ලෝකය තුළ තමන් කඩා බෙදා ගන්නා දිව්‍ය සත්ප්‍රසාදීය ජීවිතයක් වෙත යොමු වෙමු : ජූලි මාසයේ සසුන් පිය යැදුම් අදහස

For a Eucharistic life : Holy Father's prayer intention for the month of July 

 


(2023 ජූලි 6) 

ජුලි මාසය තුළ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ යැදුම් අදහස සහ   පණිවිඩය ඇතුළත් මාසික සසුන් පිය වීඩියෝව දැන් නිකුත් වී තිබේ. 

සැබෑ "දිව්‍ය සත්ප්‍රසාදීය ජීවිතයක් වෙනුවෙන්" අපි යාච්ඥා කරමු, ක්‍රියා කරමු යන්න මේ මාසයේ සුදොතුම් පියතුමා ගේ යැදුම් පණිවිඩයේ ආරාධනයයි. 

සැබෑ දිව්‍ය සත්ප්‍රසාදීය ජීවිතයක් යනු කුමක්ද ?

ඉරිදා දිව්‍ය පූජාවට හෝ සතියේ දිනවල දිව්‍ය පූජාවට හෝ දිව්‍ය සත්ප්‍රසාද වන්දනාවට හෝ  ඔබ සහභාගී වන්නේ මන්ද ? ණය යුක්තිය නිසා ද? එය වත්පිලිවෙතකට පමණක් සීමා වී තිබෙනවාද ? දේව වන්දනාවට පමණක් සීමා වී තිබෙනවා ද? හුදෙක් ආත්මීක තෘප්තියට ද?  

මේ මාසයේ යැදුම් පණිවිඩයෙන් ශුද්ධෝත්තම  පියතුමා ලොව පුරා කතෝලික ජනතාවට අභියෝග කරන්නේ මේ සම්බන්ධයෙන් භාවනා කර "සත්ප්‍රසාදීය ජීවිත පරිවර්තනයක්" ඇති කරගන්නා  ලෙසයි. 

එතුමා ඒ අභියෝගය සිය පණිවිඩය ආරම්භයේ මෙසේ සඳහන් සාරාංශ කරයි:

"දිව්‍ය පූජාව අවසානයේ දී සිටින්නේ දිව්‍ය පූජාව ආරම්භයේ සිටි ඔබ ම නම්, එහෙනම් එහි යම් වැරැද්දක් තිබෙනවා."

මෙයින් සුදොතුම් පියතුමන් අදහස් කරන්නේ අප තුළ ජීවිත පරිවර්තනයක් සිදු නොවන්නේ නම්  දිව්‍ය සත්ප්‍රසාදය අර්ථ ශුන්‍ය වත්පිළිවෙතකට සීමා වන බවයි.  

පරිවර්තනය

"දිව්‍ය සත්ප්‍රසාදය යනු ජේසු සමිඳුන් ගේ වැඩසිටීමයි. එය ඉතා  ගැඹුරින් අප පරිවර්තනය කරයි. දිව්‍ය සත්ප්‍රසාදය තුළ අප වෙත එන ජේසු සමිඳුන් අප පරිවතනය කල යුතු ය. වෙනස් කල යුතු ය," යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. 

එය කරවාකාර පරිවර්තනයක් ද යන්න අපට පෙන්වා දෙන්නේ දිව්‍ය සත්ප්‍රසාදීය ජේසු ම ය. "දිව්‍ය සත්ප්‍රසාදය තුළ තමන්වහන්සේව ම අප වෙත පූජා කරන්නේ, තමන්ව ම අපට දෙන්නේ, ක්‍රිස්තුන් වහන්සේ ය' යි එය විස්තර කරමින් එතුමා කියයි. මේ නිසා මේ අබිරහස තුළ "අප ගේ ජීවිත තමන් වහන්සේ විසින් පෝෂණය කරනු ලැබීමටත් අපගේ සහෝදර සහෝදරියන් ගේ ජීවිත පෝෂණය කිරීමටත් උන්වහන්සේ අපට ආරාධනා කරන  සේක. " 

සෑම දිව්‍ය පූජා ප්‍රතිස්මරණයකදී ම, සෑම දිව්‍ය සත්ප්‍රසාදීය  වන්දනාවක දීම උත්ථාන වූ  සමිඳුන් අප හා මුහුණට මුහුණ සම්මුඛ වන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මතක් කර දෙයි. එනයින් ම  දිව්‍ය සත්ප්‍රසාදය අප ලෝකයට විවෘත කරයි. දිව්‍ය සත්ප්‍රසාදීය  ක්‍රිස්තුන් වහන්සේ මුණගැසෙන්නා එම ක්‍රිස්තුන් වහන්සේ ලෝකය වෙත ගෙන ගොස් ලෝකය  ස්පර්ශ නොකරන්නේ නම් දිව්‍ය සත්ප්‍රසාදීය ජීවිතය අසම්පූර්ණ ය.  සුදොතුම් පියතුමා එය මෙසේ පැහැදිලි කරයි. 

"දිව්‍ය සත්ප්‍රසාදීය යාගයට අප සහභාගී වන සෑම අවස්ථාවක ම ජේසු අප වෙත පැමිණෙයි. එසේ පැමිණෙන ජේසු  තමන් ප්‍රේම කළ ලෙස ප්‍රේම කරන්නට අපට ශක්තිය දෙයි.මන්ද අන්‍යයන් මුණගැසීමටත්, අප වෙතින් බැහැරව යාමටත්, අන්‍යයන් වෙත ප්‍රේමයෙන් විවෘත වීමටත් අවශ්‍ය ධෛර්යය දිව්‍ය සත්ප්‍රසාදීය යාගය අප වෙත  ලබා දෙන බැවිනි."

"කඩා බෙදා දීම"

දිව්‍ය පූජාව දේවස්ථානය තුළ  නැත. එය අපේ පාරවල, අසල්වාසියේ, ගමේ  නගරයේ, දේශපාලනයේ, ජීවිත සහ සමාජ අරගලයේ ජීවත් කල යුත්තකි. 

ඉකුත් ජුනි 21 වැනි දා සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති තුන්කාල ආරාධනා මරිය යැදුමේ  දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එය මෙසේ විස්තර කලේ ය:

"සිය ජීවිතය අවසානයේ දී ජේසු සමිඳුන්  ජනතාවක ගේ කුස ගින්න නිවීමට රොටී බෙදා දුන්නේ නැත. එහෙත් ඒ වෙනුවට පාස්කු භෝජනයේ දී  උන්වහන්සේ තමන්වම කඩා බෙදා දෙමින් ජීවිතයේ අරමුණ  පවතින්නේ  ස්වත්‍යාජය මත බව, විශිෂ්ටතම වන්නේ සේවය බව පෙන්වා දුන් සේක." 

 දෙවියන් වහන්සේ වෙතත්  සිය සහෝදරසහෝදරියන්   වෙතත් ප්‍රේමයෙන්   සේවය කිරීමට අප විවෘත කරන දිව්‍ය සත්ප්‍රසාදය ජීවිතයේ කේන්ද්‍රය   කරගන්නැයි සුදොතුම් පියතුමා සිය පණිවිඩය මගින් කතෝලිකයන්ට ආරාධනා කරයි.

වීඩියෝ කතාව

මෙවර වීඩියෝ රූප  කතාවට පාදක  කොටගෙන තිබෙන්නේ  ඇමෙරිකාවේ ඩෙට්‍රොයිට්  පදවියේ දිව්‍ය පූජාවකි. 

දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගන්නා කතෝලිකයන් කොටස් තුනක් සිය දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රතිස්මරණය ජීවත් කරන ආකාරය මෙම රුප පෙළෙහි  තිබේ. 

එක් තැනැත්තෙක් මහමග  අයිනේ සිටින ගෙයක් නැති තැනැත්තෙකුට සමීප වෙයි. තවත් කාන්තාවක් නිවසක තනි වී සිටින කෙනෙකුට අවශ්‍ය කළමනා රැගෙන  යයි. තුන්වැනි කාන්තාව නිවසක රෝගීව සිටින වියපත්  කෙනෙකු වෙත දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ රැගෙන යයි.

විවිධ අර්බුද  වලින් ගහන රටක, ජීවිත සහ සමාජ අරගලයක නිරත සමාජයක  දිව්‍ය සත්ප්‍රසාදය පල්ලියෙන්   පිටතට ගෙන යාමට ඔබට කල   හැක්කේ කුමක්ද?       

 2023 ජූලි මාසය සඳහා සුදොතුම් පිය යැදුම් අදහස සම්පූර්ණයෙන්:

   "දිව්‍ය පූජාව අවසානයේ දී සිටින්නේ දිව්‍ය පූජාව ආරම්භයේ සිටි ඔබ ම නම්, එහෙනම් එහි යම් වැරැද්දක් තිබෙනවා.

දිව්‍ය සත්ප්‍රසාදය යනු ජේසු සමිඳුන් ගේ වැඩසිටීමයි. එය ඉතා  ගැඹුරින් අප පරිවර්තනය කරයි. දිව්‍ය සත්ප්‍රසාදය තුළ අප වෙත එන ජේසු සමිඳුන් අප පරිවතනය කල යුතු ය. වෙනස් කල යුතු ය. 

දිව්‍ය සත්ප්‍රසාදය තුළ තමන්වහන්සේව ම අප වෙත පූජා කරන්නේ, තමන්ව ම අපට දෙන්නේ, ක්‍රිස්තුන් වහන්සේ ය. අප ගේ ජීවිත තමන් වහන්සේ විසින් පෝෂණය කරනු ලැබීමටත් අපගේ සහෝදර සහෝදරියන් ගේ ජීවිත පෝෂණය කිරීමටත් උන්වහන්සේ අපට ආරාධනා කරන  සේක.  

දිව්‍ය සත්ප්‍රසාදීය යාගය ප්‍රතිස්මරණය යනු උත්ථාන වූ ක්‍රිස්තුන් වහන්සේ  මුණගැසීමකි. එසේ ම, උන්වහන්සේ අපට උගැන්වූ ලෙස, එය අපව ලෝකයට විවෘත කිරීමකි. 

දිව්‍ය සත්ප්‍රසාදීය යාගයට අප සහභාගී වන සෑම අවස්ථාවක ම ජේසු අප වෙත පැමිණෙයි. එසේ පැමිණෙන ජේසු  තමන් ප්‍රේම කළ ලෙස ප්‍රේම කරන්නට අපට ශක්තිය දෙයි.මන්ද අන්‍යයන් මුණගැසීමටත්, අප වෙතින් බැහැරව යාමටත්, අන්‍යයන් වෙත ප්‍රේමයෙන් විවෘත වීමටත් අවශ්‍ය ධෛර්යය දිව්‍ය සත්ප්‍රසාදීය යාගය අප වෙත  ලබා දෙන බැවිනි.   

අපි යාච්ඥා කරමු. කතෝලික ජනතාව, සිය ජීවිත සහ මානව සම්බන්ධතා  පරිවර්තනය කරන්නා වූ ද දෙවියන් වහන්සේ සහ සිය සහෝදර සහෝදරියන් සමග මුණගැසීමට විවෘත කරන්නා වූ ද   දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රතිස්මරණය සිය ජීවිත වල කේන්ද්‍රයේ තබා ගනු පිණිස අපි යාච්ඥා කරමු. "   

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය