"කඳුලු හදක්" සිය හදට තුරුළු කර ගනිමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා රෝහලින් නික්ම යයි: "රෝහල්වල හුඟාක් වීර ක්‍රියා සිදුවෙනවා."

Pope Francis leaves hospital embracing and consoling  a tearful mother

"කඳුල සිය ලයට තුරුළු කරගෙන..." කතාව කියවන්න (CBC  වාර්තාවකින් උපුටා ගත් සේයාරුවකි.) 

(2013 අප්‍රේල්  1)

දින තුනක රෝහල් ප්‍රතිකාර වලින් පසු සුවය ලැබූ  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අප්‍රේල් 1දින, සෙනසුරාදා රෝමයේ ජෙමෙල්ලි  රෝහලින් පිටවී සාන්තා මාර්තා ගෙදරට පැමිණෙයි.  

රෝහලේ ප්‍රධාන ගේට්ටුවෙන් පිටතට එද්දී  සුබ පතන්නට පැමිණි ජනතාවට සහ  මාධ්‍යකරුවන්ට කතා කරමින්  "මම තවමත් ජීවත් වෙනවා, ඔබ දන්නවද?"යි සිය සුපුරුදු සිනහව  සහ හාස්‍යය සමග පැවසූ එතුමා සිය සුදු පැහැති ෆියට් 500 පුංචි මෝටර් රථයට නැගී, "මා වෙනුවෙන් යාච්ඥා කරන්න" යි ද ඉල්ලමින්  නික්ම ගියේ ය. 

බදාදා 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා රෝමයේ ප්‍රකට ජෙමෙල්ලි රෝහලට ඇතුළත් කරන ලද්දේ ඉකුත් බදාදා යි. එදින එතුමා සුපුරුදු පරිදි බදාදා පොදු හමුවට ද සහභාගී වී සිය ධර්මෝපදේශ දේශනය කළේය. රෝහලට ඇතුළත් කරන ලද්දේ ඉන් පසුවයි. 

එතුමා  ශ්වසන මාර්ගය ආශ්‍රිත බ්‍රොන්කයිටීස් රෝගයෙන්  පෙළුණු බව සොයා ගන්න ලද අතර  එතුමාට දියර මාර්ගයෙන් ප්‍රතිජීවක ඇතුළු කරනු  ලැබිණි. සිකුරාදා වන විට තත්ත්වය යහපත් අතට හැරුණු පසු රෝහලේ සසුන් පිය කාමරයේ කුඩා පල්ලියට ගොස් යාච්ඥා  කල ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉන් පසුව රෝහලේ ළමා වාට්ටුවේ ඇවිදින්නට  ගියේ ය. එහිදී එතුමා  රෝගී දරුවන් ආසිරි ගන්වමින් ඔවුන් ගේ දෙමාපියන්ට කතා කළේය.  එම ගමනේ දී එතුමා අලුත උපන් මිගෙල් එන්ජල් නැමති ළදරුවාට ප්‍රසාද ස්නාපන සක්‍රමේන්තුව ද ලබා දුන්නේ ය. 

"කඳුල වැළඳ ගැනීම" සහ  අත්සන 

සෙනසුරාද උදෑසන රෝහලෙන් යන්නට අවසර ලැබුනු ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා රෝහලින් පිට වූයේ  රෝහලේ පැති දොරටුවකිනි. එහෙත් රෝහලේ ප්‍රධාන ගේට්ටුව අසලින් යද්දී සුබ පතන්නන්  විශාල සංඛ්‍යාවක් එහි සිටිනු දුටු  එතුමා සිය මෝටර රථයෙන් බැස ඔවුන් ගේ සුබ පැතුම් පිළිගනිමින් ඔවුන් හා කතා බහ කළේය. 

සිකුරාදා රාත්‍රියේ රෝහලේ දී සිය පස් අවුරුදු දියණිය මියගිය සෙරේනා  සුබේනියා  සහ මත්තේයෝ රගියා යන මා පිය යුවල ද ඒ අතර සිටියහ. සිය සිඟිති දියණිය ගේ වියෝවේ ශෝකය  සෙරේනා ගේ හදවතින්  සහ නෙත්වලින් පුපුරා යමින් තිබෙනු එතුමා දැක්කේ ය. සෙරේනා සිය ලයට තුරුළු  කරගත් සුදොතුම් පියතුමා ඇය සනසා, මත්තෙයෝ තාත්තා  සහ සෙරේනා සමග පුංචි යාච්ඥාවක් ඔප්පු කළේය. 

අතේ අස්ථි බිඳීමක් නිසා ප්ලාස්ටරයක් දමා ගෙන සිටි කුඩා පිරිමි ළමයෙක් ද එතුමාට සුබ පතන්නන් අතර විය. එම ප්ලාස්ටරයේ කිහිප දෙනෙකු අත්සන් තබා ඇති බව සුදොතුම් පියතුමා දැක්කේ ය. 

"ඔබ ළඟ පෑනක් තියෙනවද ?" එතුමා ඇහැව්වේ ය. 

එතුමා ගේ සහයකයෙක් එතුමාට පෑනක් දුන්නේ ය. එතුමා එම පෑනෙන් ප්ලාස්ටරය මත සිය අත්සන යොදා, එම ළමයාට ආශීර්වාද කළේය. 



"බය වුණා ? නැහැ. මම බය වුනේ නැහැ." 

සුපුරුදු ලෙස ඉතාලි ජනමාධ්‍ය කරුවෝ ද සුදොතුම් පියතුමන් එන තෙක් එතැන  'රැකවල් ලා ගෙන' සිටියහ. ඔවුනට ද සුහද ලෙස කතා කරන්නට  එතුමා ඔවුන් අසල නැවතුනේ ය.

"රෝහලේ දී ඔබ බය වුනා ද" වාර්තාකරුවෝ විමසූහ. 

"මම බයවුණා ? නෑ. මම බය වුණේ නැහැ." එතුමා සුපුරුදු හාස්‍යයෙන් යුතුව පිළිතුරු දුන්නේ ය. 

එතුමා රෝහලේ කාර්ය මණ්ඩලය අගය කරමින් මාධ්‍ය කරුවන්ට කතා කළේය.

"රෝහල්වල හුඟක් වීර ක්‍රියාදකින්න ලැබෙනවා. රෝගීන් කෙරෙහි බොහෝ මෘදු බවක් කරුණාවක් දකින්න ලැබෙනවා. ඔබ දන්නවා, රෝගී වුනාම, අපි ලෙඩ වුනාම අපි හුඟක් කලබල වෙනවා. ආවේගශීලි වෙනවා. මේ කලබල කම, වෙනස් වෙන සුළු බව එන්නේ රෝගී බව නිසා. ඒ අවස්ථා වල දී අපි ටිකක්  ඉවසිලිවන්ත විය යුතුයි..."

"මම ළමා වාට්ටුවට ගියා. එහි කාර්ය මණ්ඩලය එම රෝගී ළමයින් කොච්චර කරුණාවෙන්  බලාගන්නවද සත්කාර කරනවද කියල මම එතැනදී අත්දැක්කා" යි ද එතුමා කීවේ ය. 

"දැන් ඉතින් මට දවස් හතරක් විතර නිදා ගන්න වෙයි.." වාර්තා කරුවන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමෙන් පසුව ඔවුන් සිනහවේ ගිල්වමින් එතුමා කීවේ ය. 

එතනින් පිටත්ව යාමට සිය පුංචි ෆියට් රථයට නැගුනු එතුමා "ඔබ දන්නවද? මම තවමත් ජීවත් වෙනවා" යි හාස්‍යය මුසුව පැවසමින්  නික්ම ගියේ ය. ඒ සමගම "මා වෙනුවෙන් යාච්ඥා කරන්න" යි ද එතුමා ඉල්ලා සිටියේ ය. 

මරිය මජෝරේ බැසිලිකාව අසල 

එහෙත් එතුමා කෙලින් ම සාන්ත මාර්තා ගෙදරට ගියේ නැත. 

ගෙදර යන්නට පෙර ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  මුලින් ම ගියේ රෝමයේ ඓතිහාසික වන්දනා ස්ථානයක් වන සාන්ත මරිය මජෝරේ (Saint Mary Major) බැසිලිකා දෙව්මැදුරටයි. 

මරිය මෑණියන්ට කැපකර ඇති මේ දෙව්මැදුරේ ඇති මරිය වහන්සේ ගේ "Salus Populi Romani," ("රෝම ජනතාව ගේ ගැලවීම")   පින්තුරය ප්‍රැන්සිස් පාප් වහන්සේ නිතර යාච්ඥා කරන්නට යන තැනකි. අපෝස්තලික  ගමනක් යන්නට පෙර සහ පසුව එතුමා එතැනට යාම අනිවාර්ය කරගෙන තිබේ. කෝවිඩ් සමයේ එතුමා මේ පින්තුරය අබියසට ගොස් "රෝම ජනතාව" මරිය මෑණියන්ට කැප කලේ ය. 

පසුගිය වසරේ සිට ගමන් බිමන් යන රෝද පුටුවෙන් එම පින්තුරය අබියසට ගිය සුදොතුම් පියතුමා ඒ අබියස මඳ  වෙලාවක් හිඳ යාච්ඥා කළේය. (පහත සේයාරුව )




ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දෙව්මැදුරෙන්  පිටතට එන විට  ඒ වන විටත්  එහි රැස්ව  සිටි වන්දනාකරුවෝ "Viva il Papa " ("ශුද්ධෝත්තම පියතුමාට දීර්ඝායු වේවා!") යි පතමින් අත්පොලසන් දුන්හ. 



ශුද්ධ වූ සතිය සහ පාස්කු දිනයේ වැඩසටහන් 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් රෝහලින් නික්මුණු වහා ම වතිකානය එතුමන් ගේ ශුද්ධ වූ සතියේ  පාස්කු දිනවල වැඩසටහන තහවුරු කරමින් නිවේදනයක්  නිකුත් කර තිබේ. 

මේ අනුව ගොබ් ඉරිදායින් පටන්ගෙන සියලු ප්‍රධාන ජනවන්දනා පිළිවෙත් සිදු  කරනු ලබන්නේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ප්‍රධානත්වයෙනි. එතුමා ගේ දනිස් අමාරුව උග්‍ර වූ දිනවල සිට කෙරෙන ආකාරයට වතිකානයේ සිටින කාදිනල් හිමි නමක්  පුදසුනේ සිටිනු ඇත. 

"ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලෝකයට අවශ්‍යයි" 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ හදිසි රෝගී තත්වය වාර්තා වූ බොහෝ කතෝලිකයෝ සිය නිවෙස් වලත් පල්ලි වලත් රැස්ව යාච්ඥා කරන්නට පටන් ගත්හ. ඒ අතර බහුතරයක් දුප්පතුන්, සරණාගතයන්, අයුක්තියට අසාධාරණයට ලක් වුවන් සහ සමාජයේ පරිධියේ සිටින්නන් ය. 

කැනඩාවේ CBC රූපවාහිනියෙන් ජන අදහස්  විමසන කල එක්  මැදිවියේ තැනැත්තෙක් කීවේ "මම සභාවෙන් ඉවත් වෙලයි හිටියේ. මම ආපහු පල්ලියට ආවෙ ප්‍රැන්සිස් පාප් වහන්සේ නිසා" කියා ය. 

ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමන්ට ඉක්මන් සුවය පතමින් ට්විටර් සටහනක් තැබූ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් එය අවසන් කර තිබුණේ මෙසේ ය:

"ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලෝකයට අවශ්‍යයි!"


Jill and I are keeping Pope Francis in our prayers and send our best wishes for his swift and full recovery. The world needs Pope Francis.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය