සමාජයේ අන්තවල ජීවත් වන්නන් "ආදරයෙන් පිළිගැනීමේ" නව සංස්කෘතියක් ගොඩ නගමු." - 2023 සැප්තැම්බර් සසුන් පිය යැදුම් අදහස

Let us build a culture "of hospitality, of providing shelter, of giving a home, of offering love, of giving human warmth" - Pope Video September 2023 




(2023 සැප්තැම්බර 3)

නූතන ආර්ථික ක්‍රමයේ අයපත් ප්‍රතිඵල නිසා සමාජයේ "අන්තවලට වීසිවී සිටින ජනතාව" දෙස නෙත් සහ හදවත් යොමු කරන ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා යළිත් ලොව පුරා සිටින කිතුනු ජනතාවට අභියෝග කරයි. සමාජයේ  අන්තවල (margins of society  ) වෙසෙන  මේ ජනතාව මිනිසත් බවට නොගැලපෙන පහත් තත්ත්ව වල ජීවත් වන බව  (subhuman living conditions) එතුමා පෙන්වා දෙයි. ඒ තත්වය නවත්වා ඔවුන් උණුසුමින් පිළිගැනීමේ සංස්කෘතියක් ආරම්භ කල යුතු බව එතුමා අවධාරණය කරයි. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ අදහස් ප්‍රකාශ කරන්නේ 2023 සැප්තැම්බර මාසයේ සිය යැදුම් අදහස ඇතුළත් සසුන් පිය වීඩියෝව නිකුත් කරමිනි.

මේ මාසයේ සසුන් පිය වීඩියෝවේ තේමාව " සමාජයේ අන්තවල වෙසෙන  මනුෂ්‍යත්වයට නොගැලපෙන පහත් තත්ත්ව වල ජීවිත ගත කරන  ජනතාව නොසලකා නොහරිනු පිණිසත්, ඔවුන් අහක  දමනු නොලබන පිණිසත් අපි යාච්ඥා කරමු" යන්නයි. 

ඒ මගින් එතුමා කිතුනු ජනතාවට අභියෝග කරන්නේ "සමාජයේ  අන්ත වල වෙසෙන ජනතාව" සමාජයට අන්තර්ග්‍රහණය කරගන්නා  ලෙසයි.  අන්ත දුප්පත් තත්වයේ ජීවත් වන ජනතාව, නිවාස රහිත වුවන් (homeless),  මානසික රෝගීන්, ආබාධිත වූවන්, විවිධ ඇබ්බැහිකම් වලට ඇබ්බැහි වුවන්, වීදි දරුවන් වැන්නන්  සමාජයේ අන්තවල ජීවත් වන්නන් ලෙස හැඳින් විය හැකිය. ඔවුන්  ගේ හරස් කඩක් මේ වීඩියෝ පටයේ වීඩියෝ කතාවට ඇතුළත් කර තිබේ.

කැනඩාවේ, ඇමෙරිකාවේ, කෙන්යාවේ, කැමරූන් සහ ඉන්දියාවේ පදික වේදිකාවල ජීවත් වන, ඇතැම් විට ඒවායේ පා ගමනින් යන්නන්ගේ පයට පෑගෙන ජනතාව; සන් සැල්වදෝර් නගරයේ ට්‍රැෆික් සංඥා පුවරු අසල නවත්වන වාහන වල ඉදිරිපස වීදුරු සෝදන වීදි දරුවන්; ස්පාඥ්ඥයේ, පිලිපීනයේ සහ මධ්‍යම ඇමෙරිකාවේ  විවිධ ආබාධිත වලින් පෙළෙන රෝගීන්;  වැන්කුවර්, බුවනොස් අයිරෙස් සහ රියෝ ද  ජෙනේරෝ  නගරවල අහස සූරන  මන්දිර යාබදව ඇති මුඩුක්කු නගර මේ දර්ශන පෙළට ඇතුලත් වේ. 

සමාජයේ උදාසීනත්වය 

මේ තත්ත්ව  දැක දැකත් "අප මෙතරම් උදාසීන වන්නේ කෙසේදැ"යි සුදොතුම් පියතුමා ප්‍රශ්න කරයි. ජනතාව කෙතරම් උදාසීන වන්නේ යත් නිවාස රහිත තැනැත්තකු වීදියක මිය යාම කිසිදු මාධ්‍යක ප්‍රවෘත්තියක් නොවන අකාරය එතුමා පෙන්වා එයි. 

මේ "වීසිකිරීමේ සංස්කෘතිය" එතුමා දැඩි දෝෂ දර්ශනයට ලක්කරයි. වීසිකිරීමේ සංස්කෘතිය යනු ආර්ථික භාණ්ඩ හා සංසන්දනය කල විට දශ ලක්ෂ සංඛ්‍යාත ගැහැණුන් සහ මිනිසුන් සතයක් වත් නොවටිනා තත්වයෙහි ලා සැලකීමට මානව ජන සමාජය පුරුදු වී සිටීම බව එතුමා පෙන්වා දෙයි. මානව ජීවිත වල ගුණාත්මක බවට වඩා ආර්ථික භාණ්ඩ සහ ඊනියා  ආර්ථික සංවර්ධනය වැදගත් වීමේ මානව ඛේදවාචයක් ය යන්න එතුමා යළිත් සිහිපත් කරයි. 

පිළිගැනීම යනු "උදව් කිරීම" නොවේ 

සමාජයේ අන්තවල වෙසෙන්නන් බැහැර  කිරීම නවත්වන ලෙස එතුමා "කාරුණිකව" ජනතාවගෙන් ඉල්ලා සිටියි. "කරුණාකර, ඔවුන් සමාජයෙන් අදෘශ්‍යමාන කිරීම අපි නවත්වමු." එතුමා කියයි. 

 ඒ වෙනුවට "ඔවුන් පිළිගැනීම කෙරෙහි, අවශ්‍ය සියලු ජනතාව උණුසුමින් සාදරයෙන් පිළිගැනීම කෙරෙහි අපි  අවධානය යොමු කරමු" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය වීඩියෝ පණිවිඩයෙන් කිතුනු ජනතාවට අභියෝග කරයි. 

ඒ සඳහා අලුත් සංස්කෘතියක් ආරම්භ කල යුතු ය. එය "ආදරයෙන් පිළිගැනීමේ සංස්කෘතියකි.  ආගන්තුක සත්කාරයේ, හිසට සෙවනක් සැපයීමේ, ගෙදරක් පිරිනැමීමේ, ආදරය ලබාදීමේ, මිනිස් උණුසුම ලබාදීමේ සංස්කෘතියකි. "

මේ නිසා "ආදරයෙන් පිළිගැනීම" යනු හුදෙක් "උදව් උපකාර කිරීම" යන අදහසින්  බොහෝ ඉහලට යන ක්‍රියාවක් බව මේ වීඩියෝ පණිවිඩය ගැන අදහස් දක්වන වතිකානයේ පූර්ණ මානව සංවර්ධනය පිලිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානි මයිකල් සර්නි කාදිනල් හිමි කියා සිටියි. 

"ආදරයෙන් පිළිගැනීම යනු උදව් කිරීමෙන් ඔබ්බට යන ක්‍රියාවක්. එහි අදහස අනෙක් තැනැත්තා ඔබ ගේ ම සම මට්ටමෙහි තැබීමයි; ඔහු හෝ ඇය අපට නැති වූ සහෝදරයකු හෝ සහෝදරියක දැකීමයි. මේ වෙනුවෙන් යාච්ඥා කිරීමෙන් අපි එක ම සිරුරක් බවට පරිවර්තනය කරනු ලබනවා," යි එතුමා පැහැදිලි කරයි. 

මෙහි අදහස වන්නේ " අරයා  දුප්පත්. අපට වඩා පහලින් ඉන්නේ" යයි සිතා "අත දීම" යන ක්‍රියාව නොවේ. දුක් විඳින්නා "අපේ සම තත්වයේ" තබා ක්‍රියා කිරීමයි. 

කම්පනයට  පත් කරන සංඛ්‍යා ලේඛන

ලෝකය පුරා  සමාජයේ අන්ත වල ජීවත් වන ජනතාව ගේ සංඛ්‍යා ලේඛන අප මවිතයටත් කම්පනයටත් පත් කරන සුළුය. 

එක්සත් ජාතීන් ගේ සංඛ්‍යා ලේඛන වලට අනුව ලෝක ජනතාවගෙන් මිලියන 700කට අධික ජනතාවක් (එනම්  ජනගහනයෙන් 10%ක්)  අන්ත දුප්පත් කමින් පෙළෙති. එනම් ඔවුන්ට ආහාර, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය වැනි අවම මූලික අවශ්‍යතාවන්වත් ලැබෙන්නේ නැත. එසේම බිලියන 1.6ක ජනතාවක් ජීවත් වන්නේ ප්‍රමාණවත් නොවන ජීවිත තත්ත්ව වලයි. මේ සංඛ්‍යා ලේඛන වලට  සංවර්ධිත රටවල් ද ඇතුළත් ය. සෑම අට දෙනෙකුගෙන් ම එක් කෙනෙක් මානසික රෝගයකින් රෝගී වී සිටියි. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය සැප්තැම්බර මස යැදුම් පණිවිඩයෙන් ලෝක ජනතා ගේ අවධානය යොමු කරන්නේ ජනතාව "සිය බෙල්ල හරවා නොබලන" මේ ඛේදනීය මානව තත්ත්වය දෙසටයි.

2023 සැප්තැම්බර  මාසයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ යැදුම් අදහස සම්පූර්ණයෙන්: 

"නිවාස රහිත තැනැත්තකු වීදියක මිය යාම අන්තර් ජාලයේ සෙවුම් එන්ජිමක හෝ ප්‍රවෘත්ති ප්‍රකාශ වල හෝ ප්‍රධාන ප්‍රවෘත්ති අතරට එක්  වන්නේ නැත. 

අප මෙතරම් වූ මහත් උදාසීන මට්ටමකට පහත වැටුනේ කෙසේ ද?

"විසිකිරීමේ සංස්කෘතියට" - එනම් ආර්ථික භාණ්ඩ හා සංසන්දනය කල විට දශ ලක්ෂ සංඛ්‍යාත ගැහැණුන් සහ මිනිසුන් සතයක් වත් නොවටිනා තත්වයෙහි ලා සැලකීමට -  අප ඉඩ දෙන්නේ කෙසේ ද? මේ සංස්කෘතියට අපගේ ජීවිත, අප ගේ නගර, අපගේ දිවිපෙවෙත අභිභවනය කිරීමට අප ඉඩ දී ඇත්තේ කෙසේ ද?

මේ තත්වයන් නොදැකීමට අප අපගේ බෙල්ල නො හැරවීම  නිසා අපගේ බෙල්ල දරදඬු වීමට ඉඩ තිබේ. 

සමාජයේ අන්ත වල ජීවත් වන ජනතාව - එසේ වී ඇත්තේ  ඔවුන් දුප්පත් වීම නිසා  වුනත්, විවිධ දේ වලට ඇබ්බැහි වීම නිසා වුනත්, නැති නම් මානසික රෝගයක් හෝ අබාධිත තත්වයක් නිසා වුවත්- කරුණාකර, ඔවුන් සමාජයෙන් අදෘශ්‍යමාන කිරීම අපි නවත්වමු. 

ඔවුන් පිළිගැනීම කෙරෙහි, අවශ්‍ය සියලු ජනතාව උණුසුමින් සාදරයෙන් පිළිගැනීම කෙරෙහි අප අවධානය යොමු කරමු;

ආදරයෙන් පිළිගැනීමේ සංස්කෘතියක්, ආගන්තුක සත්කාරයේ, හිසට සෙවනක් සැපයීමේ, ගෙදරක් පිරිනැමීමේ, ආදරය ලබාදීමේ, මිනිස් උණුසුම ලබාදීමේ සංස්කෘතියක්. 

අපි යාච්ඥා කරමු.  සමාජයේ අන්තවල වෙසෙන  අතිශයින් මනුෂ්‍යත්වයට නොගැලපෙන තත්ත්ව වල ජීවත් වන ජනතාව නොසලකා නොහරිනු පිණිසත්, ඔවුන් අහක  දමනු නොලබන පිණිසත් අපි යාච්ඥා කරමු.

 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය