පළමුවන ජුවාම් පාවුළු පාප්තුමා භාග්‍යවරයට: "ආත්මයේ සිනහව අපට ලබා දෙන ලෙස එතුමන් යදිමු" - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ධර්ම දේශනය: "සිය දොරවල් කිසි දා නො වසන, කිසි දා සිය හදවත් දැඩි කර නො ගන්නා සභාවක් කෙතරම් සුන්දර ද?"

Pope John Paul I is now a Blessed: "'The smiling pope' showed God's goodness"  Pope Francis says: "Let us pray for the Smile of the Soul" 


  

(2022 සැප්තැම්බර් 6)

"සිනාසෙන පාප්තුමා" යන විරුදයෙන් ලොව පුරා ජනතාවගේ ආදරයට ලක් වූ පළමුවන ජුවාම් පාවුළු පාප් තුමා භාග්‍යවරයට ඔසවනු ලබයි. 

භාග්‍යවර විශේෂ දේව මෙහෙය පවත්වන ලද්දේ සැප්තැම්බර් 3 වැනි දා, සෙනසුරාදා, වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ දී පවත්වන ලද විශේෂ දිව්‍ය පූජා මෙහෙය අතරතුර ය.  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  සිය පූර්ව ගාමියකු  වූ, තමන් සේම "දුප්පත් සභාවක් - දුප්පතුන් වෙනුවෙන් වූ සභාවක්" වෙනුවෙන් ඉඟි කළ පළමුවන ජුවාම් පාවුළු පාප්තුමා කතෝලික සභාවේ අලුත්ම භාග්‍යවරයා ලෙස ප්‍රකාශයට පත් කළේය.   

දිව්‍ය පූජාවේ ධර්ම දේශනය පැවැත්වූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දෙවියන් වහන්සේ ගේ යහපත්කම  ලෝකයටම ප්‍රදර්ශනය කිරීමත් කිසිදු හෙට්ටු කිරීමකින් තොරව සුබ අස්න ජීවත් කිරීමත් පිළිබඳව පළමුවන ජුවාම් පාවුළු පාප් තුමාට ප්‍රශංසා කළේය.  

"අපේ නව භාග්‍යවරයා ජීවත් වුණේ එහෙමයි: සුබ අස්නේ ආනන්දයෙන්, කිසිදු හෙට්ටු කිරීමකින්  තොරව, අවසානය දක්වා ම ප්‍රේම කරමින්" යි එතුමා කීවේ ය .

"එතුමා ශ්‍රාවකයකු ගේ දුප්පත් කම මූර්තිමත් කළේය. එය හුදෙක් භෞතික දේ වලට නොඇලී සිටීම පමණක් නොව, තමා කේන්ද්‍රයේ තබා ගැනීම, තමා කෙරෙහි ආකර්ෂණය ලබා ගැනීම, තමා ගේ ම මහිමය සෙවීම යන දුර්පරීක්ෂා වලින් ද ජයග්‍රහණය කිරීමකි. එතුමන්  එසේ  කෙළේ ජේසු සමිඳුන් අනු යමින්, මෘදු, බැහැපත් එඬේරෙකු ලෙස ය."

හසරැල්ලෙන් යුතු, සිත දැඩි නැති, දොරවල් නොවසන ...සභාවක් !

ලොව ජනතා ආදරය දිනූ පළමුවැනි ජුවාම් පාවුළු හෙවත් "සිනාසෙන පාප්තුමා" ගේ  "සොඳුරු හසරැල්ල" ගැන ද ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා සිය දේශනාවේ දී කතා කලේ ය. 

"පළමුවන ජුවාම් පාවුළු පාප් තුමා හසරැල්ලෙන් පිරි වතින් යුතුව සමිඳුන් ගේ යහපත්කම ලෝකයට සන්නිවේදනය කිරීමට ක්‍රියා කළේ ය. සතුටින්, සන්සුන් බවින්, ශාන්තිමත් බවින් සහ හසරැල්ලෙන් පූර්ණ වූ සභාවක්, සිය දොරවල් කිසි දා නො වසන, කිසි දා සිය හදවත් දැඩි කර නො ගන්නා සභාවක්, කිසිදාකත් පැමිණිලි නො කරන, නොරිස්සීමෙන් තොර, කිසි දා කෝප නොවන, නොඉවසිලිමත් බවින් තොර, රළු පරුෂ ලෙස නොපෙනන සහ අතීතානුස්මරණ කාන්සාවෙන් නොපෙළෙන සභාවක් කෙතරම් සුන්දර ද?" 

"විනිවිද පෙනෙන සුළු වූත් නොරවටන සුළු වූත්  ආත්මයේ සිනහව අපට ලබා දෙන ලෙස අපගේ පියාත් සහෝදරයාත් වූ එතුමාට අපි යාච්ඥා කරමු" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා කතෝලික ජනතාවට ආරාධනා කළේ ය.  

"අපි එතුමා ගේ ම වචන වලින් යාච්ඥා කරමු: 'සමිඳුනි, මා  සිටින සැටියෙන් මා පිළිගන්න. මගේ අඩුපාඩු, මගේ දුර්වලකම්, මේ සියල්ල සමගින් මා පිළිගනු මැනව. එහෙත් මට ඔබ අභිමත තැනැත්තා වීමට වරම් දුන මානව.'"  

භාග්‍යවර දිවය පූජාව පැවැත්වුනු සෙනසුරාදා රෝමයේ අහස වලාකුළුවලින් බර වී තරමක වැස්සක් ද  වැටෙමින් තිබිණි. වැස්ස එක අතකින් එදින සුන්දරත්වය වැඩි කළේය.  ඉඳ හිට සිදු වූ  විදිලි කෙටීම් වල ආලෝකය ද ගෙරවිලි වල අත්පොලසන් ද උත්සවයට තවත් චමත්කාරයක් එක්  කල බව එක් වාර්තාකරුවෙක් කියා සිටියේ ය. 

අල්බිනෝ ලුචියානිට තාත්තා දුන් අවවාදය  

පළමුවැනි  ජුවාම් පාවුළු පාප්තුමා කතෝලික සභා ඉතිහාසයේ අඩු ම දින ගණනක් පාප් ධුරය දැරූ පාප් වහන්සේ නමකි. එතුමාට එම ධුරය දැරීමට හැකි වූයේ දින 33ක්  පමණි. තෝරා ගනු ලැබීමෙන් 33 වන දින රාත්‍රියේ සිය නිවස වූ අපෝස්තලික මාලිගාවේ සිය කාමරයේ එතුමා ස්වර්ගස්ථ වී සිටියේ ය. 

අල්බිනෝ ලුචියානි නමින් 1912  ඔක්තෝබර 17 වැනි දා ඉතාලි රාජධානියේ විනේතෝ හි දී උපත  ලද එතුමා  දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා  විය. 

ළමා වියේ සිය මීසමට පැමිණි කැපුචින් තාපසයකු ගේ ආදර්ශය  නිසා පූජක ජීවිතයට ඇතුළු වීමේ සිතිවිල්ල  ලුචියානි තුළ  හට ගත්තේ ය. ඔහු එය සිය පියා  වන ජොවන්නි ලුචියානිට  පැවසු විට, ඔහු එම ඉල්ලීමට අනුමැතිය දුන්නේ ය. එහෙත් එම තාත්තා ඔහුට එක අවවාදයක් දුන්නේ ය. එනම්,  "පුතා පියතුමකු වූ විට ඔබ කම්කරුවන් ගේ පැත්තේ සිටිනු ඇත කියා මා බලාපොරොත්තු වෙනවා. මොකද, ක්‍රිස්තුන් වහන්සේත් ඔවුන් ගේ පැත්තේ සිටිනු ඇති නිසයි" යන්නයි. 

1935 දී පූජාත්වරය ලබා ගත් ලුචියානි පසුව උසස් අධ්‍යාපනය ලැබූ අතර ඔහු දේවධර්මය පිලිබඳ ආචාර්ය උපාධිය දිනා ගත්තේ රෝමයේ කීර්තිමත් ජේසු නිකායික සරසවිය වන ග්‍රෙගෝරියාන සුදොතුම් පිය විශ්ව විද්‍යාලයෙනි. 

රන්මුවා කුරුසිය විකුණුවේ ඇයි ?

1958 දී විත්තෝරියෝ වෙනේතෝ හි රදගුරු තුමා ලෙස පත් කරන ලද ලුචියානි පියතුමා 1972 දී වැනිසියේ පේත්‍රියාක් තුමන් ලෙස පත් කරන ලද්දේ ය. 1973 දී සවැනි පාවුළු පාප් තුමන් විසින් එතුමන් කාදිනල් සංසදයට ඇතුලත් කරන ලද්දේ එම ධුරය දරද්දී ය. 

අල්බිනෝ ලුචියානි කාදිනල් හිමි සරල ජීවිතයට, ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ වචනයෙන් කියන්නේ නම් "දුප්පත් සභාවකට" ඇලුම් කල කෙනෙක් වූයේ ය. දුප්පතුනට උදව් කල එතුමා එසේ කරන  ලෙස සිය අගරදගුරු පදවියේ පුදැදුරු වරුනට ද අභියෝග කළේ ය. 

කලක් 12 වැනි පියුස් පාප් වහන්සේට අයත්ව තිබූ රන්මුවා කුරුසියක් සහ පපුවේ පළඳින රන් දම්වැලක් එවකට සසුන් පියා වූ 23 වැනි ජුවාම් පාප්තුමා එතුමාට තෑගී දී තිබිණි. 1976 දී එතුමා ආබාධිත දරුවනට ආධාර කිරීමට අරමුදල් රැස්  කිරීම සඳහා එම වටිනා රන් භාණ්ඩ අලෙවි කලේ ය.  තමන් සතු වටිනා භාණ්ඩ ද විකුණා එම අරමුණ වෙනුවෙන් ලබා දී සරල ජීවිතයට පුරුදු වන්නැයි එතුමා වැනිසියේ පුදැදුරු තුමන්ලාගෙන් ද ඉල්ලා සිටියේ ය. පදවියේ පවුල් වල වෛවාහික, මුදල් සහ ලිංගික  ප්‍රශ්න වලින් පීඩා විඳින පවුල්  වලට උපදෙස් සහ ආධාර  දීම සඳහා එතුමා පදවිය තුළ  පවුල් සායන ද ආරම්භ කලේ ය.    

කිරුළු පැළඳීම ප්‍රතික්ෂේප කරයි  

දෙවන වතිකාන කතිකාව සාර්ථක නිමාවකට  පත් කළ එවකට සසුන් පිය සවැනි පාවුළු පාප් තුමා 1978 අගෝස්තු 6 වැනි දා ස්වර්ගස්ථ විය. ඉන් පසුව පවත්වන ලද සසුන් පිය වරණ දැහැනේ දී වැනිසියේ පේත්‍රියාක් තුමා වූ අල්බිනෝ කාදිනල් ලුචියානි හිමි කතෝලික සභාවේ 263 වැනි පාප් වහන්සේ ලෙස කාදිනල් හිමි වරුන්  විසින් තෝරාගන්නා ලද්දේ ය. 

නම් දෙකක් සිය පාප්වර නම් ලෙස තෝරා ගත්  පළමුවන පාප් තුමන් ලෙස එතුමා ඉතිහාසයට එක්  විය. එනම් "ජුවාම් පාවුළු' යන නම් දෙකයි. 23 වන ජුවාම් සහ සවැනි පාවුළු පාප්තුමන් ලාගේ ප්‍රතිපත්ති සහ සේවාව ඉදිරියට ගෙන  යාම සඳහා එතුමන්ලාගේ නම් දෙකම තමන් තෝරා ගත්  බව පළමුවන ජුවාම් පාවුළු සුදොතුම් පියතුමා කියා සිටියේ ය. 

සභාවේ එතෙක් පැවති සම්ප්‍රදාය වූයේ  නව පාප් වහන්සේට  රජ කෙනෙකු ලෙස "කිරුළු පැළඳීම" යි. එහෙත් රජෙකු ලෙස  කිරුළු පැළඳීම නව පාප්තුමා ප්‍රතික්ෂේප කළේය. ඒ වෙනුවට "සසුන් පිය පදවි ප්‍රාප්ති" දිව්‍ය පූජාවක් ඔප්පු කිරීම මගින් ධුරයේ අපෝස්තලික සේවාව ආරම්භ  කිරීමේ නව සම්ප්‍රදාය එතුමා හඳුන්වා දුන්නේ ය. එම ධුරය භාර ගැනීම සංකේතවත් කරමින් පාප්තුමා ගේ  පැල්ලියම පළඳනු ලැබිණි. 

පාප් තුමන්ලා උපදෙස්, චක්‍රලේඛ, ලියුම් නිකුත් කිරීමේ දී එතෙක් භාවිත කළේ රාජකීය "අපි" යන උත්තම පුරුෂ බහු වචනයයි. එම පදයේ ද අරුත වූයේ රාජකීයත්වයයි. එහෙත් "රජ සිහසුනෙන්" පහලට බැස, පාප් තුමන් ද  සාමාන්‍ය ජනතාව  සමග එක මට්ටමේ  සිටින "දේව -ජනතා සේවක-මිනිසකු" ය යන්න අරුත් ගැන්වීම සඳහා එතුමා ලියුම් ලියන විට "මම" යන්න යෙදීම ආරම්භ කළේ ය.  

ඒ දක්වා  පාප් වහන්සේලා ජනතාව අතර සැරිසැරුවේ  Sedia gestatoria නමැති ජංගම සිහසුනක් මත ය. එය පුරාණ ලක්දිව රජවරුන් භාවිත කල දෝලාව වැනි මිනිසුන් සිය කර මත තබාගෙන යන සිහසුනකි. එම  "රාජකීය දෝලාව" භාවිත කිරීම ද එතුමා එකහෙලා ප්‍රතික්ෂේප කලේ ය. තමාට මිනිසුන් ගේ කර මතින් ගමන් කල නොහැකි බව පළමුවන ජුවාම් පාවුළු පාප් තුමා  අවධාරණය කළේය.   එහෙත් ජනතාවට පහසුවෙන් එතුමා දැක ගැනීම සඳහා වෙනත් ක්‍රමයක් සොයා ගන්නා  තෙක්  එම දෝලාව භාවිත කිරීම සුදුසු  බව එතුමා ගේ උපදේශකවරුන්  පෙන්වා දීම නිසා ටික කලකට එතුමා ඊට එකඟ විය.  

දෙවන වතිකාන කතිකා නිගමන ක්‍රියාත්මක කිරීම සහ සසුන් නීති සංග්‍රහය සංශෝධනය කිරීම එතුමා ගේ න්‍යාය පත්‍රයේ කරුණු දෙකක් විය. 

අනෙක් පාප් තුමන් ලා තුළ නො තිබූ විශේෂත්වයක් ද ලොව පුරා ජනතාව එතුමන් තුළ දුටහ. එනම් එතුමා ගේ මුහුණ නිතරම අවංක, නිහතමානි, සිත් ඇදගන්නා , සොඳුරු සිනහවකින් පිරී තිබීමයි. එය එතුමා ගේ ආධ්‍යාත්මික ප්‍රීතියේ පිළිබිඹුවක් බඳුව තිබිණි. එතුමා සැනෙකින් "සිනාසෙන පාප්තුමා" යන විරුදය ලැබුවේ ඒ නිසා ය. 

හදිසි ස්වර්ගස්ථ වීම 

1978 සැප්තැම්බර් 28 වැනි දා  එතුමා ගේ සසුන් පිය ධුරයේ 33 වැනි දිනය ය. එදා රාත්‍රියේ ද  පළමුවන ජුවාම් පාවුළු පාප් තුමා සුපුරුදු ලෙස දවස නිම කළේය.  

එතුමා නින්දට යාම සඳහා ඇඳට ගියේ තෝමස් ආ කෙම්පිස් ගේ The Imitation of Christ නමැති කෘතිය ද සමග ය. 

1978 වැනි දා උදෑසන පාප් තුමන් සිය යහන මත මිය ගොස් සිටින අයුරු දක්නට ලැබිණි. එතුමා ගේ කියවමින් සිටි පත පොත යහන  මත තිබුණු අතර යහන  අසල තිබූ විදුලි ලාම්පුව තවමත් දැල්වෙමින් තිබිණි. 

පත් වූ දා සිට ම සභාව  තුළ ප්‍රතිසංස්කරණ  රැසක් ආරම්භ කරමින් සිටි "සිනාසෙන පාප් තුමා" හදිසි හෘදයාබාධයකින් ස්වර්ගස්ථ වූ බව නිවේදනය කෙරිණි. 

සාන්තුවර ගමන 

'සිනාසෙන පාප්තුමා' සාන්තුවරයට එසැවීමේ ක්‍රියාමාර්ගය ආරම්භ කරන ලද්දේ එතුමා ගේ අනුප්‍රාප්තිකයා වූ ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමන් විසිනි. 

එතුමාගේ භාග්‍යවරයට මග විවර කල ප්‍රාතිහාර්යය වාර්තා වූයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ මව් රට වන ආජන්ටිනාවෙනි.   දැන් යොවුන් වියේ පසුවන කැන්ඩෙල්ලා ජියාර්දා 11 වැනි වියේ දී දරුණු එන්සෙෆලයිටීස් රෝගයකය ගොදුරු වූවා ය. මෙය තවත් දරුණු අතට හැරී මොලයේ අපස්මාර තත්වයක් ඇති විය. වෛද්‍ය විද්‍යාව අනුව ඇයගේ ජීවිතය ගැලව ගත නොහැකි බවට  වෛද්‍ය වරු ඇයගේ දෙමාපියන්ට උපදෙස් දුන්හ.  ඇයගේ මරණයට සූදානම් වන ලෙස ද ඔව්හු දැනුම් දුන්හ. 

එහෙත් පවුලට සමීප පියතුමකු වන හොසේ දබුස්ති පියතුමා ඔවුන්ට වෙනත් උපදේශයක් දුන්නේ ය. එනම් කැන්ඩෙල්ලාට සුවය පතා පළමුවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේට යාච්ඥා කරන ලෙසයි. වෛද්‍ය විශේෂඥයන් සහ එම කාර්ය මණ්ඩලය මවිතයට පත් කරමින් ඇය සුවය ලැබුවා ය.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය