"විවෘත වූ දොරවල් ඇති සභාවක සිහිනයක්" සමග සාංගමනිකත්වය පිලිබඳ සාංගමනික කතිකාව සමාප්තියට! "අප දකින්නට කැඳවා ඇති සිහිනය 'සියල්ලන් ගේ සේවකයා වන සභාවක්. ... උණුසුමින් පිළිගන්නා , සේවාව කරන, ප්‍රේම කරන, සමාව දෙන සභාවක්." සුදොතුම් පියතුමා අනුශාසනා කරයි.

Holy Father closes the Synod on Synodality with the 'Dream' for a "Servant Church - a Church with doors wide open". 


(2023 ඔක්තෝබර 29)

ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමන් විසින් විවර කරන ලද    "විවෘත වූ දොරවල් ඇති සභාවක සිහිනයක්" සමග සාංගමනිකත්වය පිලිබඳ සාංගමනික කතිකාවේ ප්‍රථම සැසිවාරය  2023 ඔක්තෝබර 29 වැනි ඉරිදා සමාප්තියට පත් විය.  

එහි සමාප්ති ස්තෝත්‍ර යාගික මහෝත්සවයේ අනුශාසනය කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් පෙන්වා දුන්නේ"සභාව ප්‍රතිසංස්කරණය කිරීම යනු දෙවියන් වහන්සේ ප්‍රථම ස්ථානයේ තබා උන්වහන්සේට වන්දනා කිරීම සහ අන්‍යයන්ට ප්‍රේම කිරීම සහ සේවාව කිරීම" බවයි.

"අප සිහින දකින්නට කැඳවනු ලැබ ඇති සභාව මෙයයි: සියල්ලන් ගේ සේවකයා වබ සභාවක්, අප ගේ සහෝදර සහෝදරියන්ගෙන් අල්ප ම වන අය ගේ සේවකයා වන සභාවක්; තමන් ගේ 'යහපත් හැසිරීම' ගැන සහතික කිරීමක් ඉල්ලා නො සිටින, එහෙත් උණුසුමින් පිළිගන්නාවූ , සේවය කරන්නා වූ, ප්‍රේම කරන්නා වූ සහ සමාව දෙන්නාවූ සභාවක්; සිය දොරවල් පුළුල්ව විවෘත කර ඇති, දයා කරුණාවේ ක්ෂේම භූමියක් වන සභාවක්" යැයි ප්‍රතිජීවනය වූ සභාවක නැවුම් දැක්ම  - සිහිනය - ඉදිරිපත් කරමින් එතුමා සිය දිවය පූජා අනුශාසනයේ දී අවධාරණය කළේය. 

එතුමා මෙම මෙනෙහි කිරීමට පාදක කර ගත්තේ මේ ඉරිදා සුබ අස්නේ එන සුන්දර පණිවිඩයයි. 

සංගමනික කතිකාවේ සමාප්ති දිවය පූජා යාගය වතිකානයේ සාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේ දී සුදොතුම් පියතුමන් ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද අතර එම කතිකාවට සහභාගී වූ  සියලු නියෝජෝතයෝ  ඊට එක්  වූහ.

දහස් සංඛ්‍යාත විශ්වාසිකයන් ඇතුළුවීමේ ගීයට සිටගෙන සිටිද්දී දිව්‍ය යාගීය පෙරහැර බැසිලිකාවට ඇතුළු විය. සභාවට  නැවුම් බවක් එක්  කරමින් එහි ඉදිරියෙන් ම ගමන්  කලේ සාංගමනික කතිකාවේ පූජාත්වරය  නො ලැබූ  ගිහි සහ පැවිදි  සාමාජික සාමාජිකාවෝ ය. ඔවුනට  පසුව රදගුරු හිමිවරු ද ඊට පසුව කාදිනල් හිමිවරු ද පෙරහැරේ පුදසුන වෙත පැමිණියහ.  "සාංගමනිකත්වය පිලිබඳ සාංගමනික  කතිකාව " සාංගමනික   කතිකා ඉතිහාසයේ ඡන්ද බලය සහිත ගිහි කාන්තාවන් සහ කාන්තා පැවිද්දන් සාමාජිකයන් ලෙස එක වූ ප්‍රථම අවස්ථාවයි.  කතිකාවට එක වූ සාමාජිකයන් 364 දෙනා අතරින් සියයට 25 ක් "රදගුරු හිමිවරුන් නො වන සාමාජිකයෝ ය. ඒ අතරිනුත් 54 දෙනෙක් කාන්තාවෝ ය. 

සාංගමනිකත්වය යනු සිදුවීමක් නොවේ - සුසුමාණන් සමග යන ගමනක් 

බොහෝ  කතෝලිකයන්, විශේෂයෙන් බටහිර ලෝකය, සිතා සිටියේ, විවාක පුදැදුරු වරුන්, සමරිසි සම්බන්ධතා සහ 'විවාහ', කාන්තා තේවාචාරිවරයා යන  ලෝකයේ 'උණුසුම්' සහ මතභේදාත්මක  කරුණු ගැන මේ කතිකාවේ දී තීරණ ගනු ඇති බවයි. ඒ කරුණු කතිකාවේ පදනම්  ලියවිල්ලට ඇතුළත් වී තිබිණි. ඒ ගැන තීරණ ගැනීම මගින් සභාවට මහත් ආපදා සිදු වනු ඇතැයි සාංගමනිකත්වය ගැන අදහසක් නොමැති  විශේෂයෙන් ඇමෙරිකාවේ ඇතැම් දේව ධර්මවේදීන් අනියත  බියක්  පල කර  තිබිණි. මේ කරුණු කතිකාවේ සැසි කිහිපයකදීම සංවාදයට ලක්විය.  එහෙත්  සාංගමනිකත්වය පිලිබඳ සාංගමනික කතිකාව සමාප්තියට පත්වූයේ ඒවා විවෘතව තබමින්, එහෙත් ඒ සංවාදය වසා  නොදමා  ඒවා ගැන ශුද්ධාත්මාලෝකය තුළ දිගටම සාකච්ඡා කිරීමේ අවකාශය ඉතිරි කරමිනි. සාංගමනිකත්වය යනු සිදුවීමක් නොවේ. ශුද්ධාත්මයාණන් සමග, උන්වහන්සේටත් සියල්ලන්ටත්  සවන් දෙමින්  සභාවේ සියල්ලන් එක්ව යන ගමනකි.  එය මේ කතිකාව පුරා සුද්ප්තුම් පියතුමා කර පෙන්වීය. 

 ඒ අදහස ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා සිය අනුශාසනයේ දී මුලින් මලෙස ගෙන හැර දැක්වීය: 

"දයාබර මිතුරනි, සාංගමනිකත්වයේ මහා සභාව දැන් සමාප්තයි. එහෙත් අපි මෙය මතක තබා  ගනිමු: අද අපි මේ ක්‍රියාවලියේ සම්පූර්ණ ඵල නොදකිමු. එහෙත් දූරදර්ශී ලෙස අපි අපට විවර වී ඇති ක්ෂිතිජය දෙස බලා සිටිමු. ...වඩාත් සාංගමනිකවූත් ධර්මදානීය වූත් සභාවක්, දෙවියන් වහන්සේට වන්දනා කරමින් අපේ කාලයේ ගැහැණුන්ට සහ පිරිමින්ට සේවය කරන්නාවූත් සහාවක්, සැනසිල්ල දෙන සුපුවතේ ආනන්දය සෑම කෙනෙකු වෙත ම ගෙන යන සභාවක්  කරා යන  ගමන සඳහා ස්වාමීන් වහන්සේ අපට මග පෙන්වනු ඇත. අපට උදව් වනු ඇත. " 

සාන්ත සභා මාතාවට මෙලෙස  ඈත ක්ෂිතිජය විවර කල  සාංගමනිකත්වය පිලිබඳ සාංගමනික කතිකාවේ මේ සභා වාරයේ ඵලය, ඔක්තෝබර 29 වැනි ඉරිදා සුබ අස්න (මතෙව් 22:24-40) හරවත්ව විදහා දක්වමින් සුදොතුම් පියතුමා සිය අනුශානයේ දී මෙසේ  සම්පිණ්ඩනය කර පෙන්වීය. 

දේව පනත  

මේ සුපුවත් කොටසේ,  මෝසස් විසින් දේව ජනතාවට දුන් දේව පනත්වල  ඉතා වැදගත් ම නීතිය කුමක්දැයි පරිසිවරු ජේසු සමිඳුන්ගෙන් ප්‍රශ්න කරති. ඊට පැහැදිලිව පිළිතුරු දෙන ජේසු සමිඳාණෝ "ස්වකීය මුළු ශක්තියෙන් දෙවියන් වහන්සේට ප්‍රේම  කිරීමත් ඊට සමානව ම තමාට සේ තම අසල්වැසියාට ප්‍රේම කිරීමත්" ශ්‍රේෂ්ඨතම  නීතිය බව අවධාරණය කරති. 

"සියල්ලේ මාර්ගෝපදේශක ප්‍රතිපත්තිය මෙයයි. අපේ ක්‍රමෝපායන් හෝ අපේ මානව ගණනය කිරීම් හෝ ලෝකයේ මාර්ගය හෝ නොවෙයි. දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම සහ අසල්වැසියාට ප්‍රේම කිරීමයි. සියල්ලේ කේන්ද්‍රයේ ඇත්තේ එයයි," යි සිය අනුශාසනය කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේ ය. 

දෙවියන් වහන්සේට පමණක් 

මේ පනත වන්දනාව සහ සේවාව මගින් ප්‍රකාශිත වන බව එතුමා පෙන්වා දුන්නේය. "දෙවියන් වහන්සේට වන්දනා කිරීම යනු උන්වහන්සේ පමණක් එක ම ස්වාමීන්වහන්සේ බව පිළිගැනීමයි; අප ගේ පෞද්ගලික ජීවිත, සභාවේ වන්දනා ගමන සහ ඉතිහාසයේ අවසන් ඵලය යන සියල්ල ම දෙවියන් වහන්සේ ගේ කරුණාව සහ ප්‍රේමය මත රඳා පවතියි."

ශුද්ධ ලියැවිල්ල තුළ දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම  බොරු දෙවිවරුන්ට වන්දනා  කිරීමට එරෙහි අරගලය  සමග නිතරම සම්බන්ධ වී පවතින බව එතුමා පෙන්වා දුන්නේ ය. "දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නෝ බොරු දෙවිවරුන් ප්‍රතික්ෂේප කරති. මන්ද දෙවියන් වහන්සේ විමුක්තිය ලබා දෙන අතර බොරු දේව වන්දනාව වහල් බවට පත් කරන නිසා ය.

විශ්වාසිකයන් මුලා කරන බොරු දේව වන්දනාව 

"බොරු දෙවිවරු අප මුලා කරති. ඔවුන් තමන් පොරොන්දු වන දේ වෙත අප ගෙන යන්නේ නැත. මන්ද ඔවුන් වූ කලී මිනිසුන් විසින් නිර්මාණය කරන ලද දේවල් ය. බොරු දෙවිවරුන් සාදනු ලබන්නේත් ඔවුන් මෙහෙයවනු ලබන්නේත් මිනිසා විසිනි. එහෙත් දෙවියන් වහන්සේ, ජීවමාන දෙවියන් වහන්සේ, යනු 'උන්වහන්සේ මේ තැනැත්තා යයි" මා සිතෙහි මවා ගන්නා තැනැත්තා  නොවේ; එසේම උන්වහන්සේ මා  උන්වහන්සේ ගෙන් බලාපොත්තු වන දේ මත පදනම් වන තැනැත්තා ද නොවේ. උන්වහන්සේ මගේ අපේක්ෂා අවුල් කළහැකි තැනැන්වහන්සේ ය. මන්ද උන්වහන්සේ ජීවමාන තැනැන්වහන්සේ වන නිසා යැ"යි මිලානෝ පදවියේ හිටපු විශිෂ්ට අගරදගුරු නමක් වූ කාලෝ මරිය  මාටිනි  හිමියන් ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය.  

දෙවියන් වහන්සේ පිළිබඳව මානව ප්‍රජාව සතුව නිවැරැදි අදහසක් නොමැති බවට  එක් සාධකයක් වන්නේ වරෙක දෙවියන් වහන්සේගෙන් එක් දෙයක් බලාපොරොත්තු වන ජනතාව පසුව ඔවුන්ට වැරදී ඇති බව වැටහීමෙන් අපේක්ෂා භංගත්වයට පත්වීම බව එතුමා පෙන්වා දුන්නේය. 

දෙවියන් වහන්සේ 'පාලනය කරන්නටත්' උන්වහන්සේ ගේ ප්‍රේමය අපේ න්‍යාය පත්‍රයට සීමා කිරීමටත් අපට හැකි ය යන අවදානම් සහගත සිතිවිල්ලට අපි නිතර මුහුණ දෙමු. එහෙත් ඊට වෙනස්ව, අනපේක්ෂිත, අප මවිත කර ආකාරයෙන් ක්‍රියාකාරන උන්වහන්සේ අපේ විස්මයත්, ප්‍රේමය සහ වන්දනාවත් ඉල්ලා සිටිති." 

සභා ධුරාවලි බලය ද එවැනි එක් බොරු  දෙවියකු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය අනුශාසනයේ දී පෙන්වා දුන්නේය. "සකල ආකාරයේ බොරු දේව වන්දනාවට එරෙහිව සටන් කිරීමට අප නිරන්තරයෙන් ක්‍රියා කල යුතු ය. බාල කීර්තිය පසුපස හඹා යාම, සාර්ථකත්වයට ඇති අධික තෘෂ්ණාව, ආත්ම කේන්ද්‍රීය බව, මුදලට ඇති කෑදරකම සහ වෘත්තීය අභිවෘද්ධිවාදී පෙළඹීම ඒවාට  නිදසුන් ය." 

"අපට වන්දනාවේ පුරුද්ද නැති වී තිබේ. උන්වහන්සේ නොව අප සභාවේ කේන්ද්‍රය වීමේ අනතුරින් ඉවත් වීම් සඳහා අපි අවදිව සිටිමු. මෙහි ප්‍රධාන් පියවරක් ලෙස අපි යළිත් වන්දන්වා වෙත හැරෙමු. වන්දනාව පුදැදුරු වරුන් වන අප හැමගේ ම කේන්ද්‍රය කර ගනිමු." පුදැදුරු තුමන්ලා පෞද්ගලික් වන්දනාව වෙත යොමු වෙන අතර සෑම ,පදවියක  සෑම මීසමක ම සෑම සංඝයකම ස්වාමීන් වහන්සේට වන්දනා කිරීම අරඹන්නයි එතුමා ඉල්ලා සිටියේ ය. "අපි ස්වාමීන් වහ්න්සෙට් වන්දනා කරමු. අපට ප වෙත නොව ජේසු සමිඳුන් වෙත යොමු විය හැක්කේ එවිටය."

ලෝකයේ වේදනාවට බිහිරි වී කරන දේව වන්දනාව ව්‍යාජ, හිස් අභ්‍යාසයක්   

ජේසු සමිඳුන් දේව පනත විග්‍රහ කල ආකාරයට  දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම, සිය අසල්වැසියාට ප්‍රේම කිරීම හා දී ලෙස  බද්ධව පවතින බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය අනුශාසනයේ දී අවධාරණය කළේය. 

 "ලෝකයේ වේදනාවේ හඬට අප  බිහිරි වන්නේ නම්, දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම අව්‍යාජ ප්‍රේමයක් වන්නේ නැත" යි එතුමා එය සාරාංශ කරමින් කීවේය. "අපේ අසල්වැසියා කෙරෙහි සැලැකිල්ලක් නොමැති, අසල්වැසියාට දයාව දැක්වීමෙන් තොර දේව වන්දනාවක් නැත. එවැනි දේව වන්දනාවක් පරිසින් ගේ වන්දනාව  බඳු ය."

"සභාව ප්‍රතිසංස්කරණය කිරීම  පිලිබඳ හොඳ අදහස් රැසක් ජනතාව සතුව තිබිය හැකිය. එහෙත් අපි මේ කරුණ මතක තබා ගනිමු: විශිෂ්ඨතම සහ සනාතන සභා ප්‍රතිසංස්කරණය යනු  දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම සහ උන්වහන්සේ ගේ ප්‍රේමයෙන් අපේ   සහෝදර සහෝදරියන්ට ප්‍රේම කිරීමයි."

සභාව තුවාල වූවන්ට සේවය කිරීමත් දුර්වලයන්, බෙලහීනයන් සහ කොන්කරන ලද්දවුන්  කැටුව යාමත් කල යුතු බව එතුමා ඉරිදා සුබ අස්නත් එදින පමුවන් කියවීමත් ගෙනහැර දක්වමින්  පැහැදිලි කළේය. "දෙවියන් වහන්සේ අපෙන් ඉල්ලා සිටින්නේ තමන්වහන්සේ එදා එජීප්තුවේ විදේශිකයන්ව සිටි ඊශ්‍රායෙල් ජනතාව වහල් කමින් මුදා ගන්නට තරම් මහත් වූ  තමන්වහන්සේ ගේ ප්‍රේමයට සමාන වූ ප්‍රේමයක් සෑම කාලයක ම සෑම ප්‍රදේශයක ම 'විදේශිකයන් ව', පීඩිතව, සූරාකෑමට ලක්ව සිටින්නන් වෙත ද වස්වන ලෙසයි. 

මේ අරමුණින් යුද්ධ වල වින්දිතයන් වූවන්, සාංක්‍රමනිකයන් සහ සරණාගතයන්, හුදෙකලා වීම සහ දුප්පත්කම නිසා අසරණ වූවන් ඇතුළු පීඩිත  ජනතාව ගේ  දුක්ඛිත තත්ත්වය, දෙස බලන්නැයි එතුමා සාංගමනික කතිකාවතේ නැවුම් ඵල සමග පිබිදෙන සමස්ත කතෝලික ජනතවගෙන් ඉල්ලා සිටියේ ය. "තවත් සලන්නට කඳුළු ඉතිරි වී නොමැති ජනතාව සහ හඬක් නොමැති ජනතාව කෙරෙහි ද ඔබේ අවධානය යොමු කරන්න. ආකර්ශනීය පොරොන්දු සහිත වචන වලින් ඔබ්බට මෙවැනි සහෝදර සහෝදරියන් වෙනුවෙන් ගනු ලැබූ  ක්‍රියා මාර්ගයක් නොමැත. ඔව්හු තවමත් සූරාකනු  ලැබීමට සහ පීඩනයට ලක්වෙති." 

"දුර්වලයන් සහ පහසුවෙන් අනතුරට  ලක්කළ හැකි වුවන් සූරාකෑම බරපතල පාපයකි. එය සහෝදරත්වය දිරාපත් කරන්න වූ ද සමාජය විනාශ කරන්නා වූ ද බරපතල පාපයකි."

ලෝකයට වෙනස් ආකාරයේ මුහුන් වන්න 

කිතුනුවන් ලෝකයේ මුහුන්  විය යුතුය. එහෙත් වෙනස් ආකාරයේ මුහුන්  විය යුතු යයි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. "කිතුනු ජනතාව ලෝකයට වෙනස් ආකාරයේ මුහුන්  ගෙන ආ යුතුය. ඒ සුබ අස්නේ මුහුන් ය. එනම්, දෙවියන් වහන්සේට ප්‍රථම ස්ථානය දීමත්  උන්වහන්සේ සමග උන්වහන්සේ විශේෂයෙන් ප්‍රේම කරන දුප්පතුන් සහ දුර්වල වුවන්ට ප්‍රේම කිරීමත්  ය. 

සභාව කැඳවනු ලැබ ඇති සිහිනය සේවාවේ සභාවක් වීම බව මේ සුපුවත් පණිවිඩය සාරාංශ කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. 

"අප කැඳවනු ලැබ ඇති සභාව පිළිබඳ  සිහිනය මෙයයි: සියල්ලන් ගේ සේවකයා වූ සභාවක්, අපේ ඉතා අල්ප වූ සහෝදරියන්ට සහෝදරයන්ට සේවකයා වූ සභාවක්. තමන් ගේ 'යහපත් හැසිරීම' ගැන සහතික කිරීමක් ඉල්ලා නො සිටින, එහෙත් උණුසුමින් පිළිගන්නාවූ , සේවය කරන්නා වූ, ප්‍රේම කරන්නා වූ සහ සමාව දෙන්නාවූ සභාවක්; සිය දොරවල් පුළුල්ව විවෘත කර ඇති, දයා කරුණාවේ ක්ෂේම භූමියක් වන සභාවක්" 

"සාංගමනිකත්වය පිලිබඳ සාංගමනික කතිකාවේ" දෙවන අදියර 2024 ඔක්තෝබර මාසයේ රෝමයේ දී පැවැත්වේ. 

 




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය