"වධහිංසා කිරීම මුළුමනින් ම තහනම් කරමු; ඒවා ලෝකයෙන් තුරන් කරමු." ජුනි මාසයේ යැදුම් අදහස ඉදිරිපත් කරමින් සුදොතුම් පියතුමා ලෝක ජනතාවගෙන් ඉල්ලයි" : වධහිංසා මානව ගරුත්වයට හානිකරයි".

"Let us commit for the abolition of torture" Holy Father appeals in his February Pope Video 



(2023 ජුනි 04)

වධ හිංසා පැමිණවීම ලෝකයෙන් මුළුමනින් ම තුරන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා සමස්ත ලෝකයෙන් ඉල්ලා සිටියි. ජාත්‍යන්තර ප්‍රජාව ඒ වෙනුවෙන් කැප වී ක්‍රියා කරනු පිණිස දෙවිඳුන් යදින අතර ඒ වෙනුවෙන් ක්‍රියා කරන්නැයි එතුමා ලොව පුරා වෙසෙන කතෝලික ජනතාවට උපදෙස් දෙයි.  

ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා මෙම ආයාචනය කරන්නේ 2023 ජුනි මාසය වෙනුවෙන් සිය යැදුම් අදහස හා පණිවිඩය ඇතුළත් සසුන් පිය වීඩියෝව නිකුත් කරමිනි. 

වධහිංසා. වධ දීම්.  මෙයින් අදහස්  කෙරෙන්නේ හුදෙක් ශාරීරික වධහිංසා පමණක් නොවේ. බොහෝ දෙනෙකු නොසිතුවාට නූතන හිංසන ක්‍රමයක් වන මානසික, මනෝභාවික වදහිංසා ද ඊට ඇතුලත්වේ. 

"සකල ආකාරයේ වදහිංසා තහනම් කරන්නැ"යි   සුදොතුම් පියතුමා ලෝකයෙන් ඉල්ලා සිටින්නේ අහම්බයකින් නොවේ. එක අතකින් ජුනි 26 වැනි දා   වධහිංසා වලට ලක්වූ වින්දිතයන්ට  සහයෝගිතාව පිණිස  වන එක්සත් ජාතීන් ගේ  දිනයයි. තවත් පැත්තකින්, ලොව පුරා යුද්ධ සහ කැරලි පවතින  කලාප රැසක වධහිංසා සිදුවන බවට වාර්තා වෙමින් තිබේ. යුක්‍රේන ආක්‍රමණය තුළ රුසියාව විසින් සිදු කර ඇති වධහිංසා ගැන විමර්ශන ආරම්භ වී ඇත. එපමණක් නොවේ,  ශ්‍රී ලංකාවේ යළිත් අලුත් වටයකින්  දරුණු වධහිංසා පැමිණවීමේ සංස්කෘතියක් දිගහැරෙමින් තිබේ. යහපත් රටක් වෙනුවෙන් අවිහිංසාවාදීව සහ ප්‍රජාතන්ත්‍ර වාදීව  අරගල කරන ජතාවටට පිළිතුරු දෙනු ලබන්නේ හිංසනයෙනි.  මේ නිසා සුදොතුම් පියතුමන් ගේ ජුනි මස යැදුම් අදහස සහ පණිවිඩය ලෝකයට මෙන් ම ශ්‍රී ලංකාවට ද අතිශයින් වැදගත් වේ. 

රූප පෙළ 

මෙවර සසුන් පිය වීඩියෝව ආරම්භ වන්නේ පොළොව යට පිහිටි වධකාගාරයකට බැස යන පටු, අඳුරු, බියකරු පියගැට පෙළකිනි. අනතුරුව පුටුවකට ගැට ගසා තිබීම, දෑත් ගැට ගසා තිබීම, දෑස් සහ මුහුණ වැසෙන සේ ආවරණ යොදා තිබීම, අන්ධකාර කුටි වැනි වදහිංසා ක්‍රම වල රූප පෙළක් ඔස්සේ සුදොතුම්  පියතුමා සිය පණිවිඩය අරඹයි. 

එතුමන් කතා කරන අතර  නූතන රුදුරු හිංසන ක්‍රම වල සංකේත ලෙස කඩමලු එබූ බාල්දි, වයර් කම්බි, බැටරි, අඬු සහ මිටි, ඒවා අතර වන මිනිස් දෑත් සහ දෙපා  වැනි රූප පෙළක් දැකගත හැකිය. කළුවර, හුදෙකලා වධකාගාර වලින් මානසික හිංසනය චිත්‍රණය කෙරේ. 

ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමා සිය පණිවිඩයේ දී අති දරුණු වධහිංසාවට ලක්කරන ලද ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ගැන ද කතා කරයි. කුරුසිය මත මරණය අතිශය වේදනාකාරී ම බියකරුම මරණයක් බව ද එය රුදුරු ම වධයක් බව ද විශේෂඥයෝ පවසති. ඊට කළින් දරුණු ලෙස කස පහර දී වධයට  ලක්කරන ලද නාසරෙතයේ  ජේසු තරුණයා පිලාත් ආණ්ඩුකාරයා වෙත ගෙන එනු ලබයි. දරුණු ශාරීරික සහ මානසික  හිංසනයෙන්  විරූපී වූ  ජේසු තරුණයා ගේ වත මන්දලත් සිරුරත්  දකින පිලාත් ආණ්ඩුකාරයා ගේ සිත සසල වෙයි. "මෙන්න මනුෂ්‍යයා!" එනම් " Ecce homo" යයි පවසමින් ඔහු ජේසු තරුණයා ජුදෙව් ජනයා වෙත ඉදිරිපත් කරයි. මෙම අවස්ථාව පිළිබිඹු කරමින් ඉතාලියේ ක්‍රොතෝනේහි මෙසොරාකා සිද්ධස්ථානයේ තබා ඇති   "Ecce homo" ප්‍රතිමාව ද රූප කතාවට ඇතුළත් කර තිබේ. 

"මගෙ  දෙවියනේ වධ හිංසාව !" 

නුතන ලෝකයේ භාවිත කෙරෙන හිංසනයන් ගැන සිය කම්පනය සහ වේදනාව ප්‍රකාශ කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය පණිවිඩය ආරම්භ කරන්නේ "වධ හිංසාව ! මගේ දෙවියනේ වධ හිංසාව!" යයි පවසමිනි.  

වධ හිංසා කිරීම ඈත අතීතයේ මතකයේ වැළලී ඇති සිද්ධියක්  නොවන බව එතුමා පෙන්වා දෙයි. මේ කුරිරු භාවිතය මනුෂ්‍යයා දියුණු වී ඇති බව කියවෙන අද දවසේ  පවා සිදුවෙන දෙයක් බව එතුමා කියයි. 

මිනිසකු තවත් මනුෂ්‍යයකුට වධහිංසා කිරීමට තරම් කුරිරු වීමට මේ තරම් හැකියාවක් ලැබුණේ කෙසේ දැයි එතුමා  විමතියෙන් ප්‍රශ්න කරයි. 

විවිධ හිංසන ක්‍රම 

විවිධ ශාරීරික සහ මානසික හිංසන ක්‍රම ඇති ආකාරය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  විස්තර කරයි. අතිශය කුරිරු, අමානුෂික තත්ත්ව යටතේ මිනිසුන් රඳවා තැබීම වැනි නූතන මානසික හිංසන ක්‍රම ද ඒ අතර වේ. මේවා මගින්, ජාතිය, ආගම, කුලය, දේශපාලන මතය, හමේ වර්ණය වැනි විවිධ වෙනස්කම් නොතකා මිනිසකුට සහ ගැහැනියකට  උපතින් ම ලැබී තිබෙන ගෞරවයට හානි කොට, "මිනිසා" හුදෙක් "දෙයක්" බවට පත් කරන බව එතුමා විස්තර කරයි. 

මතක තබා ගත යුතු කරුණක් තිබේ. එනම්, මිනිසකුට අමානුෂික වධහිංසා කරද්දී "දෙයක්" බවට පත් වී ගෞරවය විනාශ වන්නේ වින්දිතයා ගේ පමණක් නොවේ. වධහිංසා කරන්නා ද "දෙයක්" හෝ "තිරිසනකු" බවට පත් වේ. 

වධහිංසා  නිසා බොහෝ විට  ජීවිත කාලයක් පුරා පවතින ශාරීරික හෝ  මානසික තුවාල  ඇති වන අතර ඇතැම් විට වින්දිතයා මරණයට ද පත් වේ. 

ලංකාවේ හිංසන භාවිතය 

මේ භාවනාව තුළ ශ්‍රී ලාංකික කතෝලිකයා මව්බිමේ තත්වය දෙස ද යොමු විය යුතු ය.  

යුද්ධ සහ කැරළි කිහිපයක අතීතය තුළ අපේ තරුණ තරුණියෝ අමානුෂික වධහිංසා වලට ලක්වූහ. 

එහෙත් සුදොතුම් පියතුමා  පෙන්වා දෙන පරිදි එය "අදත් සිදුවේ." 

ගාලුමුවදොර කේන්ද්‍ර වූ ජනතා අරගල බිම විසුරුවා හරින ලද්දේ අමානුෂික ශාරීරික හිංසනයකිනි. ඉන් පසුව ඇතැම්  ශිෂ්‍ය කණ්ඩායම් විසින් කල උද්ඝෝෂණ විසුරුවා හැරීම සඳහා ද සමහර අවස්ථාවල විට කාන්තවන් ගේ ඇඳුම් පවා ඉවත් කෙරෙන ආකාරයේ හිංසනයක් භාවිත කෙරිණි. කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිතය සේ ම කඳුළු ගෑස් ඍජුව ජනතාව වෙත එල්ල කිරීම ද ඊට සමානය. මෙවැනි හිංසන නිසා උද්ඝෝෂණ වලට එක්වූ කිහිප දෙනෙක් ම මේ වන මිය ගොස් තිබේ. ඊට අමතරව  අමානුෂික තත්ත්ව යටතේ පුද්ගලයන් හුදෙකලාව  දීර්ඝ කාලයක් රඳවා තැබීම මානසික වධහිංසාවක් බව මෙම පණිවිඩය  අපට පෙන්වා දෙයි. 

මෙනයින් බැලූ විට මෙවැනි හිංසනයන් ඉදිරියේ කතෝලික ජනතාවට දෑත් දෙපා හකුලා නිර්වින්දිතව  සිටිය නොහැකිය. එය දේව හඬ ශබ්දය නොතකා හැරීමකි. එසේ ම  මිනිස් පුද්ගල ගරුත්වයට හානි කල හැකි, පුනරුත්ථාපන පනත, ප්‍රති-ත්‍රස්ත  පනත   වැනි  අමානුෂික පනත් වලට සහය දීමට  කතෝලික ජනතාවට නොහැකිය. 

"වධහිංසා තහනම් කරන්නට  එක්වෙමු" 

මේ නිසා සකල ආකාර වධහිංසා තහනම් කිරීමටත් ඒවා ලොවින් තුරන් කිරීමටත් අත්වැල් බැඳගන්නා  ලෙස  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සමස්ත  ලෝකයෙනුත් විශේෂයෙන් ම කතෝලික ජනතාව ගෙනුත්  ඉල්ලා සිටියි. 

මේ කුරිරු  සහ අමානුෂික භාවිතය ලොවින් මුළුමනින් ම මුලිනුපුටා දැමීමට අවශ්‍ය තදබල පියවර ගන්නා  ලෙස එතුමා ලෝක ප්‍රජාවට ආයාචනා කරයි. 

ඒ වෙනුවෙන්  මේ මාසය පුරා යාච්ඥා කරන අතර කැපවී ක්‍රියා කරන්නැයි සුදොතුම් පියතුමා විශේෂයෙන් ම කතෝලික ජනතව ගෙන් ඉල්ලා සිටියි. 

2023 ජුනි මාසය සඳහා සුදොතුම් පිය යැදුම් අදහස සම්පූර්ණයෙන් මෙසේ ය: 

වධහිංසා කිරීම. අහෝ මගෙ දෙවියනේ ! වධහිංසාව !

වධ දීම, වදහිංසා කිරීම ඈත  ඉතිහාසයේ සිද්ධියක් නොවේ. එය අපගේ වර්තමාන  ඉතිහාසයේ කොටසක්. 

කුරිරු වීමට මනුෂ්‍යයාට ඇති හැකියාව මේ තරම් විශාල වූයේ කෙසේ ද?

අතිශය කුරිරු වධ හිංසා පැමිණවීමේ ක්‍රම තිබේ. තවත් ඇතැම්  වධදීම් වඩාත් නවීනයි. උදාහරණ ලෙස කෙනෙකු ගේ ගෞරවය කෙලෙසීම, ඉන්ද්‍රියයන් මොට කිරීම හෝ අතිශය අමානුෂික තත්ත්ව යටතේ සිදු කෙරෙන සාමුහික  රැඳවුම් මගින් පුද්ගලයකු ගේ ගරුත්වය අහිමි කිරීම ඒ අතර තිබෙනවා.

එහෙත් මෙය අලුත් දෙයක් නොවේ. ජේසු සමිඳුන්ට වධ හිංසා කොට කුරුසියේ ඇණගැසීම ගැන අපි සිතමු. 

මේ බියකරු  වධහිංසා පැමිණවීම් අපි සම්පූර්ණයෙන් නවත්වමු. සියල්ලට ඉහළින් පුද්ගලයකු ගේ ගරුත්වය ඔසවා තැබිය යුතුයි. 

එසේ නැති වූ විට සිදු වන්නේ කුමක් ද? වධහිංසා වලට ලක්වන  වින්දිතයන් මානව පුද්ගලයන් නොව "දේවල්" බවට පත්වීමයි; ඒ අනුව ඔවුන්ට අනුකම්පා විරහිතව සලකනු ලැබීමයි; ඒ මගින් ඔවුන් ගේ මරණය සිදුකිරීම හෝ ඔවුන්ට ස්ථිර මානසික හෝ ශාරීරීක තුවාල සිදු  කිරීම මගින්  ජීවිත කාළය පුරා දුක් විඳීමට ඉඩ හැරීමයි. 

අපි යාච්ඥා කරමු. වධහිංසා පැමිණවීම ලොව පුරා  මුළුමනින් ම තහනම්  කිරීමටත්, ඒවායින්  වින්දිතයන් බවට පත්වූවන්ට අවශ්‍ය උපකාර කිරීමටත් ජාත්‍යන්තර ප්‍රජාව කැපවෙන පිණිස අපි යාච්ඥා කරමු. 


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය