය තුල එතුමා වෙත ගලා ආ සුවපත් වීමේ ප්‍රර්ථනා සාගරයෙන් ද ප්‍රත්‍යක්ෂ වන්නේ එතුමා ජනතා සිත් සහ හදවත් ස්පර්ශ කර ඇති ආකාරය බව එතුමා කීවේය.
"එතුමා ජනතාව අතර සිටි පාප් වහන්සේ කෙනෙකි. සෑම කෙනෙකුටම විවෘත වූ හදවතක් එතුමාට තිබුණේය. විශේෂයන් ම සමාජයේ කොන්කරන ලද්දවුන්, දුර්වල වුවන් සහ අප අතර සිටින ඉතාම සුළු ජනතාවට එතුමා බොහෝ සමීප විය."
"දැන් ඉතින් අප වෙනුවෙන් යදින්න"
"පාප් වහන්සේ ජීවත්ව සිටිය දී සෑම වැඩකටයුත්තක් ම අවසානයේ එතුමා එක් ඉල්ලීමක් කළේය. එනම් 'මා වෙනුවෙන් යාච්ඥා කරන අමතක කරන්න එපා!' යන්නයි" යි කාදිනල් හිමි සහිපත් කළේය. " මේ නිසා දැන් ප්‍රැන්සිස් පාප් තුමා දෙවි සමිඳුන් ගේ වැලඳ ගැනීම තුළ සිටින නිසා අපට ඒ ඉල්ලීම අනික් අතට හරවන්න පුළුවන්. ඒ කිව්වේ අප වෙනුවෙන් යාච්ඥා කරන්නට යයි අපේ දයාබර පාප් වහන්සේගෙන් අපට ඉල්ලන්න පුළුවන්" කාදිනල් තුමා පෙන්වා දුන්නේය.
අති උතුම් රේ කාදිනල් හිමි ප්‍රැන්සිස් පාප් වහස්නේ වෙත එසැවෙන යාච්ඥාවකින් සිය දේශනාව අවසන් කළේය:
"දයාබර ප්‍රැන්සිස්, දැන් ඉතින් අප වෙනුවෙන් යාච්ඥා කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. ඔබ අපේ සභාව ආශීර්වාද කරන්න. රෝමය ආශීර්වාද කරන්න. දේව ජනතාව අවසන් වරට වැළඳගනිමින් ගිය ඉරිදා බැසිලිකාවේ බැල්කනිය මත හිඳ අප ආශීර්වාද කලා සේ, ස්වර්ගයේ සිට අපේ සමස්ත ලෝකයම ආශීර්වාද කරන්න. එසේම අවංක හදවතකින් සත්‍යය සොයන්නා වුද සමයේ ගිනිසිළුව ඉහලට ඔසවන්නා වූ ද සමස්ත ලෝකය වැළඳගන්න."
මේ අවමංගල්‍ය මෙහෙය සඳහා 250,000 කට අධික ජනතාවක් සාන්ත පීතර චතුරශ්ට්‍ය සහ ඒ අවට රැස්ව සිටි බව වතිකාන් සංඛ්‍යා ලේඛන කියයි.
Comments
Post a Comment