ප්‍රැන්සිස් සසුන් පිය සමයට දස වසරයි! දයාවේ, සාංගමනිකත්වයේ, සහෝදරත්වයේ, දිළිඳු කමේ, සේවක - නායකත්වයේ දශකය ගැන විමසීමක්.

 

Ten Years of stunning Mercy, Inclusiveness and Servant-Leadership: An analysis of Francis Decade

2023 මාර්තු 13 වනදාට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම ධුරයට තෝරා පත්කරගනු ලැබ දස  වසරක් සපිරෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

(2023 මාර්තු 13)

දිනය 2013 මාර්තු 13 වන දා ය. රෝම පුරවරය.   වෙලාව රාත්‍රී අටට පමණ ඇත. 

පොද වැස්සක් වැටෙමින් තිබේ.

එහෙත් වැස්ස නොතකා රෝමයේ ඓතිහාසික ම ස්ථානයක් වන වතිකානයේ සාන්ත පීතර බැසිලිකා මහා දෙව් මැදුරට මුහුණලා ඇති චතුරශ්‍රය අතුරු සිදුරු නැතිව ජනයාගෙන් පිරී ඇත. ඒ ජනකාය අතර යෞවන යෞවනියන්, වයසක සිස්ටර්ලා බ්‍රදර්ලා පමණක් නොව අත දරුවන් වඩා ගත් තරුණ දෙමාපියෝ ද වෙති. ඒ සියල්ලන් ගේ නෙත් යොමුවී ඇත්තේ වතිකාන අපෝස්තලික  මාලිගා සංකීර්ණයේ සිස්ටයින් පල්ලියට ඉහලින් අහස දෙසට නැගී සිටින දුම් කවුළුව දෙසටය.

මේ සියල්ලන් බලා සිටින්නේ අද රාත්‍රිය නික්ම යන්නට පෙර පේදුරු තුමා ගේ නව අනුප්‍රාප්තිකයා තෝරාගනු ලබාවිදෝ කියාය. පේදුරු තුමන් ගේ අසුන ඒ වසරේ අනපේක්ෂිත ලෙස හිස් වූයේ සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ ඉසිඹු ලැබීමට තීරණය කල නිසාය. මේ කම්පනය ද මෙහි රැස්ව සිටි ජනකායේ මුහුණු තුළ නැත්තේ නොවේ. වස පුරා විවරව තිබූ රෝමයේ දෙව්මැදුරුවල තරුණ තරුණියන් ගේ සිට වයස්ගත වූවන් දක්වා දිවා රෑ යදිමින් සිටි බවට ද වාර්තා ලැබෙමින්  තිබේ. සිස්ටයින් දෙව්මැදුරේ දුම් කුලුන වෙත යොමු වූ නෙත්වල මහත් බලාපොරොත්තුවක් ද ගැබ්ව ඇත්තේ  ඒ නිසාය.

හිටි හැටියේ කොහේදෝ සිට ඉගිල ආ සුදු පරෙවියෙක් එම දුම් කුලුන මත වසයි. සියල්ලෝ ප්‍රීතිමත්ව, එහෙත් පුදුමයෙන් පරෙවියා දෙස බලා සිටිති. "ඌ කොහේ සිට ආවේ ද? මේ වෙලාවේ...?" ලොව විවධ දෙසින් පැමිණි මාධ්‍යවේදීන් ගේ රූපවාහිනි කැමරා ඒ දෙසට යොමුවෙයි.

කැනඩාවේ CBC TV ජාතික නාලිකාව රෝමයේ සිට මෙම සිද්ධිය සජීවීව ආවරණය කරන එක් ජාත්‍යන්තර මාධ්‍යයකි. එහි ජ්‍යෙෂ්ඨ වාර්තාකරු ප්‍රවීණ විචාරක   පීටර් මෑන්ස්බ්‍රිජ් මෙම විකාශයේ විස්තර විචාරක වගකීම් භාරව සිටියි.  කැනඩාවේ  ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ගෞරවයට පත් සන්නිවේදකයකු වන - සසුන් පිය වරණ දැහැන සමය තුළ වතිකාන ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රකාශක ලෙස ද ක්‍රියා කල - බැසිලියාන නිකායික තෝමස් රොසිකා පියතුමා සම්පත් දායකයකු ලෙස මෙම විචාරයට  එක්වෙයි. ඔවුන් ගේ නෙත් ද පරෙවියා දෙස යොමුවේ.

"මෙයා  කොහේ ඉඳලද ආවේ......" මෑන්ස්බ්‍රිජ්  තමාටම කියා ගනියි. පරෙවියා තවමත් කුලුන මතය. මෑන්ස්බ්‍රිජ්ට  සතුටු සිනහවක් පහල වෙයි. "මෙයා යන්නේ නැති පාටයි.... පියතුමෙනි මොනවද ඔබට හිතෙන්නෙ මේ පරෙවියා ගැන?" ඔහු විමසයි.

"පරෙවියා කියන්නෙ ශුද්ධාත්මයානන් ගේ සංකේතයනෙ ....." රොසිකා පියතුමා දැඩි විශ්වාසයකින්, සතුටු සිනහවක් ද සමග  පිළිතුරු දෙයි.

"ඒ කිව්වේ, ඔබ හිතනවද අපට සුබාරංචියක් ළඟ තිබෙනව කියල, නව පාප්තුමා ගැන?" මෑන්ස්බ්‍රිජ් යලි ප්‍රශ්න කරයි.

පියතුමාට යලි සිනහ පහල වෙයි. "ඇයි? ඔබ හිතනව ද එහෙම නොවේවී  කියල?" පියතුමා පැනයකින්ම පිළිතුරු දෙයි.

කොහේදෝ සිට ආ පරෙවියා හිටි ගමන් යළිත් කොහේටදෝ පියඹා යයි.

පොද වැස්ස හෙමින් තුනී වී යයි.  පාසල් වියේ දරු දැරියන් ගේ සිට වැඩිහිටියන් දක්වා සියල්ලෝ දුම් කුලුන දෙස නෙත් යොමා බලා සිටිති. බොහෝ දෙනෙකු අත ජපමාල ය.

තවත් මොහොතක් ගෙවී යයි.

හදිසියේම දුම් කුලුනින් දුමක් ! 

"කළු ද සුදු ද?" හැමෝම අසති. මුලින් නොපැහැදිලි වූ එම දුම පැහැදිලි සුදට හැරේ.

"අලුත් පාප් වහන්සේ  තේරිලා ....." සෑම  කෙනෙක් තුළම උද්දාමය  දොරේ ගලන්නට පටන් ගනියි.

ජනතාව ඔල්වරසන් දෙන්නට පටන් ගනියි.

එහෙත් දැන් මුළු ලෝකයම කුතුහලයෙන් වෙලී ගොස් තිබේ. ඒ, නව පාප් වහන්සේ ලෙස තේරී සිටින්නේ කවර කාදිනල් නමද යන ප්‍රශ්නය  කතෝලික-කතෝලික නොවන සමස්ත ලෝකය තුළම නලියන්නට පටන් ගෙන තිබෙන නිසා ය. ඒ නිසා දැන් ගතවන සෑම මිනිත්තුවක් ම දැනෙන්නේ කල්පයක් ලෙසය. අලුත් පාප්තුමා කව්ද? නව පාප්තුමා විය හැකි කාදිනල් හිමිවරුන් ගේ නම් කිහිපයක් ගැන පීටර් මෑන්ස්බ්‍රිජ් සඳහන් කරයි. ඒ අතර කැනඩාවේ කාදිනල් හිමි නමක්, ඉතාලියේ හිමි නමක් ද සිටිති. 

“එත්, ඒ කවුද කියල මට හරියටම හිතාගන්න බැහැ…” කැනඩාවේ “Salt+Light” කතෝලික TV  නාලිකාවේ ප්‍රධානියා ද වන රොසිකා පියතුමා තරමක් කල්පනාකාරීව කියයි.

මොහොතකින් සාන්ත පීතර බැසිලිකා සඳලු තලයේ දොර විවර වේ. කාදිනල් නමක් ඇරුණු දොරෙන් පිටතට පැමිණේ.

දස දහස් සංඛ්‍යාත ජනකාය මීයට පිම්බාක් මෙන් නිහඬ වෙයි.

“Annuntio vobis gaudium magnum; habemus Papam!”

"මම ඔබට ප්‍රීතිදායක ආරංචියක් ගෙන එමි. අපට පාප්තුමෙක් සිටියි" එතුමා ප්‍රකාශ කරයි. "ආජන්ටිනාවේ අතිඋතුම් හොර්හේ මාරියෝ කාදිනල් බෙර්ගෝලියෝ  ස්වාමීන්වහන්සේ පේදුරුතුමාගේ අනුප්‍රාප්තිකයා ලෙස තේරී පත්වී සිටින බව ද  එතුමා 'ප්‍රැන්සිස්' යන නම ගෙන ඇති බවද” එතුමා දැනුම් දෙයි.

ජනතාව අත්පොලසන් දෙති. එහෙත් ඒ අතරින් විමතියක් ද දක්නට ලැබේ. "කවුද මේ  බෙර්ගෝලියෝ?" සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ ඉසිඹු ලැබීමෙන් පසු පාප්වහන්සේ ලෙස තේරී පත්වනු ඇතැයි විශේෂඥයන්  අනාවැකි කී කාදිනල් ලේඛනයේ හෝ, නව පාප් වහන්සේ වෙනුවෙන් ඔට්ටු දැමූ එංගලන්තයේ සූදු පොලවල හෝ 'බෙර්ගෝලියෝ ' නම අහලකටවත් පැමිණ තිබුනේ නැත. "කවුද මේ බෙර්ගෝලියෝ ....?" ප්‍රීතිය අතරින්  කුතුහලය ජනතාව නොඉවසිලිමත් කරයි.

තවත් මිනිත්තු දහයකින් පමණ සඳලු තලයේ දොර යලිත් විවර වේ. කුරුස ප්‍රතිමාව පෙරටු කරගෙන කාදිනල් හිමිවරු දෙදෙනෙක් පැමිණෙති.

පියතුමකු සේ සුදෝ සුදු ලෝගුවක් ඇඳි කෙනෙක් ඔවුන් මැදින් එති. ඒ නව පාප්තුමා ය.

සුදු ලෝගුවක් පමණක්? උන්වහන්සේට වැරදිලාද? වෙනත්  කාට හෝ වැරදිලාද? අමතක වෙලාද?




"නව පාප් වහන්සේ... ප්‍රැන්සිස්... සුදු ලෝගුවෙන් පමණක්? මොකක් ද මේ වෙනස?" CBC රූපවාහිනියෙන් විස්තර ගෙනෙන තෝමස් රොසිකා පියතුමා පුදුමයෙන් කියයි. "ඇයි ? මොකක්ද වෙනස පියතුමා?" මෑන්ස්බ්‍රිජ් විමසයි. 
“පාප් වහන්සේලා ප්‍රථම වරට ජනතාව ආසිරි ගන්වන්න එන්නෙ එතුමන් ගේ උත්සවාකාර ආයිත්තම් පැළඳගෙන. ඊට අයත් රක්ත වර්ණ මොසෙට්ටාව (උරස් පෙදෙස වැසෙන සේ සුදු ලෝගුවට උඩින් පළඳින සළුව)  ඒ වගේම   ඊට යටින් පළඳින රොචේට්ටාව (දනිස් දක්වා දිග ධවල වර්ණ සිනිඳු සළුව; පියතුමන්ලා මෙහෙයන්හිදී අඳින  'සුප්ලිසය' නම් සලුවට සමානය)  එතුමන් පැළඳගෙන නැහැ.  බැලූ බැල්මට මීසම් සේවක පියතුමෙක් වගෙයි.” පියතුමා විමතියෙන්  විස්තර කරයි. “මට මේ ගැන මොකුත් හිතා ගන්න බැහැ ..."
එතුමන් පාප් වහන්සේ බව සනාථ වන්නේ හිස පළඳින සුදු පැහැති සුකෙට්ටෝව (හිස මැද පළඳින 'හිස්වැස්ම') මගින් පමණය.

නව පාප් වහන්සේ (ඒ මොහොතේ බොහෝ දෙනෙකු හැඳින්වූයේ 'පළමුවන ප්‍රැන්සිස්' යනුවෙනි) සඳලු තලය ඉදිරිට පැමිණ සිට ගනිති. එතුමා එතැන සිට ගෙන බලා සිටිති. සාන්ත පීතර චතුරශ්‍රය වසාගෙන සිටින මහා ජන රාශිය දෙස ඇසි පිය නොහෙලා, කතා නැතිව  බලා සිටිති. තත්පරයෙන් තත්පරය ගත වෙයි. නව පාප්තුමා  නිහඬය. හාත්පස නිහඬය.

නිහඬතාව දරාගත නොහැකිය. "අනේ ! මොනවා හරි කියන්න!" රොසිකා පියතුමා නොඉවසිල්ලෙන් මෙන් කියයි.

තවත් තත්පරයක්  ගෙවෙයි.

"බෝනා සේරා!" (සුබ සැන්දෑවක් වේවා!) නව පාප් තුමා ඉතාලි බසින් ප්‍රථම වරට ජනතාවට සුබ පතයි. මුළු චතුරශ්‍රයම දැවැන්ත අත්පොලසන් හා ප්‍රීතිඝෝෂා නාදයකින් ගිගුම් දෙයි.

"හොඳටම වෙනස්! හොඳටෝම වෙනස්!" රොසිකා පියතුමා මහා හඬින් සිනාසෙමින් CBC රුපවානිය ඔස්සේ කියයි. "මොකක්ද වෙනස? මේ සුබ පැතුම වැරදිද?" මෑන්ස්බ්‍රිජ් යළිත්  විමසයි. "සුබ පැතුම වැරදි නැහැ. ඒත් සම්ප්‍රදාය ඒක නොවයි. ඒක පාප් වහන්සේලා ගේ සාම්ප්‍රදායික සුබ පැතුම නොවෙයි...." පියතුමා පිළිතුරු දෙමින් සිනාසෙයි. “මට හිතෙන්නෙ එතුමා වෙනස් මගක යන්න හදනව කියල…ඇඳුමින් වෙනස්...සුබ පැතුමින් වෙනස්...මහා බලාපොරොත්තුවක්….!”

ප්‍රීති ඝෝෂාව මඳක් තුනී වෙද්දී  නව පාප්තුමා- ප්‍රැන්සිස් පාප් වහන්සේ - යළිත් සිය හඬ අවදි කරති.

"සහෝදර සහෝදරියනි, සසුන් පිය වරණ දැහැනේ වගකීම වුණේ රෝමයට රදගුරු තුමකු දීම. බලන්න! රෝමයේ නව රදගුරුතුමාව සොයා ගන්න මගේ සහෝදර කාදිනල් හිමිවරු ගිහින් තිබෙන දුර. උන්වහන්සේලා ලෝකයේ කෙළවරටම ගිහින් රෝමයට  රදගුරුතුමකු  සොයා ගන්න…..ඔබ මාව පිළිගත්තාට ස්තුතියි. රෝම පදවියේ ජනතාවට දැන් රදගුරුතුමකු සිටිනවා...මුලින්ම මම කැමැතියි - සොළොස්වන බෙනඩික්- අපගේ හිටපු රදගුරු තුමන් වෙනුවෙන් යාච්ඥාවක් ඔප්පු කරන්න...සමිඳුන් එතුමන් ආශීර්වාද කරන ලෙසත් දේව  මෑණියන් එතුමන් ආරක්ෂා කරන ලෙසත් ඉල්ලා අපි හැමෝම එක්ව යාච්ඥා කරමු. "

විශ්‍රාමික පාප් වහන්සේ වෙනුවෙන් පරමණ්ඩලයක්, නමෝ මරියක්, ත්‍රිත්ව ස්තෝත්‍රයක් යදින්නට නව පාප් වහන්සේ නායකත්වය දෙයි. 

නව ශුද්ධෝත්තම පියතුමා යළිත් කතා කරයි. 

"මම දැන් ඔබව ආසිරි  ගන්වනවා. ඒත් ඊට කලින්, මම ඔබෙන් උදව්වක් ඉල්ලනවා. රදගුරුතුමා ඔබව ආශීර්වාද කිරීමට පෙර මට ආශීර්වාද කරන ලෙස ස්වාමීන් වහන්සේට යාච්ඥා කරන්න කියා මා ඔබෙන් ඉල්ලනවා. අපි නිහඬව මේ යාච්ඥාව කරමු. ඔබ මා වෙනුවෙන් කරන යාච්ඥාව …

ඊළඟට එතුමා කිසිවෙකුත් නොසිතූ දෙයක් කරයි. එනම් නිහඬව, දෑස් පියාගෙන, රැස්ව සිටින ජනතාව දෙසට හිස නමා ගැනීමයි. මේ කිසිවක් සම්ප්‍රදායේ නැත.  පාප් වහන්සේ ජනතාව ගේ ආශීර්වාදය ඉල්ලන්න !



දස දහස් සංඛ්‍යාත ජනකාය මොහොතකට දැහැන් ගතවෙයි. නිශ්ශබ්ද වෙයි.මීයට පිම්බාක් මෙන් නිහඬ  වෙයි. ජනතාව අතරින් බොහෝ දෙනෙකු ගේ නෙතගින් කඳුළු ගලා යනු රුපවාහිනී සමීප රූප වලින් දක්නට ලැබේ.

ඉන්පසුව නව පාප් වහන්සේ "නගරයටත් ලෝකයටත් සිය ආශීර්වාදය" (Urbi et Orbi) දානය කරති.

"ඔබ මෙහි පැමිණ මෙතෙක් වෙලා බලා සිටීම ගැන ඔබට ස්තුතියි! දැන් හුඟක් රෑ බෝ වෙලා.  ගෙවල් වලට යන්න. ගිහින් හොඳ රාත්‍රී ආහාරයක් ගන්න." ප්‍රැන්සිස් පාප් වහන්සේ සිනහවකින් යුතුව ජනතාවට කියති. එතුමා ඊට තවත් අලුත් ඉල්ලීමක් එක් කරයි:

"මා වෙනුවෙන් යාච්ඥා කරන්න...."

***************************

මීට වසර දහයකට   පෙර මාර්තු 13 වනදා රාත්‍රියේ වතිකානයේ සිදු වූ සිද්ධි මාලාවයි ඒ .

ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ තේරී පත්වීම බොහෝ දෙනෙකු අපේක්ෂා නොකළ එකක් විය. කාදිනල් මණ්ඩලය සිස්ටයින් දෙව්මැදුරට ඇතුළුවන විට ‘පේපබිලි’ හෙවත් පාප්ධුරයට පත්විය හැකියැයි නම් කියවුණු හිමිවරුන් අතර එතුමා ගේ නම සඳහන් වූයේ ම නැත. මේ නිසා එතුමා ගේ තෝරාගනු ලැබීම විශ්මිතය. 

මේ විශ්මිත බවට රහසක් තිබේද?

ඒ ගැන භාවනා කරන විට අන්‍ය ලබ්ධිකයෙකුව සිට, වැඩිහිටියකු වීමෙන් පසුව  විශ්වාසය හා අවබෝධය නිසාම  කිතු දහම වැළඳගත් මිතුරෙකු මට කී කතාවක්  සිහිපත් වෙයි. 
 
සිස්ටයින් දෙව්මැදුරට ප්‍රථම වරට ගොස් එය දැක බලා ගැනීමේ  භාග්‍යය මේ යාළුවාට හිමි විය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තේරී පත්වීමෙන් පසුව ඔහු  මේ ලියුම්කරු සමග ඒ ගැන ඔහු ගේ අදහස බෙදා ගත්තේ ය:  “සිස්ටයින් දෙව්මැදුරේ එක පැත්තකින් මයිකල් ආන්ජලෝගේ මිනිසා මැවීමේ  දැවැන්ත සිත්තම. අනෙක් පැත්තෙන් ඔහුගේ ම  අවසාන  තීන්දුව මහා සිත්තම. මේ  මහා ජීවමාන සිතුවම් දෙකට මැදි වූනාම  ලෞකික දේශපාලනයයි  සභාවේ  දේශපාලනයයි දැවී යනවා. මට දැනුනු විදියට, එතැන හමා යන්නේ ශුද්ධාත්මයානන් ගේ සුළඟයි හුස්මයි  පමණයි. ක්‍රියාත්මක වෙන්නෙ උන්වහන්සේගේ අනුහස පමණයි. ….”

ශාන්ත අසීසියේ ප්‍රැන්සිස් සහ සුදොතුම් පිය ප්‍රැන්සිස් 

අසීසියේ ශාන්ත ප්‍රැන්සිස් තුමා සමකාලීන සභාවට දැඩි අභියෝගයක් එල්ල කළේය. එය කාලීන වෙනසක් මෙන්ම සුබ අස්න  මත පදනම් වූ රැඩිකල් වෙනසක් සඳහා වූ අභියෝගයකි. එම අභියෝගය එතුමනට දුන්නේ අසීසියේ ගරා වැටුණු සන් දමියානෝ පල්ලියේ කුරුසියේ එල්ලී සිටි ජේසු සමිඳාණන් මය. “Francis, rebuild my Church!" තරුණ ප්‍රැන්සිස් මුලින් සිතුවේ එය ගරා වැටුණු සන් දමියානෝ දෙව්මැදුර (church) යළි ගොඩනගන්නට කළ කැඳවීමක් ලෙස ය. එහෙත් එය ඉන් ඔබ්බට ගොස් ඒ වන විට ආධ්‍යාත්මිකව සහ දැක්ම තුළ  ගරා වැටී තිබූ සභාව ද (Church)  පිළිසකර කිරීමේ කැඳවීමක් හා අභියෝගයක්  වූයේය. 

එම සාන්තුවරයා ගේ නම සිය පාප් ධුරයේ නම ලෙස යොදාගත්  බෙර්ගෝලියෝ කාදිනල් තුමා තමාට ද ලැබුණේ එවැනිම කැඳවීමක්ය යන්න විශ්වාස කරන බව  සසුන්වේද සහ වතිකාන විචාරකයන් එදත් අදත් දරන මතයකි.  

ඒ බව එතුමා තෝරා  පත්කරගනු ලැබූ රාත්‍රියේම එතුමා පෙන්නුම් කල බව සසුන් පිය වරණ දැහැන (conclave) සිදුවූ අවස්ථාව ගැන ලියැවුණු පත පොත වාර්තා කරන අතර එහි සිටි කාදිනල් හිමිවරු එය සනාථ කරති.  මේ මොහොතේ ඒ සිදුවීම් ආවර්ජනය කිරීම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අඳුනා ගැනීමට මහෝපකාරී වනු ඇත.

සිස්ටයින් පල්ලිය තුළ සිදුවීම්


එදින රාත්‍රියේ ඡන්ද විමසීමෙන් බුවනෝස් අයරෙස් අගරදගුරු හොර්හේ බෙර්ගෝලියෝ කාදිනල් හිමි සසුනිසුරාණන් වීමට අවශ්‍ය තුනෙන් දෙකක් සහ එකක් ඡන්ද ලබා ගැනීමෙන් පසුව ඡන්දයේ කටයුතු නීත්‍යානුකුලව අවසන් කෙරිණි. ඉන් පසුව කාදිනල් පර්ෂදයේ සහායක නායක කාදිනල් ජියෝවන්නි බැප්ටිස්ටා රේ හිමි බෙර්ගොලියෝ හිමි අසුන් ගෙන සිටි තැන වෙත පැමිණියේ ය. 


“Acceptasne electionem de te canonice factum in Summum Potificem ?” එතුමා බෙර්ගෝලියෝ හිමියන්ගෙන් විමසුවේ ය. එනම් “සසුනිසුරාණන් ලෙස ඔබ ලැබූ ශාසනික තේරී පත්වීම ඔබ පිළිගන්නවා ද?” යන්නයි.


සාම්ප්‍රදායික ලෙස නව පාප්තුමන් ඊට දිය යුතු පිළිතුර “Accepto” එනම් “පිළිගනිමි” යන්නයි. එහෙත් කාදිනල් බෙර්ගෝලියෝ හිමි ඊට මෙසේ පිළිතුරු දුන්නේ ය. 


මම විශාල පව්කාරයෙක්. දුක්විඳීම තුළ දෙවියන් වහන්සේ ගේ දයා කරුණාව සහ ඉවසීම කෙරෙහි විශ්වාස කරමින් මම එය පිළිගනිමි.” 


“Quo nomine vis vocari?” “ඔබ ගන්නේ කවර නම ද?”


“Vocabor Franciscus”  “මට ප්‍රැන්සිස් යනුවෙන් ආමන්ත්‍රණය කරනු ඇත.” 


මේ නම ඇසෙද්දී  කාදිනල් හිමිවරු ප්‍රීතියෙන් අත්පොළසන් දුන්හ. 


එහෙත් මෙතෙක් කිසිදු පාප් තුමකු 'ප්‍රැන්සිස් 'යනුවෙන් හඳුන්වනු ලැබ නොතිබිණි. “මේ නමේ අර්ථය කුමක් ද?” යැයි කිහිප දෙනෙකුට ම නොසිතුනා නොවේ.


ඊට පිළිතුර අවබෝධ කර ගැනීමට කාදිනල් හිමිවරුනට එතරම් වෙලාවක් ගියේ නැත. 


පාප් තුමන් ගේ ජනවන්දනා තේවා ප්‍රධානි (Master of Ceremonies) ගුයිදෝ මාටිනි මාහිමි නව පාප් තුමා සිස්ටයින් පල්ලියේ ඉහළ පූජාසනයට වම් පසින් පිහිටි  කුඩා සංක්‍රිස්ති කාමරය වෙත කැටුව ගියේය. “කඳුළු කාමරය” යන විරුදයෙන් හැඳින්වෙන්නේ මේ දෙව් පුද ඇඳුම් කාමරය ය.


කාමරයේ ගරාදියක, ප්‍රමාණ තුනකින් එල්ලා තිබුණු පාප් තුමන් ගේ නිල ඇඳුම වන ධවල ලෝගු, ඊට ඇතුළු වූ බෙර්ගෝලියෝ කාදිනල් තුමා දුටුවේ ය. ඒ අසල තැනෙක ප්‍රමාණ පහකින්  සාදන ලද රක්ත වර්ණ පාවහන් යුගල පහක්, විවෘත කර තිබූ පෙට්ටි වල බහා සියුම් ටිශියු වලින් වසා තිබිණි.


කාදිනල් ධුරයේ ඇඳුම් උනා ලූ බෙර්ගෝලියෝ කාදිනල් තුමා ධවල ලෝගු අතරින් තමාට ගැලපෙන ලෝගුව රැගෙන ඇඳ ගත්තේ ය. අනතුරුව මාටීනි මාහිමි, මෙතෙක් පාප් වහන්සේලා පැළඳි, මොසෙට්ටාව හෙවත් වැලමිට දක්වා දිවෙන රක්ත වර්ණ වෙල්වට් කාප්පය ඇතුළු අතිරේක රාජකීය පලඳනා නව පාප් තුමන් වෙත පිරිනැමුවේ ය.


"ඒවා නොපැළඳ ඉන්න මං වඩා කැමතියි මොන්සින්ඥෝර්" නව පාප් තුමා කාරුණිකව පිළිතුරු දුන්නේ ය.


පාප් වහන්සේ නමක් පළඳින වටිනා මිණි මුතු එබූ රන් මුවා කුරුසිය ඒ  අසල තිබුණේ ය. එහෙත් බෙර්ගෝලියෝ කාදිනල් තුමා ඒ වෙතින් සිය නෙත් ඉවතට ගෙන බුවනෝස් අයරෙස් පදවියේ සහයක රදගුරු තුමන් සමයේ සිට මේ දක්වා සිට පැළඳි පාට ගැසුණු පරණ කුරුසිය රැගෙන කර වටා පැලඳ ගත්තේ ය.


ඊළඟට මාහිමියන් ගේ සහායකයෙක් ප්‍රැන්සිස් නව පාප් තුමන් ගේ අවධානය යොමු කලේ රක්ත වර්ණ පාවහන් වෙතට ය. කලක් අවධානයෙන් ඉවත් ව තුබූ රක්ත වර්ණ පා වහන් පැලඳීමේ සම්ප්‍රදායට යළි පණ පොවන ලද්දේ සොළොස්වන බෙනඩික් පාප් තුමන් විසිනි. පාප් වහන්සේලා රක්ත වර්ණ පාවහන් පළඳින්නට පටන් ගත්තේ බයිසන්තියානු යුගයේ  සිට ය. එම යුගයේ රත් පැහැ පාවහන් පළඳින්නට අවසර තිබුණේ පුද්ගලයන් තුන් දෙනෙකුට පමණි. එනම් අධිරාජයා, අධිරාජිනිය සහ පාප් වහන්සේ යන තිදෙනා ය. මාහිමියන් ගේ සහායකයා ගේ ආරාධනය පහන් සිතින් ඉවසූ  ප්‍රැන්සිස් නව පාප් තුමා, හිස නමා, තමා ඒ වන විටත් පැළඳගෙන සිටි, බුවනොස් අයරෙස් නුවර සිට තමා ගේ බර දරා ගත් අර ගෙවී ගිය සපත්තු දෙක දෙස බැලුවේය. "මේ දෙක මට හොඳයි.." එතුමා කීවේ ය.


කාදිනල් බෙර්ගොලියෝ හිමි ගේ මේ "පරණ සපත්තු දෙක" රෝමයට දාගෙන යන්නට සුදුසු නැති බව සිතූ බුවනොස් අයරෙස් ආසන දෙව්මැදුරේ තරුණ පියවරු දෙදෙනෙක් එතුමාට අලුත් සපත්තු දෙකක් මිලදී ගෙන දෙන්නට ගත උත්සාහයක් ද එතුමා ප්‍රතික්ෂේප කල බව බොහෝ දෙනෙක් දන්නේ නැත. එසේ බලන විට බුවනෝස් අයරෙස් පදවියට වගේ ම රෝමයේ ඇඳුම් කරුවනට ද බෙර්ගොලියෝ කාදිනල් තුමාගේ සරල බවින් සහ බැහැපත් කමින් එතුමන් වෙනස් කිරීමට නොහැකි විය. ඒ වෙනුවට, මහේශාක්‍ය බවින්, සරුව පිත්තල ආටෝප වලින් තොර, නාසරෙතයේ ජේසුස් තරුණයා ගේත් ඔහු ගේ අග්‍ර ශ්‍රාවකයා වූ පේදුරු නම් ධීවරයා ගේත් පරපුරේ සැබෑ සේවක-නායකත්වයක අරුණෝදය ඔව්හු මේ වෙනස තුළ අත්දුටහ.  


නව පාප් වහන්සේ - ප්‍රැන්සිස් - කඳුළු කුටියේ සිට සිය භාරදූර වගකීමට සැරසෙන අතර කාදිනල් හිමිවරු සාලා ක්ලෙමන්තිනා ශාලාවේ පෙළ ගැසෙන්නට වූහ. ඒ, නව පාප් වහන්සේට සුබ පැතීමට සහ සිය කීකරු කම ප්‍රකාශ කිරීම සඳහා  ය.


ටික වෙලාවකින් නව පාප් වහන්සේ සිය සරල, අල්පෙච්ඡ ලෝගුවෙන් එහි පැමිණෙනු ඔවුනට දැකගන්නට ලැබිණි. 


ශාලාවට පැමිණි එතුමා කාදිනල් හිමිවරුන් ගේ සුබ පැතුම් පිළිගන්නට පටන් ගත්තේ ය. එතැනදී ද කාදිනල් වරුනට "ප්‍රැන්සිස්" නමේ සහ එය පිළිගත් පුද්ගලයා ගේ අසම සම අනන්‍යතාව පැහැදිලි වන්නට විය.


සාම්ප්‍රදායික ලෙස සසුනිසුරු බලය ප්‍රදර්ශන වන සියලු සංකේත භාවිත කිරීම නව පාප් වහන්සේ අත්හැර ඇති බව ඔවුනට පැහැදිලි විය. සාම්ප්‍රදායික ලෙස රාජකීය ආසනයේ රජකු සේ අසුන් ගෙන කාදිනල් හිමිවරුන් ගේ සුබ පැතුම් පිලිගන්නවා වෙනුවට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කළේ සිටගෙන ම ඔවුන් ගේ දෑත් සිය දෝතට ගෙන සුබ පැතුම් සහ කීකරු කම පිළිගැනීම  ය. අවම වශයෙන් එතුමා පීඨිකාවක් මත වත් සිට ගෙන සිටියේ නැත. එතුමා සිටියේ කාදිනල් හිමිවරුනට සමානව එම ශාලාවේ බිම මත සිටගෙන ය. ඊට අමතරව, එතුමා කාදිනල් හිමිවරුනට  ඇමතුවේ "කාදිනල් ස්වාමීන් වහන්සේ" (Lord Cardinal) ලෙස නොවේ. "සහෝදර කාදිනල් වරුන්" (Brother Cardinals ) ලෙස ය. එතුමා ඔවුන් සහෝදරත්වයෙන් වැළඳ ගනිමින් ඔවුනට ආචාර කළේය. ඉඳ හිට කාදිනල් තුමකු එතුමා ගේ මුද්ද සිපාචාර කිරීම සඳහා  එතුමන් ඉදිරියේ හිස පහත්  කර දණ ගැසුවේ ය. එ විට එතුමා ද පෙරළා හිස නමා ආචාර කර එම කාදිනල් වරුන් ගේ මුද්ද සිපාචාර කළේ ය. මේ සියල්ලෙන්  එතුමා සංකේතවත් කළේ  කුමක් ද? “අතීතයේ පැවති වැඩවසම්  අධිකාරිවාදී ආකෘතිය අවසන්ව තිබේ. සේවාවේ සහ සමානයන් අතර නායකයා වීමේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමු,” යන්න ය.  


මෙසේ ආරම්භ වූ සේවක-නායක කැපවීමේ ඉකුත් දස වසර තුළ සිදු වූ වෙනස කුමක්ද?  


ලෝකය පිලිබඳ දැක්ම 

සියල්ලන් - ආගමික, ජාතික, උතුරු-දකුණු වෙනස්කම් නොතකා සියල්ලන් - සහෝදරයන් ලෙස සලකන ප්‍රේමයේ සහ සහ දයා කරුණාවේ නව ලෝක රටාවකට එතුමා සමස්ත ලෝකය අභියෝග කරමින්   සිටියි. එසේම මානව ප්‍රජාව ගේ ක්‍රියාකාරකම් නිසාම -මුදලට ඇති කෑදරකම, අසීමිත වූ පාරිභෝගිකවාදී ජීවිත ශෛලිය සහ නාස්තිය ඇතුළු විනාශකාරී රටා  නිසා - විනාශ වෙමින් පවතින  "අපේ පොදු නිවහන" වන මිහිතලය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරදීමේ වැදගත් කම එතුමා අවධාරණය කරයි. එතුමාගේ "වේ ප්‍රශංසා" සහ "සියල්ලෝ සොහොයුරෝ" විශ්ව ලේඛන වලින් ගෙන එන පණිවිඩය එයයි. එය සාක්ෂාත් කරගන්නට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  ප්‍රායෝගිකව උත්සාහ දරමින් සිටියි. 

විශේෂයෙන් ම ඉස්ලාම් ජනතාව වෙත සහෝදරත්වයේ දෑත් දිගුකරයි. ඊජිප්තුවේ ඉස්ලාම් නායක අහ්මඩ් එල්-ටයෙබ්  අග්‍ර ඉමාම් තුමා  සමග මේ වන විට එතුමා ඒ මාවතේ  සෑහෙන දුරක් සභාව ගෙන ගොස් තිබේ. වර්තමාන ඉරාකයේ පිහිටි ආබ්‍රහම් ආදි පිතුරු තුමන් ගේ ගම වන ඌර් වෙත ගිය සුදොතුම් පියතුමා එහිදී ජුදෙව්, කිතුනු, මුස්ලිම් එකමුතු යැදුමකට එක්විය. " "සිය නෙත් අහස (ස්වර්ගය) වෙත ඔසවා එහි තාරකා ගණන් කරන්නැයි දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කී සේක. ඒ තාරකා  තුළ ඔහු සිය පරපුර පිලිබඳ පොරොන්දුව දැක්කේ ය. ඒ තාරකා තුළ ඔහු දැක්කේ අපව ය." යි  එතුමා එහි දී කියා සිටියේ ය. එහි අදහස , "අපි එක තාත්ත කෙනෙකුගෙ දරුවෝ. මේ ගැටෙන්නේ මොනවා බෙදා ගන්නද?" යන්නයි. ගැඹුරින් සිතා බලන විට  මේ "තාත්තා" ආබ්‍රහම් ම නොවේ. ජේසු සමිඳුන් "ඔබේ පියාණන්" ලෙස හඳුන්වා දුන් ආබ්‍රහම් ගේ දෙවියන් වහන්සේ ය. 

මේ හැරුණු කොට සියලු ආගම් කෙරෙහි සභාවේ ඉගැන්වීම "සියල්ලෝ සොහොයුරෝ" හි  එතුමා මෙසේ විස්තර කරයි: 
“දෙවියන් වහන්සේ අනෙකුත් ආගම් තුළ ක්‍රියා කරන මාර්ග කෙරෙහි සභාව ගෞරවයෙන් සිය සැලකිල්ල යොමු කරයි. මේ අනුව එම ආගම්වල පවතින සත්‍ය වූත් ශුද්ධ  වූත් දේ සභාව ප්‍රතික්ෂේප නොකරයි. සියලු මනුෂ්‍යයන් ගේ ජීවිත ආලෝකවත් කරන එම සත්‍යයේ ආලෝක කිරණ බඳු   එම ආගම්වල ජීවිත මාර්ගය සහ පැවැත්ම, ඒවායේ ඉගැන්වීම් සහ ශික්ෂාපද කෙරෙහි සහාව ගෞරව සම්ප්‍රයුක්තව සලකයි.” 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා යුද්ධය එකහෙලා ප්‍රතික්ෂේප කරයි. යුද්ධයකට යන්නට පෙර සංවාදයෙන් ප්‍රශ්න විසඳා ගත හැකි ආකාරය එතුමා "සියල්ලෝ සහෝදරයෝ" හි විස්තර කරයි. 


සභා ප්‍රතිසංස්කරණ 

2013 මාර්තු මාසයේ නව සසුනිසුරාණන් තෝරා පත්කරගන්නා විට ලොව පුරා ජනතාවත් කාදිනල් හිමිවරුනුත් නව පාප්  වහන්සේගෙන් බලාපොරොතු වූ මූලික වගකීම්  කිහිපයක් තිබිණි. පුදැදුරු අධිපතිවාදය තුළ සිරවී සේවාව කරන්නට නොව සේවාව ලබන්නට හැඩගැසී තිබුණු වතිකාන පරිපාලනය ප්‍රතිසංස්කරණය කිරීම සහ ඒ ඔස්සේ සභාව නවෝදාවක් උදා කිරීම, වතිකාන බැංකුව කේන්ද්‍ර කරගත් මුල්‍ය දුෂණ පිටු දැක මුල්‍ය විනයක් ඇති කිරීම, ඒ වන විට සභාවට එල්ල වූ පුදැදුරු ළමා අපචාර සම්බන්ධයෙන් දැඩි විනයක් ඇති කිරීම සහ නව යුගයේ ධර්මදානය වෙත සභාව යොමුකිරීම ඒ අතරින් ප්‍රමුඛ වී තිබිණි. 

 
කියුරියාව හෙවත් සභාවේ ඉහල ම පරිපාලනය 

දස වසර සම්පූර්ණ කරන විට ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා අතිශය වෙහෙසකර, කැපවුණු  ව්‍යායාමයකින්  පසුව මේ සියල්ල නිසි මගට ගෙන එන්නට සමත් වී සිටියි. එතුමා විසින් පත් කරනු ලැබූ කාදිනල් හිමිවරුන් ගේ "අටේ කණ්ඩායමේ" උපදෙස්, සාකච්ඡා, සංවාද, විවාද වලින් පසුව ලොව පුරා කතෝලික රදගුරු සමුළු වලද අනුමැතියෙන් සම්මත වූ රෝම කියුරියාවේ නව ව්‍යුහය දැන් ක්‍රියාත්මක ය. නව දැක්ම අනුව රෝම කියුරියාවේ දැක්ම ධර්මදානයයි. ඒ වෙනුවෙන් ලොව පුරා රදගුරු මණ්ඩල වලට "සේවාව කිරීම" එම පරිපාලනයේ වගකීමයි. 

වතිකානයට නව ආර්ථික දෙපාර්තමේන්තුවක් දැන් ක්‍රියාත්මකයි. යුරෝපා රටවල ක්‍රියාත්මක කෙරෙන දූෂණ මර්දන නීති රාමුවක් යටතේ එය ක්‍රියා කරයි. 

දූෂණ මර්දනය කිරීමේ නව පියවරක් ලෙස වතිකානයේ සියලුම දෙපාර්තමේන්තු, රදගුරු, කාදිනල් හිමිවරුන්  සතු සියලු දේපොළ "ජනසතු කිරීමේ" නව නීතියක් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙබරවාරි මාසයේ නිවේදනය කළේය. මේ අනුව වතිකානයේ පවතින සියලු දේපොළ වතිකාන රාජ්‍යය සතු වන්නේ ය. කිවෙකුට හෝ කිසිදු දෙපාර්තමේන්තුවකට කිසිදු පෙපොලක් පෞද්ගලිකව තබා ගත නොහැකිය. 

සාංගමනිකත්වය 

දෙවන වතිකාන කතිකාවේ දේව  වරප්‍රසාදීය ඵලයක් වූ "සාංගමනිකත්වය" හෙවත් (Synodality) "සිනොඩීය  භාවයේ " සහෝදරාත්මක බව ඔස්සේ සභාව පුබුදුවාලීම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ප්‍රයත්නය වී තිබේ. 

සාංගමනිකත්වය කතෝලික අපට අලුත් දෙයක් වුවත් පෙරදිග ඕතඩොක්ස් සභාවල සහ ප්‍රොතෙස්තන්ත සභා රැසක එය සාමාන්‍ය සභා ජීවිතය වී  තිබේ. සිනොඩීය බව හෙවත්  සාංගමනිකත්වය යනු "එක්ව ගමන් කිරීමයි". ශුද්ධෝත්තම පියතුමා, රදගුරු, පුදැදුරු, පැවිදි සහ ගිහි අප සියල්ලන් එක ම වන්දනා ගමනක එකට එක්ව ගමන් කරමින් සිටිමු. ඒ ගමන තුළ උස්-පහත් භේද, පාලක-පාලිත වෙනස්කම්, ස්ත්‍රී-පුරුෂ භේද නැත. එකිනෙකාට  සවන් දෙමින්, පොදු තීන්දු තීරණ ගනිමින්, එකිනෙකාට උදව් උපකාර කරමින්, දුර්වල වුවන් ශක්තිමත් කරමින්, මග වැටෙන්නන් මගහැරෙන්නන් වෙනුවෙන් නැවතී ඔවුන් ද යලි මාවතට ගනිමින්  මේ ගතිකත්වයේ ගමන යා යුතු ය. 

සභාව ස්ථිතික 'ආයතනයක්' නොවේ. ගතිකත්වයෙන් යුත් දේහයකි.  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ දසවැනි වසරේ දී  ශුද්ධාත්ම වරමින් සභාව මේ මාවතට ගෙන යමින් සිටියි. 

සභා අතර සංවාදය 

කිතුනු සභා අතර එකමුතුකම ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා ගේ න්‍යාය පත්‍රයේ මූලික අංගයක් වී තිබේ. "වෙනත් කිතුනු සභා සමග අසමගිය අපචාරයක් ! අවාදර්ශයක්!" යි එතුමා පවසයි. "මරණයෙන් පසු එකට මුණගැසෙනවා නම්, ජීවිතයේ දී බෙදී වෙන්වී සිටින්නට අපි කවුද?" තවත් කිතුනු සභා එකමුතු මෙහෙයක දී එතුමා ප්‍රශ්න කළේය.  “වඩා හොඳ කතෝලිකයොද? ඉවැන්ජලිකල් කිතුනුවෝ  (‘බයිබල් කාරයො’) ද?" වෙනත් කිතුනුසභා ගැන දේශනයක දී එතුමා උත්ප්‍රාසයෙන් යුතුව ඇසුවේය. 

“අපි එක්ව ගමන් කරමු; එක්ව දුප්පතුනට සරණ වෙමු; එක්ව දයාවේ ක්‍රියා සහ අධ්‍යාපන සේවාවල නිරත වෙමු; එක්ව යුක්තිය හා සාමය වෙනුවෙන් අරගල  කරමු. ඒ අතර ශුද්ධාත්මයාණන් වහන්සේ ඉතිරි ටික කරාවි" යන්න අන්තර් සභා සංවාදය ගැන එතුමා ගේ දැක්මයි. 

සභා සාමාජිකයන් ගේ ළමා අපයෝජන අපචාර 

සභා සාමාජිකයන්, විශේෂයෙන් ම පුදැදුරු තුමන් සම්බන්ධ වූ ළමා සහ යොවුන් අපචාර ගත වූ දශක කිහිපය තුළ සභා දේහය දැඩි ලෙස රිදවූ අවාදර්ශය වී තිබේ. මේ හේතුවෙන් මානසිකව, ශාරීරිකව සේ ම ආධ්‍යාත්මිකව ද තුවාල කරනු ලැබූ ළමයින් සහ යෞවන වයසේ  පසුවන්නන් ගේ වේදනාව නොසලකා හැරීම සම්බන්ධයෙන් ඉතා කඩිනමින්, එසේ ම පරෙස්සමින්, වගකීමෙන් ක්‍රියා කොට වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමේ වගකීම ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ට භාර වූ තවත් වගකීමකි. 

ඉකුත් දස වසර තුළ එතුමා මේ සම්න්ධයෙන් ඉතා සාධනීය ක්‍රියා මාර්ග රැසක් ගත්තේය. චීලි, අයර්ලන්තය ප්‍රමුඛ රටවල් කිහිපයක දී එතුමා මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටියේ ය. එලෙස අපචාරය ලක්වූ තැනැත්තන් ගේ කඳුළු කතාවලට පෞද්ගලිකව සවන් දුන්නේ ය. ඔවුන්ගෙන් ද පෞද්ගලිකව සමාව ඉල්ලුවේය. (ඒ එතුමා කල වරදකට නොවේ. ) 

අපචාර වලට් සම්බන්ධ වූ පූජකවරුනට එරෙහිව මෙන් ම ඔවුන් ආරක්ෂා කිරීමට සහ සැඟවීමට ක්‍රියා කල රදගුරු හිමිවරුනට එරෙහිවද සභා නීති ප්‍රකාරව දඬුවම් දුන්නේ ය. එපමනක් නොවේ. මින් මතු එවැනි සිද්ධි ඇතිවීම වලක්වීම සඳහා ක්‍රියා කලයුතු ආකාරය ගැන පැහැදිලි, දැඩි මාර්ගෝපදේශ දැන් ක්‍රියාත්මක කර තිබේ. එය  ඉකුත් දස වසරේ සභාව තැබූ දැවැන්ත ඉදිරි පියවරකි. 

 දූත  සේවාව 


ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට  විවිධ විරුදයන් ලැබී තිබේ. ඒවා එතුමා ගේ දූත සේවාව විමසිය හැකි ඉඟි සපයයි.

 "දයා කරුණාවේ පාප් වහන්සේ" ඒ අතර ප්‍රමුඛ වේ. ඊට හේතුව දෙවියන් වහන්සේ ගේ අපරිමිත වූ දයා කරුණාව අත්දකින ලෙස එතුමා නොකඩවා  ලෝකයෙන් කරන ආයාචනයයි . මතක ද? එතුමා සිය ධුරය භාරගත්තේ ද "මම විශාල පව්කාරයෙක්.. දෙවියන් වහන්සේ ගේ අපරිමිත වූ කරුණාව කෙරෙහි විශ්වාස කරමින්" යයි පවසමිනි. මෙයින් ගම්‍ය වන්නේ එතුමා  ද දෙවි පියාණන් ගේ "පතුල නොපෙනන කුළුණු ගුණය" ස්පර්ශ කර ඇති බවකි. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ද  විශ්මිත ලෙස දයා ගුණයෙන් යුක්තව  සිටින අතර කුළුණු  ගුණයෙන් අසීමිත වූ දෙවි පියාණන් වෙත හැරී එනමෙන් සියල්ලනට ඇරයුම් කරයි. “ඔබට කතා කරන සුදු සළු ඇඳ සිටින මම පව්කාරයෙක් …” සිරකරුවන් අමතමින් කියයි. ලිංගිකත්වය ගැන විමසන වාර්තාකරුවන්ට අවංකව පිළිතුරු දෙමින් “දෙවිඳුන් ඉදිරියේ ඔවුන් විවෘත වනවා නම්, විනිශ්චය කරන්නට මම කවුද?” යි අසයි. “පුද්ගලයකු සමලිංගිකයකු වීම නිසා ජේසු සමිඳුන් ඔහු එලවා දමන්නේ නැහැ” යි විවෘතව පිළිතුරු දෙයි. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා "දුප්පතුන් ගේ, පීඩාවට පත් වූවන්, සරණාගතයන් සහ කොන්කරන ලද්දවුන් ගේ පාප් වහන්සේ ය." කතෝලික සභාවේ සඟවන ලද නිධානය වන කතෝලික සමාජ ධර්මයෙන් පෝෂ්‍ය වී සිටින එතුමා සමාජයේ මේ කණ්ඩායම තුළ දකින්නේ දුක් විඳින ස්වාමීන් වහන්සේ ගේ වත මඬල සහ හදවත ය. "අද දෙවියන් වහන්සේ ගේ වැඩසිටීම යන රෝහින්ග්‍යා ජනතාව" යයි එම සරණාගත ජනයාට කතා කල පසු එතුමා කීවේ ඒ නිසාය. කෙතරම් භාක්තිවන්තයකු වූවත් ලාසරස්ලා දොරකඩින් මේසයට නොගෙන, මාවතේ දී සොරුන් ගේ පහර දීමට ලක්වන ආගන්තුකයනට ශක්තියක් ආධාරයක් නොවෙන කිතුනුවනට දෙවියන් වහන්සේ මුණගැසිය නොහැකි බව එතුමා සිය ජීවිතය්නේ ම උගන්වයි.  

එතුමා  යුක්තියේ සහ සාධාරණත්වයේ පාප්වහන්සේ ය. “වර්තමානයේ දෙවිඳුන් වැඩසිටින්නේ සරණාගතයන්, දුප්පතුන්, යුද්ධයෙන් හා සමාජ විෂමතාවලින් බැටකන දරුවන් තුළ” යයි කියමින් ධනවත් කතෝලික රටවලට අභියෝග  කරයි. මුස්ලිම් සරණාගතයන් තමාගේ ම ගුවන් යානයෙන්  වතිකානයට රැගෙන එයි. “තාප්ප ඉදිකරන්නන් කිතුනුවන් නොවේ; කිතුනුවකු නම් පාලම්  ඉදි කල යුතුයි” යැයි වර්ගවාදී අන්තවාදී  දේශපාලන නායකයන්ටත් එවැනි අදහස් වලින් යුත් කිතුනු ජනයාටත්  එඩිතරව අභියෝග කරයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා "දුප්පත් (අල්පෙච්ඡ්) සභාවේ,  දුප්පතුන් සඳහා වූ සභාවේ ආදර්ශය" ය.  මේ දුප්පත් කම, සරල, අල්පෙච්ඡ් බව, එතුමා ආරුඪ කරගත්තක් නොවේ. බුවනොස් අයරෙස් අගරදගුරු පදවියේ සහයක රදගුරු තුමන් ලෙස පත්කරන ලද සමයේ සිටම රැගෙන එන්නකි.  සභාව ධනයෙන් සහ බලයෙන්, ලෞකික විසිතුරු වලින් ආධ්‍ය වීම, ගවමඩුවක ඉපිද වඩුමඩුවක හැදී වැඩී, මහමග නිවහන කරගනිමින්, දුප්පතුන්, පව්කාරයන්, කොන්කරන ලද්දවුන්, රෝගීන්, වේදනාවට අයුක්තියට ලක්කරන ලද්දවුන් සමග ඇවිදිමින් සුවහසක් දන සුබාරංචියෙන් සැනැසූ  දේව පුත්‍රයාණන්ට කරන අවමානයකි. එසේ ම එය මුල්කාලීන සභාවේ ආදර්ශය ද නොවේ. සිය පාප් ධුරයේ නාම සාන්තුවරයා වන අසීසියේ ප්‍රැන්සිස් තුමන් ගේ අඩි  පාරේ නොවක් ව යමින් එතුමා මේ බව පෙන්වා දෙයි. 

අසූ විය ඉක්මවුවද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තවමත් තරුණය. "තාරුණ්‍යයේ පාප්වහන්සේ" ය. ශු. දෙවනු ජුවාම් පාවුළු සසුන් පියාණන් විසින් අභියෝගාත්මක ලෙස ජීව ගන්වන ලද යොවුන් දූත සේවාව එතුමා තවත් අරුත් ගන්වමින් ඉදිරියට ගෙන යයි.   “පුදැදුරු අධිපතිවාදයෙන් මිදී සමාජය ගිණි දල්වන්න” යි එතුමා පෝලන්තයේ දී තරුණ ජනතාවට උපදෙස් දුන්නේ ය. "අවුල් කරන්න", යන්න බ්‍රසීලයේ දී එතුමා ඔවුන්ට දුන් අවවාදයයි. මේ කාරනා දෙකේදී ම සිය "ව්‍යවස්ථාව" විය යුත්තේ අවසාන විනිශ්චය පිලිබඳ දේශනාව බව ද එතුමා පෙන්වා දුන්නේ ය. "මම කුසගිනිව සිටියෙමි....මම පිපාසාව සිටියෙමි ...මම රෝගීව සිටිමි ..." එම දේශනාවයි.  අද ලෝකය තුළ විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ සමිදුන් ගේ මේ වදන් විවිධ  වූ නව වදන් ද ඇතුළත්ව, දෝංකාර දෙයි. සමාජය තුළ වේදනා විඳින සමිඳුන් හැඳින ගනිමින් "සමාජය ගිණි අවුලන්නට ...අවුල් කරන්නට" තාරුණ්‍යයට එතුමා අභියෝග කරයි.  



 

සුදොතුම් පියතුමාට එරෙහි ‘යුද්‍ධය’ 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් දස වසර තුළ මේ අභියෝගාත්මක මෙහෙවර කලේ සුමට මාවතක නොවේ.  එතුමා සභාව ක්‍රිස්තු හදවතට සමීප කරන්නට ගන්නා වෑයම සභාවේ ම ඇතැම් කොටස් වල විවේචනයට් ලක්වූවා පමණක් නොව එම පාර්ශවයෙන් දැඩි ප්‍රතිරෝධයක් ද එල්ල වූයේය. 

එහෙත් තමන්ට බාධා කරන්නට පිළිතුරු දීමට හෝ ඔවුනට පෙරලා පහර දීමට හෝ කාලය නාස්ති නොකළ සුදොතුම් පියතුමා සිය දූත මෙහෙවර නොකඩවා කරගෙන ගියේ ය. එම යුද්ධය තවමත් අවසන් නැත. දිනෙන් දින "අලුත්" ප්‍රහාර එල්ල කරමින් මේ පිරිස එතුමා ගේ මෙහෙවර කඩාකප්පල් කිරීමට උත්සාහ කරමින් සිටිති. 

ප්‍රැන්සිස්   සුදොතුම් පියතුමන් තේරුම්  ගත හැකි ‘යතුරු’ 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අප ගෙවමින් සිටින  මේ අවුල් සහගත යුගයට සභාවේ හිස වන කිතු සමිඳුන්  විසින් දෙන ලද තිළිණයකි.

එතුමන් ගේ ශීල ධාර්මික මෙන්ම ඇතැම් දේශපාලන සමාජ ආර්ථික (සරණාගතයන්, යුද්ධ වැනි)  තීරණ, ක්‍රියා මාර්ග හා උපදෙස් තේරුම් ගැනීමට ඇති යතුර ‘දයා කරුණාව’යි. දෙවි පියාණන් මිනිසාට අසීමිතව දයා කරුණාව දක්වන බැවින් මිනිසා ද සිය සහෝදරයාට සැලකිය යුත්තේ එසේය යන්න එයින් කියැවේ

එතුමා කතෝලික සභාවේ පුදැදුරු-ගිහි නායකත්වය  පිළිබඳව ගන්නා තීරණ, ක්‍රියාමාර්ග සහ උපදෙස් තේරුම් ගැනීමට ඇති යතුර ජේසු සමිඳුන් වදාළ “සේවක-නායකත්වය”යි. 2015 දී පවත්වන ලද රදගුරු සාංගමනිකභාවයට  වසර 50ක් ගත වූ සංවත්සරයේ දී එතුමා ඒ ගැන කීවේ මෙසේය: 

“මේ අනුව නායකයන් තමනට භාර වූ බැටළු රැලේ සැබෑ ‘ක්‍රිස්තු නියෝජිතයන්’ (vicarius Christi) බවට පත්වන්නේ ඔවුන් එම දේව ජනතාව ගේ සේවකයන් වන තරමට ය; එනම් අන්තිම රාත්‍රී භෝජනය අවස්ථාවේ සිය අපෝස්තුළුවරුන් අබියස නැවතී, පහත් වී පා දෝවනය කල ජේසු සමිඳුන්  ගේ නියෝජිතයන් ය. ඊට සමාන දැක්ම තුළ, පේදුරු තුමා ගේ අනුප්‍රාප්තිකයා (පාප් වහන්සේ) සමිඳුන් ගේ සේවකයන් ගේ සේවකයා පමණි. අපි මෙය කිසිදා අමතක නොකරමු: එනම්, ඊයේ, අද සහ නිරන්තරයෙන් ම, අපගේ අධිකාරීත්වය සේවයේ අධිකාරීත්වයයි; අපගේ බලය කුරුසියේ බලයයි" 

“මා වෙනුවෙන් යාච්ඥා කරන්න.” 

තමන් මෙම ධුරයට පත් වූ පළමු මොහොතේ  සිට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා බැහැපත්ව සියල්ලන්ගෙන් ඉල්ලා සිටින ‘උදව්ව’ එයයි: “මා වෙනුවෙන් යාච්ඥා කරන්න.”

අභියෝගාත්මක යුගයක පේදුරු තුමන් ගේ වගකීම පැවරුණු එතුමනට බොහෝ යාච්ඥා අවශ්‍ය වේ. පාප් ධුරයේ දසවැනි  සංවත්සරය වෙනුවෙන් ඔබට එතුමනට පිදිය හැකි වටිනාම, ප්‍රබලම ත්‍යාගය එයයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්  වෙනුවෙන් යාච්ඥා කරන්න. 





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය