"ගුරුවරුන් කියන්නේ භාෂා තුනක දක්ෂයන්" - 2023 ජනවාරි යැදුම් අදහස ඉදිරිපත් කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි.

"Educators know how to handle the three languages well"  - Holy Father says in his 2023 January Prayer intention



 (2022 ජනවාරි 10) 

නව වසරට නව වාරයට අලුත් සිතිවිලි හා ප්‍රාර්ථනා සමග අලුතින් පාසල් පටන් ගන්නා ජනවාරි මාසයේ ලොව පුරා සිටින අධ්‍යාපන වෘත්තීකයන් වෙනුවෙන් යාච්ඥා කරමු යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා සිටින කිතුනු ජනතාවගෙන් ඉල්ලා සිටියි. එතුමා මේ ඉල්ලීම කරන්නේ අධ්‍යාපන වෘත්තිකයන් ගෙන් ද ඉල්ලීමක් කරමිනි. එනම් සිය විෂමාලාව තුළ සහෝදරත්වය ද ඉගැන්වීමට ක්‍රියා කරන ලෙසයි. විශේෂයෙන්  ම තමන්ට ඉගැන්වීමට භාර වන කණ්ඩායම් වල සිටින දුර්වල වුවන් සහ පහසුවෙන් තුවාල කල හැකි තැනැත්තන් කෙරෙහි අවධානය යොමු කරමින් සහෝදරත්වය වපුරන්නට ක්‍රියා කරන ලෙස එතුමා සියලුම අධ්‍යාපන වෘත්තිකයන් ගෙන් ඉල්ලා සිටියි. 

සුදොතුම් පියතුමා ගේ මාසික යැදුම් අදහස අතුලත් සුදොතුම් පිය වීඩියෝව නිකුත් කිරීම සොළොස්වන බෙනඩික් විශ්‍රාමික පාප් වහන්සේ ගේ සගසැපත් වීම හේතුවෙන් ප්‍රමාද කර තිබුණු අතර එය භාරව සිටින සසුන් පිය ලෝක ව්‍යාප්ත යැදුම් ජාලය විසින් අද එය නිකුත් කරනු ලැබිණි. 

අධ්‍යාපන වෘත්තීකයන් - Educators 

"අපි ගුරුවරුන් වෙනුවෙන් යාච්ඥා කරමු" යි නොපවසා "අධ්‍යාපන වෘත්තිකයන් වෙනුවෙන්" යාච්ඥා කරමු යැයි සුදොතුම් පියතුමා කියා සිටින්නේ ඇයි ?

'අධ්‍යාපන වෘත්තිකයන්' යැයි සඳහන් කල විට ගුරුවරුන් ප්‍රමුඛ වන අතර ගුරු භවතුනට අමතරව අධ්‍යාපනය උදෙසා හවුල් වන සෑම වෘත්තිකයකු ම ඊට ඇතුළත් වන නිසා බව සසුන් පිය ලෝක ව්‍යාප්ත යැදුම් ජාලය මේ පණිවිඩය විග්‍රහ  කරමින් කියා සිටියි. 

ලොව පුරා විධිමත්  අධ්‍යාපන ධාරාවේ  නියැලෙන ප්‍රාථමික, ද්වීතියික ගුරුවරුන් සහ උසස් අධ්‍යාපන කථිකාචාර්ය මහාචාර්යවරු මිලියන සියයක් පමණ වෙති. ඊට අමතරව ප්‍රජා මූලිකයන්, ආගමික පූජ්‍ය-පූජක උතුමන්, ස්වේච්ඡා සේවකයන්, දෙමාපියන්, දහම් ගුරුවරුන්, අනධ්‍යයන සේවකයන්, ක්‍රීඩා ගුරුවරුන් සහ උපදේශයක් ආදී ලෙස විවිධ ලෙස  අවිධිමත් අධ්‍යාපනයේ නියැලෙන  අධ්‍යාපන වෘත්තිකයෝ ද සිටිති. "අධ්‍යාපන වෘත්තිකයන්" යන අදහස සුදොතුම් පියතුමා භාවිත කරන්නේ විධිමත්-නොවිධිමත් අධ්‍යාපන වෘත්තික මේ සියල්ලන් ඇතුළු වන පිණිස බව සසුන් පිය ලෝක ව්‍යාප්ත යැදුම් ජාලය සඳහන් කරයි. 

ගුරුවරුන් -  සහෝදරත්වයේ සාක්ෂිකරුවන්  

අධ්‍යාපනයයේදී  විෂය ගත කරුණු වලින් ඔබ්බට යමින් "සහෝදරත්වය"  එනම් මානුෂවාදය නොහොත් මානව හිතවාදය තමන්ට භාර වන ශිෂ්‍යයන් තුළ ජනිත කිරීමට ක්‍රියා කරන්නැයි ප්‍රැන්සිස් ශුදොතුම් පියතුමා සිය මාසික යැදුම් පණිවිඩය මගින් ජනතාව ගෙන් ඉල්ලා සිටියි. එතුමා පෙන්වා දෙන්නේ "අධ්‍යාපනය ආදරයේ ක්‍රියාවක්" බවයි.  එය "ඉතා දුර්වලවුවන් නොසලකා  නොහරිනු සඳහා සහෝදරත්වයේ හැඟීමක් අප තුළ යළි ඇති කෙරෙන මාවත ආලෝකවත් කරන්නකි." 

මේ නිසා අධ්‍යාපන වෘත්තිකයන් හුදෙක් සිය දැනුම පමණක් සිය ශිෂ්‍යයන් තුළට බෙදා දෙන්නන් පමණක් නොවේ. ඔවුන් තම ජීවිත අවබෝධයන් සහ වගකීම් ද බෙදා ගත යුතු ය. මේ මගින් ඔවුන් සහෝදරත්වයේ සාක්ෂිකරුවන් වන්නේ නම් අපගේ සමාජය මීට වඩා යහපත් තැනක් කරන්නට හැකි වනු ඇත. 

ත්‍රයි භාෂාවම ප්‍රගුණ කළ ගුරුවරු 

ගුරු භවතුන් ප්‍රමුඛ අධ්‍යාපන වෘත්තිකයන් ගැන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉතා සුන්දර කතාවක්  කියයි. එනම් ඔවුන් "භාෂා තුනක් මනා ලෙස හසුරුවන්නට" දන්නා පිරිසක් බවයි. ඒ භාෂා තුන නම්, දැනුම, ආදරය සහ මනෝ භාවයන්, සහ උපකාරය යි. එම භාෂා තුන දැනුම, ආකල්ප සහ කුසලතා ලෙස ද විස්තර කල හැකිය . මේ විස්තර කිරීම් දෙක ම සමාන ය. ඒවා තමන් තුළ ප්‍රගුණ කර  ඇති ගුරුවරුනට ඒවා "සුසංයෝගයෙන්" යුතුව සිය ශිෂ්‍යන්ට බෙදා දිය හැක්කේ ය. එබඳු ගුරුවරුනට ලෝකය කෙතරම් සොඳුරු තැන බවට පත් කල හැක්කේ ද? 

එබැවින් අධ්‍යාපන වෘත්තියේ නියැලෙන්නන් තමන් වෙත ම හැරී බැලිය යුත්තක් තිබේ. එනම්, තමන් මේ "භාෂා ත්‍රය ම" මනා ලෙස හසුරුවන්නට දන්නේ ද යන්නයි. 

පාසල, පාපන්දු පිටිය සහ ගුරුතුමා ගේ කතාව 

ජනවාරි මාසයේ සසුන් පිය යැදුම් අදහස ඇතුළත් සසුන් පිය වීඩියෝව ආරම්භ වන්නේ පාසලක පන්තියක දර්ශනයකිනි. එය  "සහෝදරත්වය" යන වචනය ලියා ඇති කළුලෑල්ලක දර්ශනයකට යොමු වෙයි.  එය එක  විෂයක මාතෘකාවක් බඳු ය. ඉන් අනතුරුව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් කතා කරයි. පාසලක සිදුවන සිද්ධියකට එය යොමු වෙයි.  

එම සිද්ධියේ  පිරිමි ළමයෙක් තනිව බංකුවක හිඳගෙන සිටියි. ඔහු සිටින්නේ සිය මිතුරන් පාපන්දු ක්‍රීඩා කරන පාපන්දු පිටියක කෙලවර ඇති බංකුවක ය. මිතුරන් සමග සෙල්ලම් කරන්නට ඔහු ආශා කල ද මිතුරෝ ඔහුව ප්‍රතික්ෂේප කරති. "පිස්සුද ? උඹට බැහැ සෙල්ලම් කරන්න" වැනි අදහසක් දෙන මිතුරෝ ඔහු කොන් කර දමති. ක්‍රීඩා ගුරුවරයෙක් තනිව සිටින මේ දරුවා දකියි. ගුරුවරයා ක්‍රීඩා කරන්නට එන ලෙස දරුවාට ආරාධනා කරයි. "මම දන්නෙ නැහැ. මට බැහැ .." දරුවා පවසයි. එහෙත් මොළයේ භාෂාව, හදවතේ භාෂාව සහ දෑත් වල භාෂාව හොඳින් ප්‍රගුණ කළ මේ ගුරුවරයා ළමයා පිටියට කැඳවා ඔහුට ක්‍රීඩා කරන්නට උගන්වයි. ඉන් පසුව සිය මිතුරන් සමග ක්‍රීඩා කරන දරුවා සිය ප්‍රථම ගෝල් එක ගත් විට ගුරුවරයා මහත්  ප්‍රීතියට පත් වෙයි. එය දකින දරුවා "මේ ඔබේ උපකාරය නිසා" යයි ගුරුවරයාට සන් කරයි. එහෙත් ගුරුවරයා පෙරලා කියන්නේ "නැහැ. මේ ඔයාගේ දක්ෂතාව. ඔයයි මේක කළේ," යනුවෙනි. 

වීඩියෝවේ කතාව බලා සුදොතුම් පිය යැදුම් සිතිවිල්ල කියවන්න.

2023 ජනවාරි මාසයේ සසුන් පිය යැදුම් අදහස සම්පූර්ණයෙන් 

 "අධ්‍යාපන වෘත්තිකයන් සිය ඉගැන්වීමට නව අන්තර්ගතයක් එකතු කරගන්නැයි යෝජනා කරන්නට මම කැමැතියි. එනම්, සහෝදරත්වයයි

අධ්‍යාපනය යනු  අප විසින්  ඉතා දුර්වලවුවන් නොසලකා  නොහරිනු සඳහා සහෝදරත්වයේ හැඟීමක් අප තුළ යළි ඇති කෙරෙන මාවත ආලෝකවත් කරන ආදරයේ ක්‍රියාවකි.

අධ්‍යාපන වෘත්තිකයන් යනු හුදෙක් සිය මනෝමය දැනුම පමණක් නොව සිය ස්ථිර අවබෝධයන් සහ ජීවිත කැපවීම් ද බෙදා දෙන සාක්ෂිකරුවෝ ය. 

භාෂා ත්‍රය ම , එනම්, මොළයේ භාෂාව, හදවතේ භාෂාව සහ දෑත් වල භාෂාව, සුසංයෝගයෙන් යුතුව හැසිරවීමට ඔවුහු දනිති. 

ජනතාව ඔවුනට වඩා වැඩි අවධානයෙන් යුතුව සවන් දීමෙන් ඔව්හු ප්‍රජා ගොඩනගන්නන් බවට පත් වෙති. 

ඒ ඇයි ? මන්ද ඔවුන් මේ සාක්ෂිදැරීම වපුරන්නන් බැවිනි. 

අපි ඔවුන් වෙනුවෙන් යාච්ඥා කරමු. අධ්‍යාපන වෘත්තිකයන් ගැටුම වෙනුවට සහෝදරත්වය උගන්වන්නන් වනු පිණිසත් විශේෂයෙන් ම ඔවුන් ඉතා  බාලවුවන් සහ දුර්වල වුවන්ට අත දෙන්නන් වනු පිණිසත් ඔවුන් මේ මෙහෙවර වල විශ්වසනීය සාක්ෂි කරුවන් වනු පිණිසත් අපි මේ මාසයේ යාච්ඥා කරමු. "


Comments

  1. Praise the Lord.. good job.. appreciate it very much dear Saman..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය