වසර 10කට පසු සුදොතුම් පියතුමා යළිත් යොවුන් සිපිරි ගෙදරට. හැරමිටි වාරුවෙන් පාද දෝවන මෙහෙය කරයි- "අපේ අභ්‍යන්තරය දැක ජේසු සමිඳුන් කම්නයට පත් වන්නේ නැහැ." (වීඩියෝ)

Ten years  later, Pope returns to Rome's  youth prison for Holy Thursday



(2023 අප්‍රේල් 09)

2023 මහ බ්‍රහස්පතින්දා "සමිඳුන් ගේ අන්තිම රාත්‍රී භෝජන සැමරුම් මහ ස්තෝත්‍ර යාගික මෙහෙය"  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  විසින්  පවත්වන ලද්දේ මීට වසර 10කට පෙර එතුමා එය පවත්වන ලද රෝමයේ බාල අපරාධකරුවන් ගේ සිර ගෙදර ය. 

2013 මහ බ්‍රහස්පතින්දාව යෙදී තිබුණේ  එතුමන් පාප් පදවියට තේරී පත් වී දින 15කට පසුවයි. මෙතෙක් කිසිදු පාප් වහන්සේ නමක් නො කල දෙයක් කරමින් එතුමා මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාව සහ පාද දෝවන මෙහෙය පැවැත්වීමට තෝරා ගත්තේ රෝමය තදාසන්නයේ පිහිටි කාසල් දෙල් මර්මෝ නව යොවුන් අපරාධකරුවන් ගේ සිරගෙදරයි. වයස අවුරුදු 14-25 අතර සිරකරුවන් සිය දඬුවම් විඳින මේ සිපිරි ගෙයට ගිය එතුමා ඔවුන් සමග සමිඳුන් ගේ අන්තිම රාත්‍රී භෝජන මහ සැමරුම සිදු කරමින් සිරකාර යෞවන යෞවනියන් 12 දෙනෙකු ගේ පාද දෝවනය කළේය. 

හරියටම ඊට වසර 10කට පසුව එතුමා යළිත් මහ බ්‍රහස්පතින්දා සැමරුමට එම සිපිරි ගෙදරට ම ගියේ ය. සැමරුම් ස්තෝත්‍ර යාගික මෙහෙය පවත්වන ලද්දේ එම සිරගෙදර ඇති පුංචි පල්ලියේ ය. 

පාද දෝවනය සඳහා රැඳවියන් 12 දනෙකු තොරාගෙන තිබූ අතර තරමක් උස වේදිකාවක් මත ඔවුනට අසුන් පනවා තිබිණි. එසේ කරන ලද්දේ සුපුරුදු ලෙස  ඔවුන් ඉදිරියේ දණ ගසාගෙන පාද  දෝවන මෙහෙය සිදු කිරීමට තරම් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ශාරීරික සෞඛ්‍යය දැන් අවසර නො දෙන නිසා ය. එතුමා දණිස් අමාරුවෙන් සහ ශියාටිකා රෝගයෙන් පීඩා විඳින අතර ඉකුත් සතියේ බ්‍රොන්කයිටීස් ආසාදනය හේතුවෙන් එතුමාට රෝහල් ගත වන්නට ද සිදු විය.  

එහෙත් "ගත දුබල  නමුත් සිතින් සබල" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  සිය කෙටි ධර්ම දේශනයෙන් පසුව  සිය  හැරමිටියෙන් වාරු ගනිමින් සූදානමින් සිටි  දොළොස් දෙනා  වෙත පැමිණ, එකිනෙකා ගේ පාද දෝවනය කර (ජේසු සමිඳුන් කළා සේ ම) පිස දමා,  සිප  ගෙන ඔවුන් දෙස බලා සිනා සී ප්‍රේමයෙන් සිය අත ඔවුනට දෙමින් එම මෙහෙය ගාම්භීරව සිදු කළේ ය, (වීඩියෝව බලන්න) 



ප්‍රේමයේ උදාර ගුණය 

ලියූ පිටපතකින් තොරව දිව්‍ය පූජාවේ  සිය ධර්ම දේශනය කල සුදොතුම් පියතුමා සිය අන්තිම රාත්‍රී භෝජනය අවස්ථාවේ ජේසු සමිඳුන්  සිය අපෝස්තුලු වරුන් ගේ පාද දෝවනය කිරීමේ අරුත සිරකාර නව යෞවන යෞවනියන්ට  පහදා දුන්නේ ය. 

"ගෙදරට පැමිණෙන්නන් ගේ  පාද දෝවනය ඒ කාලයේ සිරිතක් වී තිබුණා," එතුමා කීවේය. "එහෙත් පාද දෝවනය කළේ කවුද ? වහලුන්." 

"ජේසු සමිඳුන් මේ දේ කළේ ඊට පසු දා (මහා සිකුරා දා ) සිදුවන්නට යන දේ ගැන සිය ශ්‍රාවකයන්ට ඉඟියක් දෙන්නටයි. කුරුසියේ මරණය ගැන ඔවුනට අවබෝධයක් දෙන්නටයි." 

"අද මේචාරිත්‍රයෙන් අපට ඉගෙන ගන්නට තිබෙන්නේ එකිනෙකාට උදව් කරගන්නා ආකාරයයි. එය හුඟක් සුන්දර දෙයක්. මේ චාරිත්‍රය ඇතුළු දිව්‍ය පූජා සැමරුමෙන් ජේසු අපට එක වැදගත් දෙයක් උගන්වනවා: එනම් හදවතේ උදාරත්වය යි," සුදොතුම් පියතුමා පහදා දුන්නේ ය. 



"පාද දෝවනය අවස්ථාවේ - මම බලාපොරොත්තු වෙනව  ඔබ ඉන්න තැනට එන්න මට පුළුවන් වේවි කියල. මොකද මට හොඳ ඇවිදින්න බැහැ. - පාද දෝවනය කරන මොහොතේ මෙහෙම හිතන්න: ජේසු මගේ පාද දෝවනය කළා. ජේසු මා ගලවා ගත්තා. එහෙම සිතන්න," යි එතුමා යෞවනයන් ගෙන් ඉල්ලා සිටියේ ය. 

"සමහර විට ඔබ අතරින් යමෙක් මෙහෙම  සිතාවි: 'මට මේ දුෂ්කරතාව තිබෙනව. මේ වැරැද්ද තිබෙනව,' කියල. ඒක ඉවත් ව යනවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග සිටිනවා. උන්වහන්සේ ඔබව අත්හරින්නේ නැහැ. එය සිතන්න." යි එතුමා ඔවුන්ගෙන් ඉල්ලුවේ ය. 

"අපේ ඇතුළාන්තයෙන් අපි කවුද යන්න ගැන ජේසු සමිඳුන් පුදුමයට, කම්පනයට පත් වන්නේ නැහැ. මන්ද උන්වහන්සේ අප ගේ දුර්වලතා දන්නා නිසා. උන්වහන්සේ කිසි දා බිය වන්නේ නැහැ. මන්ද අප ගේ පාප වල වන්දිය උන්වහන්සේ ගෙවා ඇති නිසා. උන්වහන්සේට අවශ්‍යඅප කැටුව  යන්නටයි..."  

ඒ කෙටි  දේශනාවෙන් පසුව දොළොස්දෙනා වෙත හැරමිටියෙන්  ගිය සුදොතුම් පියතුමා  එම චාරිත්‍රය ඉටු කළේය. යෞවනයෝ 10 දෙනෙක්  ද යෞවන කාන්තා රැඳවියෝ  දෙදෙනෙක් ද  ඔවුන්  අතර වූ හ. 

මහ බ්‍රහස්පතින්දා, අප්‍රේල් 6 වැනිදා, සිපිරි ගෙදර පල්ලියේ පවත්වන ලද මේ දිව්‍ය ප්‍උජා යාගයට යෞවන රැඳවියන් 80 කට වැඩි පිරිසක්, ඔවුන් ගේ පවුල් වල සාමාජිකයන්, කාර්ය මණ්ඩලය සහ ජේලර් වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. මෙහෙයෙන් පසුව එතුමා සිරගෙදර ක්‍රීඩාගාරයේ දී ඔවුන් සුහදව මුණගැසුණේ ය. 




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය