ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා රෝහලේ සිට වතිකාන පාලක සභාවට මහ ලේකම්වරුන් දෙදෙනෙක් පත් කරයි - "එතුමා ගේ සායනික තත්වය දරුණු වුනත් ස්ථාවරයි" රෝහල කියයි

සාන්ත පීතර චතුරශ්‍රයේ සුදොතුම් පියතුමන් වෙනුවෙන් යාච්ඥා කාරන්න එක්වූ ජනතාව 



(2025 පෙබරවාරි 25)

සුදොතුම් පියතුමා ගේ රෝගී තත්වය තව දුරටත් අසාධ්‍ය තත්වයේ පවතින නමුත් එය මේ වන විට උග්‍ර නොවී ස්ථාවර තත්වයේ පවතින බව වතිකානය නිකුත් කල අලුත්ම නිවේදනය කියයි.

"ශුද්ධෝත්තම පියතුමා ගේ සායනික තත්වය තවමත් අසාධ්‍ය වන නමුත් එය ස්ථාවරව පවතියි. අලුතින් දරුණු ශ්වසන ආබාධ ඇති වී නොමැත. රුධිර සංයුතිය පිලිබඳ පරාමිතීන් ද ස්ථාවරව පවතියි. 

අඟහරුවාදා සන්ධ්‍යාවේ පෙනහළු ද්වයේ නියුමෝනියා තත්වය විමර්ශනය කෙරෙන CT ස්කෑන් පරීක්ෂාවකට  එතුමා භාජනය කරන ලදී. එහි ප්‍රතිඵලය තවදුරටත් සැලකිල්ලිමත් විය යුතු තත්ත්වයේ පවතියි.

අඟහරුවාදා උදෑසන දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමෙන් පසුව එතුමා සිය වැඩකටයුතු ආරම්භ කළේය." 

එම තොරතුරු සඳහන් වන්නේ 25 වැනි අඟහරුවාදා වතිකාන මාධ්‍ය කාර්යාලය  නිකුත් කල නිවේදනයේ ය. 

වතිකාන පාලක ව්‍යුහයේ දැඩි වෙනසක් 

2023 මැයි 23 වැනි දා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් සංශෝධනය කරන ලද වතිකාන රාජ්‍යයේ මූලික නීතියට අනුව එතුමා පෙබරවාරි 25 වැනිදා නව පත්වීම් දෙකක් සිදු කල බව වතිකාන මාධ්‍ය කාර්යාලය ප්‍රකාශ කරයි. 

මේ අනුව වතිකාන රාජ්‍යයේ පාලක සභාවට සුදොතුම් පියතුමා මහ ලේකම් වරුන් දෙදෙනෙක් පත් කළේය. ධර්මදානය පිලිබඳ වතිකාන දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් ලෙස ද  සසුන් පිය ධර්මදූත සමාජයේ සභාපති ලෙස මේ වන විට කටයුතු කරන එමිලියෝ නප්පා අගරදගුරු හිමි සහ මේ වන විට වතිකාන පාලක සභාවේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කරන නීතිඥ  ජිසේප්පේ පුග්ලිසි-අලිබ්‍රන්දී එම දෙදෙනාය. 

නව මහා ලේකම් වරුන් ගේ පත්වීම් ක්‍රියාත්මක වන්නේ මාර්තු මස පළමුවැනි දින සිටය. වතිකාන රාජ්‍යයේ පාලක සභාවේ සභාපති ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් පත්කරන ලද ප්‍රථම කාන්තාව වන රෆායෙලා පෙත්‍රිනි  කන්‍යා සොයුරිය එම තනතුරේ වැඩ  භාරගන්නේ ද එදිනම ය. 

මේ පත්වීම් කරන අතරම නව මහලේකම්වරුන්ට අවශ්‍ය පරිදි රාජකාරි පැවරීමේ බලය ද සුදොතුම් පියතුමා විසින් පෙත්‍රිනි කන්‍යා සොයුරියට පවරා ඇත.  

අඟහරුවාදා හැන්දෑවේ ජපමාල ධ්‍යානය - කාදිනල් තග්ලේ හිමි 

මේ අතර අඟහරුවාදා සන්ධ්‍යාවේ සාන්ත පීතර  චතුරශ්‍රයේ දී පැවැත්වුණු ජපමාල භාවනාව  මෙහෙයවන ලද්දේ  වතිකානයේ ධර්මදානය පිලිබඳ දෙපාර්තමේන්තුවේ සම නායක ලුයිස් අන්තෝනියෝ තග්ලේ කාදිනල් හිමිපාණන් විසිනි. මෙදින ද ඒ සඳහා විශාල ජනතාවක්  රැස්වී සිටියහ.

ඒ අතර විවිධ රටවලින් පැමිණි ජනතාව සහ ඔවුන්  සමග සිටින  එම රටවල රදගුරු හිමිවරුන්ද දක්නට ලැබිණි. ඒ අතර එක් හිමි නමක් වූයේ පූජකවරුන් පිලිබඳ වතිකාන දෙපාර්තමේන්තුවේ නායක කොරියානු ජාතික කාදිනල් ලසාරෝ යූ හෙයුං -සික් හිමිපාණෝය. එතුමා සමග කොරියානු ජාතික තරුණ තරුණියන් කණ්ඩායමක් ද වූහ. 

"දේව ජනතාව, අපි ඔක්කොම , රෝගීව සිටින අපේ පාප්  වහන්සේ වෙනුවෙන් මෙහි පැමිණ සිටීම ගැන මම බොහෝ සතුටු වෙනවා" එතුමා වතිකාන ප්‍රවෘත්ති සේවයට පැවසීය. 
"සුදොතුම් පියතුමා ක්‍රිස්තු සභාවේ  කේන්ද්‍රය, එතුමා පේදුරු තමා ගේ අනුප්‍රාප්තිකයා. අපි එතුමන් වෙනුවෙන් යාච්ඥා කල යුතුයි. එතුමා අපට හුඟාක් ආදරය කර තිබෙනවා. ඒ නිසා අපි දැන් සුදොතුම් පියතුමාට අපේ ආදරය දැක්විය යුතුයි. එතුමා ඉක්මනින් සුවපත් වනු ඇත කියා මම බලපොරිත්තු වෙනවා." කාදිනල් ලසාරෝ හිමි කියා සිටියේය. 



 






 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය