"අපි අවිහිංසාවේ සංස්කෘතියක් ගොඩනගමු": අප්‍රේල් මාසය සඳහා සුදොතුම් පිය යැදුම් අදහස: "යුද්ධය, හිංසනය පිස්සුවක්!"

For a non-violent culture: Pope's prayer intention for April 2023



(2023 අප්‍රේල් 08)

"අවිහිංසාවේ සංස්කෘතියක් උදෙසා" 

2023 අප්‍රේල් මාසය සඳහා ප්‍රැන්සිස්  ශුද්ධෝත්තම පියතුමන් ගේ යැදුම් අදහස  එයයි.

එම කාලෝචිත යැදුම් අදහස් ඇතුළත් සසුන් පිය වීඩියෝව ලෝක ව්‍යාප්ත සසුන් පිය යැදුම් ජාලය විසින් මේ මස මුල දී නිකුත් කෙරිණි. 

මේ යැදුම්  අදහස මගින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා යළිත් වරක් යුද්ධ සහ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළාදකියි. 

ඒ වෙනුවට එතුමා ලෝකයට ආයාචනා කරන්නේ   "අවිහිංසාවේ සංස්කෘතියක්" ගොඩ නැගීමට දායක වන ලෙස ය.

බොදු දහමේ සොඳුරු ම ඉගැන්වීමක් වන "අවිහිංසාව" ශ්‍රී ලාංකික අපට අලුත් දෙයක් නොවේ. එහෙත් ප්‍රශ්නය ජාතියක් ලෙස අප ඒ ඉගැන්වීම ජීවත් කරන්නේ ද යන්න ය. මේ නිසා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ අප්‍රේල් මාසයේ යැදුම් අදහස අපට දැඩි අභියෝගයක් ගෙනැ එයි. 

අවිහිංසාව පරාජයක් නො වේ - සියල්ල අපේක්ෂා කිරීමක්. යුද්ධය පිස්සුවක්! 

අවිහිංසාව නොහොත් ප්‍රචණ්ඩත්වයෙන් තොර  වීම යනු යටත් වීමක් හෝ පරාජයක් ලෙස ඇතැමෙක් සිතති. එහෙත් එය එසේ නොවන බව මේ යැදුම් අදහස රැගත් සිය සිතිවිල්ල ආරම්භ කරමින් සුදොතුම් පියතුමා අවධාරණය කරයි. 

ඊට පරස්පරව, අවිහිංසාව යනු සියල්ල ප්‍රාර්ථනා කිරීමකි. සියල්ල බලාපොරොත්තු වීමකි. 

අනෙක් පැත්තෙන් යුද්ධය සහ ප්‍රචණ්ඩත්වය  කෙතරම් මානුෂිකත්වයට එරෙහි ද යන්න විස්තර කිරීමට එතුමා උපුටා දක්වන්නේ ශා. 23 වැනි ජුවාම් ශුද්ධෝත්තම පියතුමා ගේ ප්‍රකට ප්‍රකාශයකි. 

23 වැනි ජුවාම් සුදොතුම් පියතුමා 1963 දී නිකුත් කරන ලද "පාචෙම් ඉන් ටෙරිස්" හෙවත් "මිහිමත සාමය" නමැති සිය විශ්ව ලේඛනයේ මෙසේ කියයි:  "යුද්ධය පිස්සුවකි. එය මානව බුද්ධියට තරම් නොවේ."

සාමයේ අදහස ඇතුළත් එම  විශ්ව ලේඛනය සහ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ මේ සාමය වෙනුවෙන් වූ යැදුම් අදහස අතර   සංසිද්ධි ගතව සමාන කම් රැසක් තිබේ. එම විශ්ව ලේඛනය 23 වැනි  ජුවාම් පාප් තුමා නිකුත් කලේ 1963 අප්‍රේල් 11 වැනි දාය . එය ඒ වසරේ මහ බ්‍රහස්පතින්දා  ය. ඒ වන විට ජුවාම් පාප් තුමා පිළිකාවකින් පෙලෙන බව හඳුනාගෙන තිබිණි. එතුමා එය ලියා නිකුත් කලේ සීතල යුද්ධයේ මැද සමයේ  දරුණු "සීතල ගැටුම්" පවතින අතරතුර ය. එය ලියන ලද්දේ 1962 කියුබානු මිසයිල් අර්බුදයෙන් මාස  දෙකකට පසුව ය.  එම අර්බුදයේ දී ජුවාම් පාප් වහන්සේ ගේ නායකත්වයෙන් යුත්  වතිකානය, අමෙරිකාවේ  ධවල මන්දිරය සහ සෝවියට් දේශයේ ක්‍රෙම්ලිනය අතර අතරමැදි මෙහෙවරක් ඉටු කලේ ය. මානව ගරුත්වය,  යුක්තිය ඉටුකිරීම සහ සියලු ජතාව අතර සමානාත්මතාව පිළිගන්නා පරිසරයක  ඇති වන සාමය ගැන කතා කරන මේ විශ්ව ලේඛනය ලෝක ජනතාවට පිදෙන  සිය "පාස්කු තිළිණය" බව XXII වැනි ජුවාම් පාප්තුමා කීවේය. (මේ තත්ත්වය  වර්තමානය හා සසඳන්න.") එම විශ්ව ලේඛනයේ වැදගත්කම පිළිගත් එක්සත් ජාතීන් ගේ සංවිධානය එය එක්සත් ජාතීන් ගේ ලේඛන සංරක්ෂිතාගාරයේ තැන්පත් කළේ ය.

යුද්ධය ඉතිරි කරන්නේ පරාජයයි 

ඕනෑම යුද්ධයක හෝ ප්‍රචණ්ඩ ක්‍රියා මාර්ගයක අවසානය පරාජයක් මිස ජයග්‍රහණයක් නොවන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය පණිවිඩයේ පෙන්වා දෙයි. 

එය ශ්‍රී ලංකාවේ ද අත්දැකීම ය. ආණ්ඩුවේ හමුදා බලය යොදවා 1971, 1988 -1989, සහ තිස් වසරක ජනවාර්ගික යුද්ධයක් වශයෙන් යුද්ධ කිහිපයක් ජයගෙන ඇති නමුදු ජාතියක් ලෙස  අපි ඒ සියල්ලෙන් පරාජය වී ඇති බව ඉතා පැහැදිලි ය. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙන්නේ "ස්වකීය ආරක්ෂාව සඳහා යුද්ධ කරන්නේ ය" යන තත්ත්වය තුළ පවා අවසන් ඉලක්කය විය යුත්තේ සාමය ම බවයි. එය එක් පාර්ශවයක් පරාජය කර යටපත් කර පාගා ගන්නා  තත්වයක් වෙනුවට "සමානාත්වතාව  ම" රකින අවසන් අරමුණෙන් සිදුවිය යුත්තක් ය යන්න එතුමන් මෙයින් අදහස් කරයි. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ අදහස එක්කර ඇත්තේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හටගෙන ඇති යුද්ධය පසුබිමේ  සිට බව පැහැදිලිය. එහෙත් එය සෑම සන්නද්ධ ගැටුමකට ම අදාළ ය. 

අවිහිංසාව - එක ම මග 

මේ තත්වය සැලකිල්ලට ගනිමින් ලොව සැම'ත විහිදී පැතිරී ගිය අවිහිංසාවේ සංස්කෘතියක් ගොඩ නගමු යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විශේෂයන් ම ලොව පුරා සිටින කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ වෙනුවෙන් යාච්ඥා කරන අතර ක්‍රියාවෙන් ඒ වෙනුවෙන් කැපවීමේ අවශ්‍යතාව එතුමා පෙන්වා දෙයි. 

අවි ආයුධ ඉවත් කිරීමෙන්  මිස අවිහිංසාවට  වෙනත් මගක් නොමැති බව ද එතුමා අවධාරණය  කරයි.

මහත්මා ගාන්ධි - මාටින් ලූතර් කිං 

මෙවර සසුන් පිය වීඩියෝවේ දර්ශන සාමයේ කතන්දරයක් කියයි. එය ආරම්භ වන්නේ විරෝධතාවකට එක්වූ කාන්තාවක් සමග සුහදව කතා කරමින් සිටින පොලිස් නිලධාරියකු ගේ දර්ශනයකිනි. ලෝකයේ ප්‍රචණ්ඩත්වයෙන් බිඳ වැටුණු අවස්ථාවල දසුන් කිහිපයක් එම කතන්දරයට ඇතුලත් ය. 

ඉතිහාසයේ සාමය වෙනුවෙන් කැප වූ නායකයන් සහ ක්‍රියාකාරීන් කිහිප දනෙකු ගේ  කලු-සුදු රූ සටහන් එම දර්ශන අතර විද්‍යමාන වේ. 23 වැනි ජුවාම් පාප් වහන්සේ, මහත්මා ගාන්ධි, මාටින් ලූතර් කිං සහ කල්කටාවේ තෙරේසා මව් තුමිය ඒ අතර වේ. මේ අතරින් දෙදෙනෙකු ම අපේ කලාපයේ  වීම විශේෂයකි. 

මේ අතරින් මහත්මා  ගාන්ධි සහ මාටින් ලූතර් කිං සිය  ජීවිත පූජා කළේ හිංසනය, ප්‍රචණ්ඩත්වය හෝ යුද්ධය වෙනුවෙන් නොවේ. අවිහිංසාවේ මාර්ගය ඔස්සේ යුක්තිය, සමානාත්මතාව සහ මානව ගරුත්වය වෙනුවෙන් ජනතාව පෙළ ගැස්වීමට ක්‍රියා කිරීම තුළ ය. 

කඳුළු ගෑස් - වැට මාර පොලු - කුරුඳු පොලු  - බැටන්  ප්‍රචණ්ඩත්වය 

ශ්‍රී ලංකාවේ අප අත්දකිමින්  සිටින "අරගලය" හිංසාවෙන් ප්‍රචණ්ඩත්වයෙන් තොර ව ආරම්භ වී දියුණු වූ උද්ඝෝෂණ ක්‍රියා මාර්ගයකි. මෙය මේ දක්වා ම  ලෝකයේ එක ගලක් වත් අතින් නොගත් විරෝධතා මාලවක් ලෙස සනිටුහන් වේ තිබේ. 

එහෙත්   මේ වන විට එම අවිහිසාවාදී ජන පෙළගැස්මට අවිහිංසාවාදී ව පිළිතුරු දෙනු වෙනුවට ඊට  එරෙහිව රාජ්‍ය හිංසනය සහ ප්‍රචණ්ඩත්වය දිගින් දිගටම එල්ල කෙරෙමින්  තිබේ. එය ඉතා තිරශ්චීන ආකාරයෙන් වැඩි  වර්ධනය කරමින් තිබේ. ගල් කැටයක්වත් අතින් නොගත් අරගලයේ ජනතාවට පිළිතුරු දෙනු ලබන්නේ මාරාන්තික කඳුළු ගෑස් ප්‍රහාර. වැටමාර හෝ කුරුඳු පොලු, බැටන් සහ පල් වතුර ප්‍රහාර වැනි දැඩි ප්‍රචණ්ඩත්වයක්, හිංසනයක් මුදා හරිමිනි.  හිංසනය සහ ප්‍රචණ්ඩත්වය භාවිත කරන නිලධාරීන්ට අවශ්‍ය  ආරක්ෂාව  සහ උසස්වීම් දෙන අතර රාජ්‍ය හිංසනය  සහ ප්‍රචණ්ඩත්වය තහවුරු කෙරෙන නීති රීති ද එක පෙළට  සම්මත  කරගනිමින් තිබේ. 

1971. 88-89 සහ තිස් වසරක යුද්ධය සේ ම මේ ප්‍රචණ්ඩත්වයේ සහ යුද්ධයේ අවසානය ද අවුල, පරාජය සහ සහ රටේ විනාශය පමණක් ම බව ප්‍රතිපත්ති සම්පාදකයන්ට  අවබෝධ කර දීමටත් ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමටත්  විශේෂයන්  කතෝලික ජනතාව ක්‍රියා කල යුතු බව සුදොතුම් පියතුමා ගේ 2023  අප්‍රේල් යැදුම් අදහස අවධාරණය කරයි. 

2023 අප්‍රේල් මාසය වෙනුවෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ යැදුම් අදහස සම්පූර්ණයෙන් 

"ප්‍රචණ්ඩත්වයෙන් සහ හිංසාවෙන් තොරව ජීවත් වීම, කතා කිරීම, සහ ක්‍රියා කිරීම යනු යටත් වීමක් හෝ පරාජය වීමක් හෝ කිසිවක් අත්හැරීම හෝ නොව, සියල්ල ප්‍රාර්ථනා කිරීමකි. 

හැට වසරකට පෙර ශාන්ත XXIII වැනි ජුවාම් පාප් වහන්සේ සිය 'පාචෙම් ඉන් ටෙරිස්" (මිහිමත සාමය) විශ්ව ලේඛනයේ පෙන්වා දුන්නා සේ යුද්ධය යනු පිස්සුවකි; එය  බුද්ධියට තරම් නොවේ. 

ඕනෑම යුද්ධයක්, ඕනෑම සන්නද්ධ ගැටුමක් සෑම විට ම අවසන් වන්නේ සියල්ලනට පරාජය අත්කර දීමෙනි. 

අපි සාමයේ සංස්කෘතියක් ගොඩනගමු. 

ස්වකීය ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු වන අවස්ථාවක  වුව ද අවසාන ඉලක්කය සාමය බවත් කල්පවත්නා සාමයක් පැවතිය හැක්කේ ආයුධ නැතිව පමණක් බවත් අපි මතක තබා ගනිමු. 

අපි අවිහිංසාව අපගේ ක්‍රියා වල මාර්ගෝපදේශය කර ගනිමු; අපේ එදිනෙදා ජීවිතයේ සේ ම ජාත්‍යන්තර සම්බන්ධතාවල දී ද එසේ කරමු. 

අපි යාච්ඥා කරමු.  අවිහිංසාවේ සංස්කෘතියක් උදෙසා අපි යාච්ඥා කරමු.  රටවල් මෙන් ම පුරවැසියන් අවි ගැනීම වඩ වඩාත් අඩු කරන පරිසරයක් තුළ සැම'ත පුළුල් ලෙස පැතිරුණු  අවිහිංසාවේ සංස්කෘතියක් උදෙසා අපි යාච්ඥා කරමු.    

Comments

  1. Appreciate the efforts taken to translate..God be with you..Alleluia

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය