"තුවාල කරන ලද මනුෂ්‍යත්වයත් කඩා බිඳ දමන ලද මිහිතලයත් සුවපත් කරන්න අත්වැල් බැඳ ගමු " - සුදොතුම් පියතුමා තායි බෞද්ධ නියෝජිත පිරිසට ආරාධනා කරයි

Interreligious dialogue and cooperation are needed to heal wounded humanity and broken earth- Pope tells Thai Buddhist delegation 

නියෝජිත කණ්ඩායම සුදොතුම් පියතුමාට තිළිණයක් පිළිගන්වමින් 


(2022 ජුනි 20)

ලොව පුරා ජනතාවත් අපේ නිවහන වන මිහිතලයත් බහුවිධ තර්ජනවලට ලක් වී ඇති මේ යුගයේ ඒවාට මුහුණ දීම සඳහා  සමයාන්තර සංවාදය  වෙන  කවරදාටත් වඩා අත්‍යවශ්‍ය වී ඇතැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. 

"ඉතා සංවේගදායක ලෙස සියලු පැති  වලින් අපට ඇසෙන්නේ තුවාල ලැබූ මනුෂ්‍යත්වයේ සහ කැඩී බිඳී ගිය මිහිතලයේ විලාපයයි.

අද අප ගේ කාර්යභාරය වන්නේ අප සියල්ලන් සහෝදර සහෝදරියන් ය යන සත්‍යය වඩා විචිත්‍රවත් ලෙස තේරුම් ගැනීමට අප ගේ අනුගාමිකයන්ට මග පෙන්වීමයි" යි එතුමා කියා සිටියේ ය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ සම්මන්ත්‍රණයක් සඳහා රෝමයට පැමිණ සිටි තායිලන්ත බෞද්ධ භික්ෂුන් වහන්සේ කණ්ඩායමක් එතුමන් මුණගැසීමට වතිකානයට වැඩම කල අවස්ථාවේ දී ය. 

මෙම තායිලන්ත නියෝජිත කණ්ඩායමට භික්ෂුන් වහන්සේ 30 නමක්, තායි බෞද්ධ ගිහියන් 60 දෙනෙක් සහ එරට කතෝලික නියෝජිතයන් කිහිප දෙනෙක් ද අයත් වූහ. ඔවුන් රෝමයට පැමිණ සිටියේ රෝමයේ සුදොතුම් පිය ඌර්බාන විශ්ව විද්‍යාලයේ අනුග්‍රහයෙන් වතිකානයේ සමයාන්තර සංවාදය පිලිබඳ දෙපාර්තමේන්තුව  විසින් සංවිධාන කරන ලද සම්මන්ත්‍රණයකට සහභාගී වීම සඳහා ය. ජුනි 17 වැනි දා පවත්වන ලද එම සම්මන්ත්‍රණයේ තේමාව "මුණගැසීමේ සංස්කෘතියක් සඳහා බොදුනු-කිතුනු මිත්‍රත්වය" යන්නයි. 

මෙම තායි නියෝජිත පිරිස රෝමයට පැමිණීමේ විශේෂ හේතුව වී තිබුණේ තායිලන්තයේ 17 වැනි සංඝරාජ පූජ්‍ය  සොමදේජ් ප්‍රා වන්නරත් ස්වාමීන් වහන්සේ  සහ එවකට කතෝලික සභාවේ නායක ශා. සවැනි පාවුළු පාප් වහන්සේ අතර හමුවේ 50 වැනි සංවත්සරය සැමරීමයි. 

මෙම නියෝජිත කණ්ඩායම  වතිකනයට පැමිණීම තමාට ඉතා සතුටට කාරණයක් බව පැවසූ සුදොතුම් පියතුමා ඒ ගැන භික්ෂුන් වහන්සේටත් ගිහි පිරිසටත් සිය ස්තුතිය ප්‍රකාශ කලේ ය. "මේ මගින් අප අතර පවතින මිත්‍රත්වයත් අන්‍යොන්‍ය සහයෝගයත් අලුත් වෙනවා'" යි එතුමා  කීවේ ය. 2019 දී තමා  තායිලන්තයේ සිදු කල අපෝස්තලික චාරිකාව සිහිපත් කල ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එහි දී තමන් වෙත දැක්වූ උණුසුම් පිළිගැනීමට සහ  ආගන්තුක සත්කාරයට සිය කෘතඥතාව පුද කළේ ය. 

සුදොතුම් පියතුමා තායිලන්තයට ගිය අවස්ථාවේ එරට සංඝරාජ හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මුණගැසුණු මොහොත 


"අපේ මානව පවුලත් පොදු නිවහන වන මිහිතලයත් බහු විධ තර්ජන වලට ලක්ව ඇති මේ කාලයේ එවැනි මිතු දම් සහ සහයෝගිතාව වෙන කවරදාටත් වඩා අත්‍යවශ්‍ය වෙනවා," යි එතුමා අවධාරණය කළේ ය. 

"ගැටුම් සහ ප්‍රචණ්ඩත්වයට මාවත් විවර කරන ස්වාර්ථය පරාජය කල යුතු බව බුදුන්  වහන්සේ මෙන් ම ජේසුන් වහන්සේ ද දේශනා කළා. 

බුදුන් වහන්සේ ගේ ඉගැන්වීම ධම්ම පදය මෙසේ සම්පිණ්ඩනය කරනවා:

'සබ්බ පාපස්ස අකරනං 

කුසලස්ස උපසම්පදා 

සචිත්ත පරියෝ දපනං  

ඒතං බුද්ධාන සාසනං '

ජේසුන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙසේ වදාළා: 

'මම ඔබට නව පනතක් දෙමි. මා ඔබට ප්‍රේම කළ සේ ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.' 

මේ අනුව අද අප ගේ කාර්යභාරය වන්නේ අප සියල්ලන් සහෝදර සහෝදරියන් ය යන සත්‍යය වඩා විචිත්‍රවත් ලෙස තේරුම් ගැනීමට අප ගේ අනුගාමිකයන්ට මග පෙන්වීමයි" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වැඩි දුරටත් කියා සිටියේ ය. 




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය