"සැලසුම් නොකළ අවස්ථා, අහඹු අකරතැබ්බ සහ අප්‍රසන්න සිද්ධි ඔස්සේ කතා කරන දෙවිඳුන්ට සවන් දෙන්න. එය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය හැකියි." සුදොතුම් පියතුමා ප්‍රවිචකරණය පිලිබඳ ශාන්ත ඉග්නේෂස් ඉගැන්වීම පහදා දෙයි

"God works through unplannable events, and also through mishaps" - Holy Father explains Ignatian discernment at Wednesday Public Audience Catechesis  



(2022 සැප්තැම්බර 11)

දෙවියන් වහන්සේ ගේ කැමැත්ත ප්‍රවිච කිරීම (Discerning the will of God) යනු ජීවිතයේ අනපේක්ෂිත අවස්ථා සහ සිද්ධි වල දී කෙනෙකු ගේ හදවතේ ඇසෙන දෙවියන් වහන්සේ ගේ හඬට සවන් දීම සහ ඒ සිද්ධිය සහ අවස්ථාව තුළ උන්වහන්සේ ගේ වැඩසිටීම හඳුනා ගැනීම බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිලි කරයි. 

ජේසු නිකායේ නිර්මාතෘ ශාන්ත ඉග්නේෂස් ලොයොලා තුමා ගේ සිත් හැරීම ආරම්භ වූයේ යුද්ධයේ දී එතුමා තරමක් බරපතල තුවාල ලැබීමෙන් පසුව සුවය ලබමින් සිටින විටයි. ඒ අවස්ථාවේ ප්‍රවිචකිරීම මගින් එතුමා මේ සිත්මාරුව හා නව අත්දැකීම තුළ නැවුම් මගක් සොයා ගැනීමට එතුමාට හැකි විය. එතුමා සේ සියලු කිතුනුවනට ප්‍රවිචය මගින්  "අනපේක්ෂිත, ඇතැම් විට අප්‍රසන්න තත්වයන් සහ සිද්ධි තුළ ඇති සලකුණු ඔස්සේ  සමිඳුන් තමන් ප්‍රකාශ කරන ආකාරය හඳුනා ගත හැකි" බව සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. 

"එවැනි මොහොතක සමස්ත ජීවිතය වෙනස් කෙරෙන මුණගැසීමක්  සිදු විය හැකිය. - අතිශය සුන්දර හුය අපට දෙනු ලබන්නේ අනපේක්ෂිත අවස්ථාවක ය," එතුමා විස්තර කරයි. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ භාවනාව කලේ සැප්තැම්බර 7 වැනි දා වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ පවත්වන ලද සති පතා බදාදා පොදු හමුවේ දී සිය ධර්මෝපදේශ කතාව කරමිනි. 

මෙවර එතුමා ගේ ධර්මෝපදේශ කතා මාලාවට පදනම් වී ඇත්තේ ජේසු නිකායේ ආරම්භක ශාන්ත ඉග්නේෂස් ලොයොලා තුමන් විසින් අභ්‍යාස කර සිය නිකායිකයනට උගන්වන ලද ප්‍රවිචය (discernment) නමැති ජීවිත තීරණ ගැනීමේ ආධ්‍යාත්මික අභ්‍යාස ක්‍රමයයි. එම කතා පෙළේ දෙවන පියවරට පිවිසෙමින් එතුමා මේ මෙම භාවනාව කළේය. 

ශා. ඉග්නේෂස් ලොයොලා තුමන් ගේ ජීවිතය "දෙවියන් වහන්සේ ගේ කැමැත්ත ප්‍රවිච කිරීමේ විශිෂ්ට නිදසුනක්" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

ඉග්නේෂස් ලොයොලා තරුණයා යුද සෙබළෙකි. මේ නිසා ඔහු ගේ සිත  බෙහෙවින් ආකර්ෂණ වූයේ වීර ක්‍රියා සහ වීර කතා කෙරෙහි බව එතුමා සිහිපත් කළේය. "එහෙත් යුද  බිමේ තුවාල වී සුවය ලබමින් සිටි ඔහුට කියවන්නට  ලැබුනේ සාන්තුවර චරිත කතා පමණකි. කෙසේ නමුත් ඉතා අකැමැත්තෙන් වුණත් ඔහු එම චරිත කතා කියවීය. "

"මේ අතරින් ශාන්ත ප්‍රැන්සිස් අසීසි සහ ශාන්ත දොමිනික් යන සාන්තුවරුන් ගේ චරිත වලට ඔහු බොහෝ සේ ආකර්ෂණය වුණා. එහෙත් අනෙක් පැත්තෙන් වීර ක්‍රියා ලෝකය වෙතත්  නොකඩවා ඔහු ඇදී යමින් සිටියා. මේ නිසා තමන්  තුළ එක විට එකිනෙකට වෙනස් සිතිවිලි - වීරත්වයේ සිතිවිලි සහ සාන්තුවර චරිත සිතිවිලි - මාරු වෙමින් පැවතුන බව ඔහුට හැඟුණා. ඒ වගේම ඒවා එක සමාන බවත් ඔහුට දැනුණා."

සිතේ ගැටුම 

ඉග්නේෂස් තරුණයා  මේ තත්වය ගැන භාවනා කිරීමට පටන් ගත්තේය. ඒ අනුව මේ "ආකාර්ශනීය" හැඟීම් අතරින් තමාට සැබෑ තෘප්තිය ලබා දෙන්නේ කුමක්දැයි ඔහු අවබෝධ කරගත් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. 

"තමාට කාලයක් තිස්සේ සතුට  ලබා දුන්   'ලෞකික දේ' තව දුරටත් තමා සෑහීමකට පත් නොකරන බව, තෘප්තිමත් නොකරන බව ඔහු අවබෝධ කරගත්තා. ඒ වෙනුවට ශුද්ධවන්ත ක්‍රියා තමා ගේ හදවත පිරිපුන් කරන බව ද ඔහුට තේරුම් ගියා"

"ප්‍රවිච කරන්නෙකු තුළ ප්‍රවිචයට කළින් වූ ඉතිහාසයක් තිබෙනවා. දෙවියන් වහන්සේ ගේ කැමැත්ත ප්‍රවිච කරන්නට පෙර එම ඉතිහාසය සැලකිල්ලට ගැනීම වැදගත් වෙනවා. මන්ද එය පේන කීමක් හෝ දෛවවාදයක් හෝ නොවේ. එසේ ම එය සීට්ටුවක් දමා තීරණ දෙකක් අතරින් එකක් තෝරා ගැනීමක් හෝ නොවේ. එය රසායනාගාර පරීක්ෂණයක ප්‍රතිඵලයක් ද නොවේ."

"අප ජීවිත මාවතේ කිසියම් දුරක් පැමිණි විට වැදගත් ප්‍රශ්න රාශියක් හට ගන්නවා. අප සොයන දේ තේරුම් ගැනීම සඳහා අප ආපසු පැමිණිය යුත්තේ එම ජීවිත ගමන වෙතයි," යි සුදොතුම් පියතුමා පැහැදිලි කළේය. 

සවන් දීම 

"ශාන්ත ඉග්නේෂස් තුමන්ට දෙවියන් වහන්සේ පිලිබඳ ප්‍රථම අත්දැකීම ලැබුණේ ඔහු තමන්ගේ ම හදවතට සවන් දෙන අවස්ථාවේ දී යි. ඒ මොහොත ඔහුට අපූර්ව වෙනසක්  පිළිගැන්නුවා; දැක්ක හැටියේම ආකර්ෂණීය යැයි මුලින් පෙනුණු දේ තුළ තිබූ මුලාවෙන්  මිදුණු බවක් ඔහුට දැණුනා; නමුත් ඊට  වෙනස්ව, ඊට වඩා අඩු දීප්තියක් ඇතැයි ඔහු සිතූ දේ තුළ ඔහුට සදාතනික සාමයක් ශාන්තියක් දැනෙන්නට පටන් ගත්තා."

ශාන්ත ඉග්නේෂස් ලොයොලා තුමන් මුහුණ දුන් අත්දැකීමට අපට ද මුහුණ දිය හැකි බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විස්තර කළේය: "අපටත් මේ අත්දැකීම තිබෙනවා. බොහෝ  විට අප යමක් ගැන සිතනවා, ඒ වෙනුවෙන් ක්‍රියා කරනවා; අපි එතැන ම නැවතී සිටිනවා. ඊළඟ මොහොතේ දී අප කලකිරෙනවා. අප දයාවේ, ප්‍රේමයේ ක්‍රියාවක් කරනවා නම්, යම්  යහපත් වැඩක් කරනවා නම්, යම් සතුටේ  හැඟීමක් අප තුළ ඇති වෙනවා නම්, අපට යහපත් සිතිවිල්ලක් එනවා; අප තුළ ආනන්දය ඇතිවෙනවා. එය අපගේ ම අත්දැකීමක් බවට පත් වෙනවා."

අප්‍රසන්න, අනපේක්ෂිත අකරතැබ්බ - අහඹු  සිදුවීම්  

ඉග්නේෂස්ප්‍ තුමන් පෙන්වා දෙන ප්‍රවිච  කිරීමේ ඇති වැදගත් අංශයක් කෙරෙහි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධානය යොමු කළේ ය:

"ශාන්ත ඉග්නේෂස් තුමා අපට පෙන්වා දෙන ප්‍රවිච කිරීමේ වැදගත් අංශයක් තිබෙනවා. එය බොහෝ වැදගත්.  එනම්, ප්‍රවිච කිරීම පවතින්නේ ජීවිතයේ අහඹු සිද්ධි වලදී, අහඹු අවස්ථා වලදී කෙනෙකු ගේ හදවතට සවන් දීම තුළයි. ඉතා නිසරු, හිස්, අප්‍රසන්න අත්වැරැද්දක්  හෝ අකරතැබ්බක්  සේ පෙනෙන අවස්ථාවක් ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වීමේ  අවස්ථාව විය හැකියි...."

"මේ නිසා පරෙස්සමින් සවන් දෙන්න. දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ අහම්බෙන් සිදුවන සැලසුම් නොකළ සිද්ධි ඔස්සේයි. ...'මට මොකද්දෝ හේතුවකට මේ දේ සිදු වුණා ... මට හම්බෙන් මේ තැනැත්තාව මුණගැහුණා...නැති නම්, මට අහම්බෙන් මේ චිත්‍රපටිය බලන්න ලැබුණා ...මේ වගේ නිදසුන් රැසක් දෙන්න පුළුවන්."

එවැනි අවස්ථාවක මොහොතක් ආපසු බැලීමේ වැදගත්කම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිලි කළේය:  

"එය සැලසුම් කර තිබුණේ නැහැ. එහෙත් දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ සැලසුම් නොකළ අවස්ථා සහ සිද්ධි ඔස්සේ යි; එසේම අකරතැබ්බ අත්වැරදීම් ඔස්සේ යි."  


සකසු සටහන: "ප්‍රවිචය" යනු discernment යනුවෙන් ජේසු නිකායික පුහුණුවේ උගන්වනු ලබන ශාන්ත ඉග්නේෂස් ක්‍රමවේදයයි.  Discernment යන ඉංග්‍රීසි පදය වෙනුවෙන් ජේසු නිකායික ආචාර්ය ඇලෝයි පීරිස් පියතුමා "ප්‍රවිචය" පදය භාවිත කරයි. 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය