"යොවුන් දරුවනේ! ප්‍රේමය කේන්ද්‍ර වූ ලෝකයක් ගොඩ නගන්න ලහි ලහියේ ගමනේ යෙදෙන්න." - 2023 අගෝස්තු සසුන් පිය යැදුම් අදහස.

Let  World Youth Day in Lisbon will be a “seed for the world’s future” - Holy Father says in August Prayer intention 




(2023 අගෝස්තු 7)

"යෞවනයේ පොපියන චමත්කාරය!"

ඒක අපේ ප්‍රසිද්ධ සිසිල් බීමක ප්‍රචාරක පාඨය.

ඒත් මේ මාසයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා සිටින කතෝලික ජනතාවට ආරාධනා කරන්නේ "යෞවනයේ පොපියන චමත්කාරය" කතෝලික සභාවේ ක්‍රියාකාරීත්වය තුළට, ජීවිතය තුළට රැගෙන ඒමට ක්‍රියා කරන අතර, ජගත් යොවුන් දිනය වෙනුවෙන්  සහ අපේ යෞවන ජනතාව වෙනුවෙන් යාච්ඥා කරන ලෙසයි. 

යෞවනයේ සෞන්දර්ය, ප්‍රබෝධය  සහ ක්‍රියාශීලීත්වයෙන් සුබ අස්න  දේශනා කල  සාන්තුවර ශාන්ත අන්තෝනි මුනිඳුන් ගේ උපන් ගම වන  ස්පාඥ්ඥයේ ලිස්බන් නුවර දී අගෝස්තු පළමුවැනි දා සිට දින 5 ක් පුරා පවත්වන ලද 2023 ජගත් යොවුන් දින මහා උලෙළ මේ ඉරිදා අවසන් වුණා. ඊට පහළොස් ලක්ෂයක පමණ ජනතාවක් සහභාගී වූ අතර  30,000ක ස්වේච්ඡා සේවක කණ්ඩායමක  ගේ සහය ලැබුණා. ජනතාවට අමතරව  එම උළෙලේ අවසන් දින පූජාවට රදගුරු හිමිවරුන් 700 නමක් සහ පුදදුරු වරුන් 10,000ක් පමණ සහභාගී වූ බව සභාවේ නොවන ස්වාධීන මාධ්‍ය වාර්තා කරනවා. 

යොවුන් දිනය අවසන් වූවත් මේ මාසයේ සුදොතුම් පිය යැදුම් අදහස   ඒ වෙනුවෙන්  යාච්ඥා කිරීමෙන් ඔබ්බට ගොස්  අපේ යෞවනයන්ටත් සභාවටත් අභියෝගයක් එල්ල කරනවා. 

අපේ යෞවන යෞවනියන්ට  දෙන අභියෝගය "කඩිනමින් ගොස් සේවය කරන්න; ප්‍රේමයේ සහ දයාවේ ක්‍රියා කරන්න" යන්නයි. "සභාව 'මහලු ක්ලබ් එකක් නොකර' යෞවනයේ පොපියන චමත්කාරයෙන් පුබුදු කරන්න!" යන්න සමස්ත සභාවට දෙන අභියෝගයයි. 

"ගමනේ යෙදෙන්න"

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා සිටින යොවුන් ජනතාවට සහ සමස්ත කතෝලික ජනතාවට  මේ පණිවිඩය දෙන්නෙ වැදගත් මොහොතක. "සාංගමනිකත්වය පිලිබඳ සසුන් සාංගමනික  කතිකාව" (Synod on Synodality)  ඔක්තෝබර මාසයේ වතිකානයේ දී ආරම්භ වෙනවා. "සංගමනය" යනු කතෝලික සභාවේ "ගමන". "එක්ව ගමන් කිරීම." 

ඉතින් "මරිය මෑණියන් මෙන් "ගමනක යෙදෙන්න" , නැවතී නොසිට ගමනේ යෙදෙන්න කියා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කතෝලික යෞවන යෞවනියන්ට ආරාධනා කරනව. ගමෙන් යෙදෙද්දී එක තැන පැල් වෙන්නෙ නැහැ. වතුරක් වුනත් ගංගාවක් වගේ ගලන්නේ නැති නම්, එකතැන පල් වෙනවා. එක තැන පල් නොවෙන්නට නම් ගමනේ යෙදිය යුතුයි. අලුත් විය යුතුයි. අලුත් අභියෝග වලට මුහුණ දිය යුතුයි. 

උදව් වෙන්න 

මරිය මෑණියන් "ලහි ලහියේ ගමනේ යෙදුනේ" දරුවකු පිළිසිඳ ගෙන සිටි (ස්නාවක ජුවාම් තුමා) එලිසබෙත් තුමියට උදව් වෙන්න. සේවිකාවක් වෙන්න. දේව අම්මා යන උතුම් තනතුරේ මානයෙන් හිස උදුම්මගෙන් නො සිට සේවිකාවක් වෙන්න. 

ඉතින් යොවුන් ජනතාව ගමෙන් යෙදිය යුත්තේ අන්‍යයන්ට උදව් කරන්නට, සේවය කරන්නට බව සුදොතුම් පියතුමා පැහැදිළි කරනව. උදව් නොවන , සේවය නොකරන කිතුනු කම අසම්පූර්ණයි. අක්‍රීයයි. ජූලි මාසයේ යැදුම් අදහසින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේ ඒකයි. දිව්‍ය සත්ප්‍රසාදීය ජීවිතය යනු  කැඩෙන බෙදෙන ජීවිතයක් බව එතුමා ජූලි මාසයේ පෙන්වා දුන්න.  මෙය ඒ අදහස යෞවනය අරභයා තවත් ඉදිරියට ගෙන යාමක්. 

ප්‍රේමයේ ලෝකයක් 

 සසුන් පිය ප්‍රැන්සිස් නමැති මේ සොඳුරු නායකයා ගේ ආත්මය ද මේ වීඩියෝ පණිවිඩයෙන් හෙළිදරව් කරනවා. 

ලිස්බන් නුවර දී තමා ගේ පැතුම  "ප්‍රේමය කේන්ද්‍ර වූ ලෝකයක, සියල්ලන් සහෝදර සහෝදරියන් ලෙස හැම කෙනෙකුට ම දැනෙන ලෝකයක බීජ දැකීම" බව එතුමා පවසනවා. 

වෛරයෙන්, යුද්ධයෙන්, අපේ රටවල් සහ ලෝකය බෙදන්නට උපාය උපක්‍රම යොදන දේශපාලන නායකයන්ට මෙය කෙසේ විතර කර දෙමු ද?  

වයසක ක්ලබ් එකක් ?

සභාව "වයසක ජනතාව ගේ ක්ලබ් එකක්" නො වන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කරනවා. 

යෞවනය සභාව දිනෙන් දින නැවුම් බවට පත් කල යුතුයි. සභාව ඊට ඉඩ හැරිය  යුතුයි. ඒ සඳහා යෞවනයන්ට සභාව තුළ ක්‍රියාත්මක වන්නට ඉඩ හැරිය  යුතුයි. 

යෞවනයන් සභාව තුළ වැඩ කරද්දී "වයසක අය ගේ අදහස්" ඔවුන්  ලවා ක්‍රියාත්මක කරවීමෙන් සභාව යෞවන වන්නේ නැහැ. ඔවුන් ගේ නිර්මාණශීලි නැවුම් අදහස් වලට පිබිදෙන්නට ඉඩ හැරිය  යුතුයි. මේ සඳහා ඔවුනට අවශ්‍ය නිර්මාණශීලි අධ්‍යාපනයක් ලබා දීමට ද ක්‍රියා කල යුතුව තිබෙනවා. 

අලුත් හැඩයක් 

මෙවර සසුන් පිය යැදුම් අදහස ඇතුළත් සසුන් පිය වීඩියෝව නව හැඩයකුත් තිබෙනව.  

එය ගලා යන්නේ යෞවන යෞවනියන් සහ ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමන් අතර සංවාදයක් ලෙසයි. එය යෞවන පන්නයේ සොඳුරු වීඩියෝවක් . 

එහි සම්පූර්ණ පිටපත මෙහෙමයි: 

යෞවනයෝ : මම මගේ ගමේ පල්ලියට ගියාම දකින්නේ වයසක ජනතාව  පමණයි. සභාව වයසක මිනිසුන්ට පමණක් ද? 

සුදොතුම් පියතුමා: සභාව තරුණ සමාජයක් නොවන තරමට ම  එය වයසක ජනතාව ගේ ක්ලබ් එකකුත් නොවේ. එය වයසක ජනතාව ගේ  ක්ලබ් එකක් වුනොත් එය මිය යාවි. ඔබ තරුණ ජනතාව සමග ජීවත් වුණොත් ඔබත් තරුණ වෙනවා කියා සාන්ත දෙවන ජුවාම් පාවුළු සුදොතුම් නිතරම කීවා. සභාව වයසට නොයන්නට නම් යොවුන් ජනතාව ඊට අවශ්‍යයි. 

යෞ: ප්‍රිය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමෙනි,  ඔබ මේ ජගත් යොවුන් දින උළෙලේ තේමාව ලෙස "මරිය තුමිය නැගිට වහා ලහි ලහියේ ගියා ය " යන්න තෝරා ගත්තේ ඇයි ?

සු.පි. : මොකද තමන් දේව අම්මා වීමට යන බව දැනගත් වහා ම එතුමිය සෙල්ෆියක් ගන්නට හෝ තමන් ව ප්‍රදර්ශනය කරන්නට හෝ එහි නැවතුනේ නැහැ. එතුමිය කළ ප්‍රථම කාර්යය ගමනකට පිටත් වීමයි. ලහි ලහියේ පිටත් වීමයි. සේවය කරන්නට, උදව් වන්නට  පිටත් වීමයි. අන්‍යයන්ට උදව් කරන්නට සේවය කරන්නට ගමනකට පිටත් විය යුතු ය යන්න ඔබ එතුමිය ගෙන් ඉගෙන ගත යුතු පාඩමයි. 

යෞ : ලිස්බන් නුවර දී ඔබගේ බලාපොරොත්තුව මොකක්ද ?

සු. පි. : ලිස්බන් නුවර දී මා දකින්නට බලාපොරොත්තු වෙනවා ලෝකයේ අනාගතය වෙනුවෙන් වූ බීජයක්. ප්‍රේමය කේන්ද්‍රය වූ ලෝකයක්, අපි ඔක්කොම සොහොයුරු සොහොයුරියන් කියල අපට දැනෙන ලෝකයක්. අපි යුද්ධයක පැටලිලයි ඉන්නෙ; අපට අවශ්‍ය වෙන්නේ වෙනත් දෙයක්. සුබ අස්න වෙනුවෙන් සාක්ෂි දරන්නට බිය නොවන ලෝකයක්.  ප්‍රීතිමත් ලෝකයක් - මන්ද කිතුනු අප තුළ ප්‍රීතියක් නොමැති නම්, අප විශ්වාස වන්ත නොවේ. කිසිවෙකුවත් අපව විශ්වාස නොකරනු ඇති. 

යෞ: අපි යාච්ඥා කරමු.  අපගේ ජීවිතය තුළ සුබ අස්නට සාක්ෂි දරමින්  යොවුන් අපට ගමනක් යන්නට ලිස්බන් නුවර ජගත් ජගත් යොවුන් දින උළෙල සහයක් වන්නට කියා අපි යාච්ඥා කරමු. 


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය