"අපේ මීසම් සියල්ලන්ට විවෘත වූ, සවන් දෙන, ජනතා කේන්ද්‍රීය, සේවාවේ සංඝ බවට පත් කරමු" - පෙබරවාරි මාසයේ සසුන් පිය යැදුම් අදහස

"Let our Parishes be generous open communities of service near to all" - Pope's Prayer Intention for February 2023


(2023 පෙබරවාරි 22)

2023 වසරේ පෙබරවාරි මාසය වෙනුවෙන් සුදොතුම් පිය යැදුම් අදහස ඇතුළත් සසුන් පිය  පිය  වීඩියෝව දැන් නිකුත් වී තිබේ. 

මීසම් වෙනුවෙන් යදිමු - කුමක් වෙනුවෙන් ද?

අපේ ප්‍රාදේශීයබද  සසුන් වන මීසම් වෙනුවෙන් මේ මාසය පුරා අපි  යාච්ඥා කරමුයි එතුමා ලොව පුරා සිටින කතෝලික ජනතාවට ආරාධනා කරයි. අපේ මීසම් වෙනුවෙන් යාච්ඥා කරන්නේ කවර අදහසකින් ද? 

"ඒවා තේරීමකින්  තොරව  ජනතාව උණුසුමින් පිළිගන්නා වූ ද සවන්දෙනා වූ ද සභා බවට පත් කරන පිණිසත් ඒවායේ දොරටු සියල්ලනට සෑම වෙලාවකම විවෘතව  තබන පිණිසත්" යාච්ඥා කරන ලෙස සුදොතුම් පියතුමා ආරාධනා කරයි. 

සියල්ලනට විවෘත 

අපේ මීසම් වල දොරවල් කෙතරම් දුරට විවෘතව තිබිය යුතු ද කියන්නේ නම් "Free Admission"  යනුවෙන් සඳහන්  පණිවිඩ  පුවරුවක් මීසම් දොරටු වල  සවි කිරීමට තරම් තමන්ට සිතෙන බව සුදුතුම්  පියතුමා කියයි. Free Admission  යන්නෙහි වාචික අදහස "ඇතුළුවීම නොමිලේ" යන්නයි. එනම්,  "නිදහසේ ඇතුළුවන්න"නොහොත්  "ඇතුළු වීම සැමට විවෘතයි"  යන අදහසයි. 

 එනම් සමාජයත් සභාවත්  විසින් සිය  සමාජ වලින්  "බැහැර කර ඇති අයටත්" මීසම් විවෘත විය යුතු ය.

"වැට කඩුලු බිඳ දැමූ" සංඝ 

අපේ මීසම් "නිලධාරිවාදී" වැට කඩුලු වලින් තොර ඒවා වීමේ වැදගත් කම ද ඒවා "ජනතා කේන්ද්‍රීය" ස්ථාන වීමේ අවශ්‍යතාව ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය යැදුම් පණිවිඩයේ අවධාරණය කරයි. 

සභාවේ බොහෝ ස්ථාන පුදැදුරු මෙන් ම ගිහි නායකයන්  ගේ නිලධාරීවාදය  හේතුවෙන් ද පුදැදුරු-කේන්ද්‍රීය බව හා පුදැදුරු අධිපතිභාවය (clericalism) නිසා ද දුෂ්‍ය වී ඇති බව පසුගිය වසර දහය පුරා ම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විටින් විට සිහිපත් කල කාරණයකි. මේ තත්වය ශුද්ධාත්මයාණන්ට රිසි සේ හමා යාමට බාධාවක් බවද එතුමා පෙන්වා දෙමින් සිටියි. මේ නිසා මීසම් ප්‍රාණයාණන් වහන්සේ ගේ වාසස්ථාන වීමට නම් ඒවා එවැනි දුෂ්‍ය බවින් තොර ජනතා කේන්ද්‍රීය සංඝ  බවට පත් විය යුතු බව මේ පණිවිඩයේ එතුමා පෙන්වා දෙයි. එවන් මීසම් සංඝ නිතැතින් ම සුන්දර ගෙත්තමක් සේ මනහර රටාවකට එකට බැඳුනු සංඝ සේ ම  "සක්‍රමේන්තුවල තිළිණය හමුවන ස්ථාන" බවට ද  පත්වන බව එතුමා කියයි. 

ශෛලිය ගැන අලුතින් හිතමු 

මේ භාවනාව සැලකිල්ලට ගෙන අපේ මීසම් සංඝ වල පන්නය ගැන නොහොත් ශෛලිය ගැන "අලුතින් සිතන්නට අප එඩිතර විය යුතු" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කරයි. 

පෙබරවාරි මාසය තුළ  කතෝලික ජනතාව ඒ වෙනුවෙන් යාච්ඥා කරමින් ශුද්ධාත්ම ආලෝකයෙන් අපේ මීසම් "සාංඝික සහභාගීත්වය කේන්ද්‍රයේ පවතින සංඝ වනු පිණිසත්, ඒවා වඩවඩාත් විශ්වාසයේ, සහෝදරත්වයේ සහ නැති බැරි ජනතාව ආදරයෙන් සහ උණුසුමින්  පිළිගන්නා වූ සංඝ වනු පිණිසත්" කියා කල යුතු ය. 

වීඩියෝ කතාව 

මෙවර සසුන් පිය වීඩියෝ කතන්දරයට ලොව පුරා විවිධ ප්‍රදේශවලට - කළු, සුදු, දුඹුරු ජාතීන්, සියලු මහාද්වීප වල ජාතීන්ට -අයත් මීසම් වල ජනතාව විවිධ සේවා වෙනුවෙන් එකට එක්ව, එකට ගමන් කරන දර්ශන වලින් සුන්දර කර තිබේ. ප්‍රීති සම්භාෂණ, දේශනා හා ඉගැන්වීම්, අසරණ වුවනට ආහාර සහ වෙනත් අවශ්‍යතා බෙදා දීම්, වියපත් සහ රෝගී ජනයා බැහැදැකීම්  වැනි විවධ අංග ඇතුළත් මේ වීඩියෝ කතාව ඉතා ක්‍රියාශීලි සහ ප්‍රේමයෙන් බැඳුනු  සභාවක් පෙන්නුම් කරයි. 

මීසම් ගැන සුදොතුම් පිය දෙනමක ගේ දැක්ම 

මාර්තු මාසයේ දස වසරක් සපිරෙන  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ  ධුර කාලයේ දැක්ම (Vision) සහ මෙහෙවර ප්‍රකාශය ලෙස සැලකිය හැකි  Evangelii Gaudium හෙවත්  "සුපුවතේ ආනන්දය" නමැති අපෝස්තලික අනුශාසනාපත්‍රයේ සිය පූර්වගාමියකු වූ ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ ගේ ප්‍රකාශයක්  ද උපුටා දක්වමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙසේ කියයි:

"මීසම් යනු නිශ්චිතව ම  ධර්මදානයේ යෙදෙන  එක ම ආයතනය නොවන නමුදු ඒවාට පවුල්වල  සිය දූ වරුන් සහ පුතුන් අතර ජීවත් ජීවත් වීමට හැකි වීමේ මහා අපූර්වත්වයක් තිබේ.  මීසම්, පවුල්   සහ ඒවායේ ජීවත් වන ජනතාව ගේ ජීවිත  සමග නිබඳව ම සම්බන්ධතාවයෙන් සිටිය යුත්තේ එබැවිනි. ඒ වෙනුවට ඒවා එම ජනතාව සමග කිසිම සම්බන්ධතාවක් නොමැති ආයතන හෝ තෝරාගත් වරප්‍රසාදලත් කිහිපදෙනෙකු ගේ සමාජයක් (club)  බව පත් වුනු ප්‍රයෝජනයක් නොමැති ව්‍යුහ බවට පත් වීමෙන් මීසම් වැළකිය යුතු ය. ... අපේ මීසම් ජනතාවට සමීප කිරීම සඳහා ඒවායේ කටයුතු  සමාලෝචනය කිරීමටත් ඒවාට නවෝදයක් දීමටත් ගන්නා උත්සාහයන් තවමත් ප්‍රමාණවත් නොවේ." 

සිය ධුර කාලයේ දසවැනි සංවත්සරය ආසන්නයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම දැක්ම වෙත සමස්ත කතෝලික පවුල යලිත් යොමු කරයි. 

2023 පෙබරවාරි මාසය වෙනුවෙන්   ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ යැදුම් අදහස සම්පූර්ණයෙන් :

" "ඇතුළුවීම සැමට  විවෘතයි" යන්න සඳහන්  සංඥා  පුවරුවක්  අපේ මීසම්  දොරවල් වල  සවි කල යුතුය යැයි  සමහර විට  මට සිතෙනව. 

මීසම්,  ගෙත්තමක් සේ සමීපව බැඳුනු සංඝ විය යුතුයි. නිලධාරි වාදයෙන් තොර, ජනතා කේන්ද්‍රීය - සක්‍රමේන්තුවල තිළිණය හමුවන ස්ථාන විය යුතුයි. 

ඒවා සිය දොරවල් සෑම විට ම විවෘතව තිබෙන - බැහැර කරන ලද්දා වූ තැනැත්තන්ටත්, එතුළ දැනට සිටින ජනතාවටත් - සියල්ලන්ටම - විවෘතව තිබෙන, සේවාවේ සහ ත්‍යාගශීලීත්වයේ පාසල්  බවට පත් විය යුතුයි.  

මීසම් යනු කුඩා පිරිසකට  කිසියම්  ආකාරයේ සමාජයීය අයිතියක් හිමිවන සමාජ කණ්ඩායමක් නොවේ. 

කරුණාකර, කරුණාකර, අපි එඩිතර වෙමු. 

අපේ මීසම් සංඝ වල ශෛලිය ගැන අපි අලුතින් සිතමු. 

අපේ මීසම්,  සහභාගීත්වය (Communion), ජනතාව ගේ සහභාගීත්වය, සාංඝික සහභාගීත්වය කේන්ද්‍රයේ පවතින සංඝ වනු පිණිසත්, ඒවා වඩවඩාත් විශ්වාසයේ, සහෝදරත්වයේ සහ නැති බැරි ජනතාව ආදරයෙන් සහ උණුසුමින්  පිළිගන්නා වූ සංඝ වනු පිණිසත්  අපි යාච්ඥා කරමු. "

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය