කාදිනල් මැරදියාගා හිමි ගේ ඉල්ලා අස්වීම සුදොතුම් පියතුමා පිළිගනියි; නව අගරදගුරු ලෙස මීසම් සේවක පියනමක් !

Holy Father names parish priest to succeed Cardinal Maradiaga in Tegucigalpa

විශ්‍රාම යන කාදිනල් මැරදියාගා හිමි 


(2022 ජනවාරි 27)

ලොව ප්‍රකට එමෙන් ම  ගෞරවයට පත්ව සිටින කාදිනල්-අගරදගුරු හිමි නමක් වන ඔස්කා මැරදියාගා කාදිනල්  හිමියන් ගේ ඉල්ලා අස්වීම ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් විසින් පිළිගෙන තිබේ. ඒ වෙනුවට පදවියේ නව අගරදගුරු හිමියන් ලෙස  සුදොතුම්  පියතුමන් විසින් පත්කරනු ලැබ සිටින්නේ පදවියේ සේවය කළ පැවිදි  මීසම් සේවක පියනමකි. වතිකාන ප්‍රවෘත්ති සේවාව අද මෙය නිවේදනය කලේ ය. 

හොන්ඩියුරාස් හි ටෙගුචිගල්පා මෙට්‍රොපොලිටන් අගරදගුරු පදවියේ පරිපාලනයෙන් ඉල්ලා අස්වෙමින්  ඔස්කා රෝද්රිගුවස්  මරදියාගා කාදිනල් හිමිපාණන් ඉදිරිපත් කළ ලිපිය පාප් වහන්සේ භාරගත් බව වතිකානය ප්‍රකාශ කළේය. 

දර්ශනය සහ  දේවධර්මය යන විෂයයන් ගෙන් ආචාර්ය උපාධිධරයකු වූ මරදියාගා කාදිනල් හිමි ඔස්ට්‍රියාවේ ඉන්ස්බ්‍රක් සරසවියෙන් සායනික මනෝවිද්‍යාව සහ මනෝ චිකිත්සාව පිලිබඳ ඩිප්ලෝමාවක් ද ලබා සිටියේය. ළමා වයසේ දී ඔස්කා  සැක්සෆෝන වාදනයට සහ නැටුමට ප්‍රිය කළේය. යොවුන්  ඔස්කා ගේ  සිහිනය වූයේ ගුවන් යානා නියමුවකු වීමයි. ඔහුටත් නොදැනීම පැවිදි ජීවිතයට දේව කැඳවීම් ලද ඔස්කා 1961 දී සලේසියානු නිකායට එක් විය. 1970 දී පුදැදුරුවරය ලද ඔස්කා මරදියාගා, කලක් එල් සැල්වදෝරය, හොන්ඩියුරාස් සහ ගෝතමාලාව යන රටවල ඇති සලේසියානු අධ්‍යාපන පීඨ වල  රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සහ සංගීතය ඉගැන්නුවේය.  1978 දී හොන්ඩියුරාස් හි ටෙගුචිගල්පා අගරදගුරු පදවියේ සහයක රදගුරු ලෙස පත් කරන ලද එතුමා 1993 දී එම පදවියේ ම අගරදගුරු හිමියන් ලෙස පත් කරනු ලැබුවේ ය.  ඔස්කා මැරදියාගා හිමියන් කාදිනල් වර ගන්වන ලද්දේ ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ විසින් 2001 දීය. එකල සිටම එතුමා කාදිනල් පර්ෂදය තුළ  සේම ලතින් ඇමෙරිකා සභාව තුලද ක්‍රියාකාරී  මෙහෙවරක් ඉටු කළේය.  දුප්පතුන් වෙනුවෙන් එතුමන් කල සේවාව නිසා වසර 2007 දී ඔස්කා මැරදියාගා කාදිනල් හිමි ජාත්‍යන්තර කරිටාස් ව්‍යාපාරයේ සභාපති ලෙස පත් කර ගැණුනු අතර 2015 දක්වා වාර දෙකක් එතුමා එම තනතුර දැරුවේය.  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් පත් වීමෙන් පසුව සභා ප්‍රතිසංස්කරණය සඳහා තමන්ට උපදෙස් දීමට එතුමන් විසින් පත් කරන ලද අට පුද්ගල කාදිනල් කණ්ඩායමේ සම්බන්ධිකාරක ලෙස ක්‍රියා කලේ ද මැරදියාගා කාදිනල් හිමිපාණෝ ය. 

ඉල්ලා අස්වීම 80 වැනි විය තෙක් ...

සභා නීතිය අනුව වසර 75 පිරෙද්දී මැරදියාගා හිමි සිය ඉල්ලා අස්වීම පාප් වහන්සේට භාර දුන්නේය. එහෙත් ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා මේ දක්වා එය භාර ගත්තේ නැත. මැරදියාගා හිමි පසුගිය දෙසැම්බර 29 වැනිදා 80 වැනි වියට එළැඹියේ ය. 

නව අගරදගුරු හිමි 

ප්‍රැන්සිස්එ ශුද්ධෝත්තම පියතුමා එම පදවියේ නව අගරදගුරු හිමියන් ලෙස පත් කලේ මීසම් සේවක පියතුමකු වන හොසේ වින්සේන්තේ තතායි  පියතුමා ය. එතුමා සන් පෙද්රෝ සූලා නගරයේ සාන්ත වින්සන්ට් ද පොල්  මීසමේ මීසම් සේවක ලෙස ද හොන්ඩියුරාස් හි වින්සෙන්තියානු නිකායේ ප්‍රාදේශීය ප්‍රධානියා ලෙස ද සේවය කරයි. එතුමා සමාජ විද්‍යාව පිලිබඳ ශාස්ත්‍රපති උපාධිධරයෙකි. එහෙත් මේ වන විට 58 වන වියෙහි පසුවන එතුමා සිය සේවා කාලය මුළුමනින් ම පාහේ ගත  කර ඇත්තේ මීසම් වල සේවාව කරමිනි. 


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය