සුදොතුම් පිය දෙසැම්බර යැදුම් අදහස, ස්වේච්ඡා සංවිධාන වෙනුවෙන් - "යුක්තිය සහ සාධාරණත්වය, දුප්පතුන් ගේ ආරක්ෂාව සහ මැවිල්ල වැනි ජනතා අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කිරීමට ස්වේච්ඡා සේවාව අප විවෘත කරයි"

Holy Father's December prayer intention: For volunteer organizations




(2022 දෙසැම්බර 12)
2022 දෙසැම්බර මාසය සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ යැදුම් අදහස ඇතුළත් සසුන් පිය වීඩියෝව දැන් නිකුත් වී තිබේ. 

ලොව පුරා "දයා කරුණාවේ ශිල්පීන්" ලෙස ක්‍රියා කරන, පොදු යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමට කැප වී සිටින ස්වේච්ඡා සේවකයන් සහ සංවිධානවල සාර්ථකත්වය වෙනුවෙන් යාච්ඥා කිරීමට තමා සමග එක්ක වන්නැයි  එතුමා සසුන් පිය වීඩියෝ පණිවිඩයෙන්  සමස්ත කිතුනු ජනතාවට ආරාධනා කරයි. 

එම වීඩියෝව මගින් ආධ්‍යාර්ථ පණිවිඩයක් දෙන එතුමා ස්වේච්ඡා සේවකයන් ලෙස "දයා කරුණාවේ ශිල්පීන්, දයා කරුණාවේ  නිර්මාණ ශීලී කර්මාන්ත කරුවන් වීමට කැප වන්නැයි කතෝලික ජනතාවගෙන් ඉල්ලීමක් ද  කරයි. 

ස්වේච්ඡා සේවාවේ  ආත්මය: "කැපවීම" (Commitment)

"කැපවීම" යන්න ස්වේච්ඡා සේවාවේ  ආත්මය බව සසුන් පිය වීඩියෝවේ සුදොතුම් පියතුමා අවධාරණය කරයි. එහෙත් නූතන වාණිජ ලෝකය  "කැපවීම" මකා දමන්නට අද උත්සාහ කරන බව ද එතුමා පෙන්වා දෙයි.  ස්වේච්ඡා සේවකයකු ලෙස සේවාව කිරීම  කෙනෙකු "කැපවීම සඳහා ගන්නා නිදහස් තෝරාගැනීමකි." මේ නිසා එය උතුම් ක්‍රියාවක් බව මෙම පණිවිඩය පෙන්වා දෙයි. 

ස්වේච්ඡා සේවකයෝ සුබ අස්නේ සාක්ෂි කරුවෝ ය 

ශුභාරංචියේ වටිනාකම් වෙනුවෙන් ක්‍රියා කරන ස්වේච්ඡා සේවකයෝ සුබ අස්නේ සාක්ෂි කරුවන් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. ශුභාරංචියේ එම වටිනාකම් මොනවාද? "යුක්තිය සහ සාධාරණත්වයේ බලවත් ඉල්ලීම් වෙනුවෙන්, දුප්පත් ජනතාව ගේ ආරක්ෂාව වෙනුවෙන්, මැවිල්ල වෙනුවෙන් ක්‍රියා කිරීම" ඇතුළු කතෝලික සමාජ ධර්මය විසින් උගන්වනු ලබන දයාවේ ක්‍රියා ය. මේ අනුව "යුක්තිය වෙනුවෙන් ක්‍රියා කිරීම, දුප්පතුන් සහ පීඩිතයන් ගේ පැත්ත ගැනීම, ඔවුන් වෙනුවෙන් නැගී සිටීම" සෑම කිතුනුවකු ගේ ම අනිවාර්ය ගුණාංගයක්  විය යුතු ය. 

දයා කරුණාවේ නිර්මාණශීලි කර්මාන්ත කරුවන්  (Artisans of Mercy)

ස්වේච්ඡා සේවකයන් සහ සංවිධාන යනු "දයා කරුණාවේ ශිල්පීන් හෙවත්  දයා කරුණාවේ නිර්මාණශීලි කර්මාන්ත කරුවන් ය" යන්න මේ යැදුම් අදහසෙන් ප්‍රන්සිස් සුදොතුම් පියතුමා ගෙන එන නැවුම් අදහසකි.  මෙසේ දයා කරුණාවේ ශිල්පීන් වීම මගින් ඔව්හු බලාපොරොත්තුව බිඳ වැටුණු ලෝකයට "බලාපොරොත්තුව වැඩි වර්ධන කරති" හෙවත් බලාපොරොත්තුව "ගුණ කරති"යි එතුමා පැහැදිලි කරයි.  එතුමා මෙසේ "වැඩි වර්ධනය කිරීම" යන්නට භාවිත කරන්නේ සුබ අස්නේ ජේසු සමිඳුන් විසින් පූප වැඩි කිරීමේ අවස්ථාව සඳහා  භාවිත කෙරෙන  වචනයයි. ජේසු සමිඳුන් පන් දහසක් ජනතාවට කන්නට දුන්නේ එක් යෞවනයකු සතුව තිබුණු රොටී පහ සහ මාළු තිදෙනා "වැඩි" හෙවත් "ගුණ" කිරීමනි.  එසේම "සීමිත වූ බලාපොරොත්තුව වැඩි කිරීමට" ස්වේච්ඡා සේවකයනට හැකි වන්නේ නම් කවර වෙනසක් සිදු විය හැකි ද? 

වීඩියෝ දර්ශන 

කිතුනු අනුප්‍රාණයක් සහිත ස්වේච්ඡා සංවිධාන සිය දයාවේ ක්‍රියා මැදින්  ලෝකය පුරා - ලෙබනනයේ සිට පිලිපීනය දක්වා, මෙක්සිකෝවේ සිට යුක්රේනය දක්වා, වැනිසියුලාවේ සිට උගන්ඩාව දක්වා - බලාපොරොත්තුව බෙදමින් කරන සේවාව ඇතුළත් දර්ශන මෙම වීඩියෝවට ඇතුලත් කර තිබේ. 

සුදොතුම් පියතුමා ගේ මේ යැදුම් අදහස ලාබ නොලබන සහ ස්වේච්ඡා සංවිධාන දෙස වපරැසින් බලන ශ්‍රී ලංකාවේ ජනතාවට සහ ආණ්ඩු වලට ද ඇස් ඇරීමක් වන්නේ ය. 

එක්සත් ජාතීන් ගේ ස්වේච්ඡා වැඩසටහනට අනුව ලෝකයේ සෑම 10 දෙනෙකුගෙන් ම එක්කෙනෙක් ස්වේච්ඡා සේවකයෙකි. ලොව පුරා මිලියන 862.4 ක ජනතාවක් ස්වේච්ඡා සේවාවේ යෙදෙති. 

සුදොතුම් පියතුමා ගේ 2022 දෙසැම්බර  යැදුම් සම්පූර්ණයෙන් මෙසේ ය: 


පොදු යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමට කැප වී සිටින ස්වේච්ඡා සේවකයන් සහ සංවිධාන ලෝකයට අවශ්‍ය ය. 

ඔව්. "කැපවීම": මෙය අද ලෝකය මකා දැමීමට කැමැති වචනයකි. 

පොදු යහපත වෙනුවෙන් කැප වන ස්වේච්ඡා සේවකයන් ලෝකයට අවශ්‍ය ය. 

අන්‍යයන්ට උදව් උපකාර කරන සේව්ච්ඡා සේවකයකු වීම අප නිදහස්ව  කරන තෝරා ගැනීමකි; එය සෙසු ජනතාව ගේ අවශ්‍යතා වෙත අප විවෘත කරයි - යුක්තිය සහ සාධාරණත්වයේ බලවත් ඉල්ලීම් වෙනුවෙන්, දුප්පත් ජනතාව ගේ ආරක්ෂාව වෙනුවෙන්, මැවිල්ල වෙනුවෙන් ආදී අවශ්‍යතා  ක්‍රියා කිරීමට අප විවෘත කරයි. 

මෙහි අරුත නම්, අපේ දෑතින්, අපේ දෑසින්, අපේ සාවධානී දෙසවන් වලින් සහ අපේ සමීප බවින්,  දයා කරුණාවේ ශිල්පීන්, කර්මාන්ත කරුවන් වීමයි.

ස්වේච්ඡා සේවකයකු වීම යනු ඔබ සේවාව කරන ජනතාව සමග වැඩ කිරීමයි. හුදෙක් ජනතාව වෙනුවෙන් පමණක් නොවේ; ජනතාව සමග. ජනතාව සමග වැඩ කිරීම. 
ස්වේච්ඡා ලාබය සඳහා නොවන සංවිධාන වඩාත් ඵලදායි වන්නේ ඒවා එකිනෙකා සමගත් ආණ්ඩු සමගත් සහයෝගයෙන් ක්‍රියා කරන විටයි.

එක්ව වැඩ කරන විට, ඔවුන් සතුව ඇති සම්පත් කෙතරම් සීමිත වුව ද, තමන් ගේ මුළු ශක්තියෙන් ක්‍රියා කිරීමට ඔවුනට හැකි වන අතර බලාපොරොත්තුව වැඩි වර්ධනය  කිරීමේ ප්‍රාතිහාර්යය යථාවක් බවට පත් කිරීමට ඔවුනට හැකියාව ලැබේ. 

බලාපොරොත්තුව වැඩි වර්ධනය කිරීමේ අතිශය දැඩි අවශ්‍යතාවක් අපට තිබේ !

අපි යාච්ඥා කරමු. පොදු යහපත වෙනුවෙන් වැඩ කිරීම සඳහා කැපවීමට කැමති ජනතාව ලැබෙන පිණිස සහ ජාත්‍යන්තර සහයෝගිතාවේ නව මාවත් සොයන පිණිස ද ස්වේච්ඡා ලාබ  නොපතන සංවිධාන සහ මානව සංවර්ධන සංවිධාන වෙනුවෙන් අපි යාච්ඥා කරමු. 







Comments

  1. Grateful indeed. Appreciate your contributions..God be with you..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය