දින 404ක් සිරගෙදරත් ගත කළ කතෝලික සභාවේ පතාකයකු වූ කාදිනල් පෙල් හිමි සදා සාමයට නික්ම යයි - "මම මට චෝදනා කල තැනැත්තන්ට සමාව දුන්නා."

Cardinal George Pell, a towering Church figure leaves for Eternal life  



(2023 ජනවාරි 11)

මෑත කාලීන කතෝලික සභාවේ පතාකයකු බඳු ඔස්ට්‍රේලියානු  ජාතික කාදිනල් ජෝර්ජ් පෙල් හිමි ජනවාරි 10 වැනි දා රෝමයේ දී ස්වර්ගස්ථ විය. ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් එම ධුරයට පත් කිරීමෙන් පසුව එතුමන්ට පැවරුණු වගකීමක් ලෙස ආරම්භ කළ වතිකාන මුල්‍ය ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයේ ප්‍රධානියා ලෙස එතුමා මහත් සේවාවක් ඉටු කළේය. ඉන් පසුව එතුමන්ට එල්ල වූ පදනම් විරහිත  ළමා ලිංගික අපචාර චෝදනාවක් හේතුවෙන් කලක්  සිරගතව සිටි නමුදු එරට මහාධිකරණයට ඉදිරිපත් කරන ලද අභියාචනය මගින් එතුමා නිදොස් කොට නිදහස් කෙරිණි. 

වතිකාන වාර්තා පවසන ආකාරයට පෙල් හිමි  සුළු සැත්කමකින් පසුව රෝමයේ සැල්වතෝර් මුන්දි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇති වූ සංකුලතා හේතුවෙන් අඟහරුවාදා රාත්‍රියේ මිය ගියේ ය. එතුමා ගේ දේහය පිලිබඳ අවමංගල්‍ය දිව්‍ය පූජාව  වතිකානයේ දී පවත්වනු ලැබීමෙන් පසුව එම දේහය ඔස්ට්‍රේලියාවට ගෙන යනු ලැබීමට නියමිතය. සිඩ්නි නුවර සාන්ත මරියා ආසන දෙව්මැදුරේ  දේහය මිහිදන් කෙරන වැඩ වාර්තාවේ. 

කාදිනල් ජෝර්ජ් පෙල් හිමි දැවැන්තයකු සේ ම සභාවේ බලපෑම් කළ හැකි නායකයෙක් ද විය. දීර්ඝ කාලයක් පුරා එතුමන් සලකන ලද්දේ සභාවේ ගතානුගතික පාර්ශවයේ නායකයකු ලෙසයි. එහෙත් පසුව එතුමා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ සභා ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයේ නායකයකු බවට පත් විය. 

1966 දී පුදැදුරුවරයා ලැබූ පෙල් හිමි 1987 දී මෙල්බර්න් හි සහායක රදගුරු තුමකු ලෙස පත් කරන ලදී. 1996 දී එහි ම අගරදගුරු තුමන් ලෙස පත් කරන ලද එතුමා 2001 දී සිඩ්නි පදවියේ අගරදගුරු තුමන් ලෙස පත් කෙරිණි. එතුමන් කාදිනල් වර ගන්වන ලද්දේ 2003 දී ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ විසිනි. 

2103 දී සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ විශ්‍රාම ගැනීමට තීරණය කල විට ප්‍රසිද්ධියේ එඩිතරව  එම තීරණය විවේචනය කල සභා නායකයා කාදිනල් ජෝර්ජ් පෙල් හිමි ය. පාප් වහන්සේ නමක් ජීවිත කාලය පුරා එම ධුරය දැරිය යුතු බව එතුමා පෙන්වා දුන්නේ ය. නව පාප් වහන්සේ තෝරා ගැනීමේ පූර්ව සාකච්ඡා වලදී එතුමා කැපී පෙනෙන ලෙස අදහස් මගින් ඊට දායක විය. 

ප්‍රතිසංස්කරණවාදියා 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම පදවියට පත් වීමන් පසුව සභා ප්‍රතිසංස්කරණ වලට එතුමන්ට  උපදෙස් දීම සඳහා පත්කරන ලද අට පුද්ගල  කාදිනල් හිමිවරුන් ගේ කණ්ඩායමට එතුමා ද ඇතුලත් කරන ලද්දේය. 

කළු සල්ලි විශුද්ධිකරන චෝදනා,  ශේෂ පත්‍ර සහ විගණන අවුල් වැනි මුල්‍ය අවුලක තිබුණු වතිකානයේ මුල්‍ය ක්‍රමය සහ ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීම ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ට පැවරුණු වගකීමකි. සුදොතුම් පියතුමන් විසින් එම මෙහෙවරේ නායකත්වය දෙන ලද්දේ ද ජෝර්ජ් පෙල් හිමියන්ටයි. මේ අනුව ආර්ථිකය පිලිබඳ වතිකාන ලේකම් කාර්යාලයේ ප්‍රධානියා ලෙස එතුමන් පත්කෙරිණි. කාදිනල් පෙල් හිමිපාණන් ගේ අවංක බව සහ ඍජු බව නිසා වතිකාන කියුරියාවේ විවිධ අංශ එතුමා සමග ගැටුම් ද ඇතිකර ගත්තේ ය. එහෙත් එතුමා ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව ගෙන ගියේය. 

එතුමාට  එරෙහිව ළමා ලිංගික අපචාර චෝදනාවක් එල්ල කරන ලද්දේ  මේ අතර ය. 

අපචාර චෝදනා 

1996 එතුමා මෙල්බර්න් අගරදගුරු තුමන්ව සිටිය දී පිරිමි ළමුන් දෙදෙනෙකු පල්ලියේ ඉස්තෝප්පුවේදී අපචාරයට ලක් කළේය යන්න එම චෝදනාවයි. එම චෝදනා පදනම් විරහිත ඒවා බවත් තමන් මේ සම්බන්ධයෙන් නිර්දෝෂී බවත් එතුමා කියා සිටියේ ය. එම චෝදනාවට මුහුණ දීම සඳහා එතුමා වතිකානයේ තමන් දැරූ තනතුරු වලින් ඉවත් වී ඔස්ට්‍රේලියාවට ගියේ ය, 

මේ සම්බන්ධයෙන් පවත්වන ලද ප්‍රථම නඩු විභාගයේ දී ජූරි සභාව ලබා දුන්නේ  සම තීන්දුවකි. දෙවැනි නඩු විභාගයේ දී ජූරියේ ඒකමතික තීන්දුව මත  උසාවිය කාදිනල් හිමියන්ට සය අවුරුදු සිර දඬුවමක් නියම කළේය. ඊට එරෙහිව එතුමා අභියාචනයක් ඉදිරිපත් කල නමුත් සිර දඬුවම වහාම ක්‍රියාත්මක විය. 

අධිකරණය දෙවැනි  නඩුව පවත්වාගෙන ගියේ එම අපචාරය සිදු කල බවට එම පිරිමි ළමයා චෝදනා කල ස්ථානය ගැන ස්ථානීය පරීක්ෂාවකින් ද තොරව බව පෙල් හිමියන් සහ එතුමා ගේ  නීතීඥවරු අභියාචනයේ දී කියා සිටියහ. මේ නිසා විත්තිකාර පාර්ශවයට දැඩි අසාධාරණයක් සිදු වූ බව ඔව්හු පෙන්වා දුන්හ.  මේ අනුව පුළුල් විභාගයක් කල ඕස්ට්‍රේලියා මහාධිකරණය විසින් කාදිනල් හිමියන් නිදොස් කොට නිදහස් කරන ලදී. එසේ නම්, මේ අභූත චෝදනාව කවරකු විසින් හෝ එතුමන් ගේ ගමන නැවත්වීම සඳහා එල්ලකරන ලද්දක් ද, එහි පසුබිම සිටියේ කවර හස්තයක් ද  යන ප්‍රශ්නය බොහෝ දනෙකු තුළ පැන නැංගේය. 

"බන්ධනාගාර සටහන්"

එහෙත් නිදහස ලැබෙන  විටත් ජෝර්ජ් පෙල් කාදිනල් හිමි දින 404ක් බන්ධනාගාරයේ ගත කර තිබිණි. එය ඉතා රුදුරු අත්දැකීමක් විය. එතුමා රඳවා තිබුණේ මෙල්බර්න් සහ බාවොන් හි දැඩි ආරක්‍ෂිත බන්ධනාගාර වලය. බන්ධනාගාර සමයෙන් කොටසක් එතුමාට හුදෙකලා සිරමැදිරියක සිටින්නට ද සිදු විය. 

ලෝකය වැරදිකරුවකු කල නමුත් හෘදය සාක්ෂියෙන් නිවැරදි වූ කාදිනල් හිමි බන්ධනාගාරයේ දී වඩ වඩාත් ආධ්‍යාත්මිකව දෙවිඳුන්ට සමීප විය.  සිරගතව ගත කරන සෑම දිනයක් ගැන ම සටහන් වන දිනපොතක් තැබීමට එතුමන්ට සිතුනේ ඒ අනුවය. සෑම දිනකම තමන් අත්දකින දේ එතුමා එම දින පොතේ ලියා තැබුවේය. අනෙක් සිරකරුවන් සමග සම්බන්ධතා, තමන් බලන්නට ආ අය, ලැබුණු ලියුම්, දිනෙන් දින තමන්ට ශක්තිය දුන් යැදුම්, භාවනා සහ ජනවන්දනා මෙහෙයන්  වැනි බොහෝ දේ ගැන එහි ලියැවිණි. 

නිදහස ලැබීමෙන් පසුව එතුමා එම දිනපොතේ  සටහන් “Prison Journal"  යන නමින් පොතක් ලෙස ප්‍රසිද්ධ කළේය. "සභාවේ ඉගැන්වීම් කෙතරම් අපට උදව් වෙනවා ද යන්න මගේ අත්දැකීම පෙන්වා දෙනවා. යාච්ඥා කිරීම සහ දෙවියන් වහන්සේ ගේ වරප්‍රසාදය කෙතරම් අපට උදව් වෙනවා ද කියා මෙය ඔප්පු කරනවා" යි වතිකාන ගුවන් විදුලිය සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක දේ එතුමා කියා සිටියේ ය. "මේ පොත ප්‍රසිද්ධ කිරීම  දුෂ්කරතා වලට වැටුණු, දුක් විඳින බොහෝ දෙනෙකුට බොහෝ ප්‍රයෝජනවත් වේවි කියා මා හිතුවා." 

එතුමා එම පොතේ ඉතා සුන්දර ප්‍රකාශයක්  කරයි. 

"සිර ගෙදරදී මම මට පදනම් විරහිතව චෝදනා කල තැනැත්තන්ට සමාව දුන්නා. විශ්වාසය මට ජීවිතය දුන්නා." 

මිය යන  විට කාදිනල් ජෝර්ජ් පෙල්  හිමි 81 වැනි වියේ පසුවිය. 


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය