සසුන් පිය ප්‍රැන්සිස්: විප්ලවකාර පාප්තුමා අසූ පස් වියට එළැඹෙයි. - ප්‍රකට සමාජ මාධ්‍යයක විශ්ලේෂණය

Pope Francis, revolutionary, a most progressive leader, turns 85 

උණුසුම් සුබ පැතුම්! 

(2021 දෙසැම්බර් 17)

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දෙසැම්බර් 17 වැනිදා 85 වැනි වියට එළඹුණේ ය. 

සාමාන්‍යයෙන් කතෝලික ආගමික ප්‍රකාශන පාප් වහන්සේලා ගේ උපන් දින ගැන ආඩම්බරයෙන් කතා කරයි. එහෙත් මේ තාක් ඉතිහාසය තුළ සිනමා සඟරා, සමරිසි සඟරා, සමානත්වය පිලිබඳ සඟරා වැනි  ප්‍රකාශන හෝ සමාජ මාධ්‍ය පාප් වහන්සේ වැනි කතෝලික නායකයන් ගැන කතා කළේවත් නැත. ඔවුන් සුදොතුම් පියතුමකු ගැන කතා කරන විට එය ප්‍රවෘත්තියක් වන්නේ ඒ නිසා ය. "ෂෝ බිස්" සහ zeleb.es යන ජනාදරයට පත් වූවන් පිලිබඳ කතා කරන සමාජ මාධ්‍ය ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ 85 වැනි ජන්ම දිනය වෙනුවෙන් පින්තුර සහිත කතාවක් පල කර තිබිණි. 

එය මේ පාප් වහන්සේ හඳුන්වන්නේ "විප්ලවීය පාප්තුමකු" ලෙස ය. ඒ  පින්තුර කතාව ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ ධුර කාලය පිලිබඳ සාරාංශයකි. එය මෙසේ ය: 

1. අසූ පහයි 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා 2021 දෙසැම්බර 17 වැනි දා 85 වැනි වියට එළැඹුණා. එය ගෞරවනීය වයසක්. එහෙත් එතුමා විශ්‍රාම ගන්නේ නැත. වසංගතය නොතකා සුදොතුම් පියතුමා පසුගිය වසර පුරා අතිශයින් ක්‍රියාකාරී වී සිටියේ ය. 



2. ප්‍රථම වතාවට ප්‍රධාන අයතොල්ලා වරයෙක් මුණගැසෙයි. 

2021 දී සුදොතුම් පියතුමා බහුආගමික රටක් මෙන් ම සිවිල් යුද්ධයක ඉතිහාසයක් ද ඇති ඉරාකයට ගියේ ය.. පාලම් සාදන්නකු ලෙස  ක්‍රියා කළ එතුමා "දශ ලක්ෂ සංඛ්‍යාත ෂියා මුස්ලිම් ආගමිකයන් ගේ ආධ්‍යාත්මික නායකයා වන" අලි අල්-සිස්ටානි අයතොල්ලා වරයා මුණ ගැසුණේය. පාප් වහන්සේ නමක් සහ ඉරාකයේ ප්‍රධාන අයතොල්ලාවරයකු මුණගැසුණු ප්‍රථම අවස්ථාව එයයි. 


3. සමානාත්මතාව ගැන කතා කිරීම, පාලම්  තැනීම 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අන්තර්ග්‍රහණය (Inclusiveness ) අවධාරණය කරන නායකයකු ලෙස ප්‍රකටව සිටියි. ජනවර්ග , ජාතීන් සහ ආගම් අතර පවතින අති සංවේදී රේඛා ඔස්සේ එතුමා නිර්භීතව ගමන් කරයි. 2014 ඊශ්‍රායෙලයට ගිය අවස්ථාවේ එතුමා ඊශ්‍රායෙලය  සහ පලස්තීනය  වෙන්කෙරන සීමාවේ තිබූ බැරියරයක් (මාර්ග බාධකයක්) අසල නැවතී යාච්ඥාවක් කලේ ය. 


4. අන්තර්ග්‍රහණයේ පාප්තුමා 

අන්තර්ග්‍රහණය නොහොත් සමොධායනය කිරීම (Integration ) යනු ප්‍රැන්සිස් සසුන් පිය උරුමය සාරාංශ කල හැකි එක් වචනයකි. එතුමා අපූර්ව පාප් වහන්සේ කෙනෙකි. මන්ද, එතුමා විවෘත මනසකින් ක්‍රියා කරන අතර, අදහන ආගම, ලිංගික නැඹුරුව, ජනවර්ගය හෝ  සමාජ තරාතිරම නොතකා සියල්ලනට මානව ගරුත්වය හිමි බව අවධාරණය කරයි. 



5. හොර්හේ,  ප්‍රැන්සිස් බවට පත් වූ දා 

හොර්හේ මාරියෝ බෙර්ගොලියෝ උපන්නේ 1936 දෙසැම්බර 17 වැනි දා ආජන්ටිනාවේ බුවෙනොස් අයරෙස් නුවර ය. ඔහු වයස අවුරුදු 76 දී, එම අගනුවර කාදිනල්-අගරදගුරු තුමා ලෙස සේවාව කරද්දී, කාදිනල් පර්ෂදය විසින් එතුමා කතෝලික සභාවේ පාප් වහන්සේ ලෙස මෙන් ම වතිකාන රාජ්‍යයේ රාජ්‍ය නායකයා ලෙස ද පත් කරගත්තේ ය. 



6. ආජන්ටිනාවේ මුල් වලින්..,

තම දේශීය රස පානයක් වන 'මතේ' (mate) තවමත් පානය  කරන  "අපේ  පාප්තුමා" ගැන ආජන්ටිනා ජාතිකයෝ ආඩම්බරයෙන් සිටිති. මතේ යනු බඳුනකට දැමූ උණුසුම් තේ පානයකි. එකට හමුවන පිරිසක් විසින් එකම ලෝහමය බටයකින් (ස්ට්‍රෝ එකකින්) එම තේ කෝප්පය  බෙදාගන පානය කරති. මතේ පානය ආජන්ටිනා ජාතිකයන් ගේ අනන්‍යතාවකි.

 


7. ජේසු නිකායිකයෙක් 

පාප් තුමන් ලෙස ප්‍රැන්සිස් නමැති පූජක තුමන් වෙතින් ගලා එන්නේ ජේසු නිකායිකයකු ලෙස සිය ජීවිතය පුරා එතුමන් කැටුව ආ සරල, අල්පෙච්ඡ් ජීවිත රටාවයි. 



8. සරල සපත්තු 

සිය පූර්වගාමියා වූ සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ පැළඳි රක්ත වර්ණ පැද්‍රා පාවහන් වෙනුවට ආජන්ටිනාවේ තමන් පැළඳ පුරුදු අව්වට, වැස්සට, පාරට තොටට ඔරොත්තු දුන් පරණ කළු සපත්තු කුට්ටම පාවිච්චි කිරීමට එතුමා තීරණය කළේය. 



9. සරල ඇඳුම් ආයිත්තම් 

තමන් යන සෑම තැනකම සිය සුදු පැහැ ලෝගුව සහ මොසෙට්ටා හිස් වැස්මෙන් සැරසී, රදගුරු සමයේ සිට ම තමන් පැළඳි සුදු යකඩ කුරුස ප්‍රතිමාවකින් සමන්විත රිදී මාලය පැළඳිමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රිය කරයි. (සාම්ප්‍රදායික ලෙස පාප් වහන්සේලා රජවරුන් සේ රක්ත වර්ණ සළු වලින් සැරසී රන්මුවා මාල පළඳා ගෙන සිටියහ.)



10. සුඛ විහරණ නොමැති ගෙදරක් 

එතුමා ජීවත් වන්නේ සුඛෝපභෝගී අපෝස්තලික මාලිගාවේ පිහිටි පාප වහන්සේලාගේ සාම්ප්‍රදායික වාසලේ නොව සාන්තා මාර්තා තානායමේ කාමරයක ය. එතුමන් ගේ කාමරයේ තිබෙන්නේ සිය එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ලී බඩු පමණි. 



11. දුප්පතුන් වෙත සැලකිල්ල 

ධනය සහ වස්තුව බෙදා හදා ගැනීම ගැන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නොකඩවා කතා කරයි. (සිය සභාවේ දුප්පත් සාමාජිකයන් අතර ද එසේ ම විය යුතු බව කියයි.) ක්‍රිස්තුන් වහන්සේ ගේ ජීවිතය දුප්පතුන් කෙරෙහි සැලකිල්ල දැක්වීම ගැන උදාහරණයක් බව නත්තල් මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජා වලදී ද එතුමා පෙන්වා දී තිබේ. 



12. ආගමික උත්ප්‍රේක්ෂාව (Religious Tolerence) 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ආගමික  උත්ප්‍රේක්ෂාව (ආගමික රිස්සීම) ඉතා අගයකොට සලකයි. එතුමා සෙසු සියලු ආගම් ධර්ම පිළිගනියි. ලක්ෂ සංඛ්‍යාත අකතෝලික ජනතාව එතුමා දැකගැනීම සඳහා රෝමයට පැමිණෙමින් සිටිති.  



13. එක්සත් ආගම් 

"විවිධ ආගම්වල විශ්වාසිකයන් අතර සංවාදය ලෝක සාමය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක්" බව 2018 පවත්වන ලද අන්තර් ආගමික හමුවක දී එතුමා කීවේය. 



14."ස්වර්ගයට යන්නේ කවුද කියා තීරණය කරන්නේ දෙවියන් වහන්සේ"

එම වසරේ දී ම කුඩා දරුවකු ගේ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සුදොතුම් පියතුමා ලෝකය මවිත කල අතර සම්ප්‍රදාය  මතවාදී කිතුනුවන් තුළ කම්පනයක් ඇති කළේය. "අපේ තාත්තා හුඟක් හොඳයි. අපිට හුගක් ආදරෙයි. ඒත් එයා අදේවවාදියෙන්. එයා මිය ගියා. එයාට  ස්වර්ග රාජ්‍යට යන්න බැරි වේවි ද" ඒ පුංචි පිරිමි ළමයා සිය සිත දවන ප්‍රශ්නය ඉකි ගසමින් සුදොතුම් පියතුමාට කීවේ ය. "ස්වර්ගයට යන්නේ කව්ද කියා තීරණය කරන්නේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ තම දරුවන් අත්හැර දමන්නේ නැහැ," එතුමා පිළිතුරු දෙමින් කීවේය. "ඔයාගේ හොඳ තාත්තා ස්වර්ගයේ ඉන්නවා. එයාට යාච්ඥා කරන්න," යයි ද එතුමා දරුවාට කීවේය. 



15. පරිසර අරගලකරුවා. පෘථිවි ග්‍රහයා ගේ ආරක්ෂකයා 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රබල පාරිසරික සටන්කරුවෙක්   ද වේ. වසර  2015 එක්සත් ජාතීන් ගේ COP21 පැරිස් කාලගුණ සමුළුව පවත්වන්නට පෙර එතුමා ඉතා දැඩි ලෙස පරිසර සංරක්ෂණ වගකීම ගැන කතා කළේය. පරිසරය සම්බන්ධයෙන් වන පාප්වර ලියවිල්ලක් - එනම් විශ්ව ලේඛනයක් - ලියූ එක ම පාප් වහන්සේ ද එතුමා ය. "නූතන සංවර්ධන ආකෘතියේ විකෘතීන් සහ අකාර්යක්ෂමතා ගැන යළි සිතා බැලීමේ ගෝලීය වගකීමක් පවතිනවා" යි එතුමා වරක් කියා සිටියේ ය. සමස්ත මානව සංහතිය ජීවත් වන මිහිතලය "අපේ පොදු ගෙදර" ලෙස නම්  කලේ එතුමා ය. 



16.ඇමේසන් ජනතාව වෙත ප්‍රේමය 

2020 දී එක්සත් ජාතීන් ගේ 75 වැනි  මහා සභා වාරය  අමතමින් එතුමා ඇමේසන් කලාපයේ ආදිවාසීන් ගේ පැවැත්ම වෙනුවෙන් ප්‍රබල හඬක් නැගුවේ ය. අක්‍රමික ලෙස සහ පරිසරය විනාශ කෙරෙමින් සිදු කෙරෙන හුදෙක් ලාබය පදනම් කරගත් ව්‍යාපාර නිසා  වනාන්තරය සමග  බද්ධව සිටින එම ජනයාට වන අපරාධය ගැන එතුමා ලෝක හෘද සාක්ෂියට කතා කලේ ය. 



17. "කෙනෙකු සමරිසි වීම නිසා දෙවියන් වහන්සේ ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ."

විවිධ වර්ග වල සහ නැඹුරුතා දක්වන ජනතාව කෙරෙහි එතුමා දක්වන ආකල්පය සහ සැලකිල්ල ද එතුමා කෙරෙහි ගෞරවය වැඩි වන්නට සමත් වී තිබේ. 2016 පවත්වන ලද මාධ්‍ය හමුවක දී එතුමා සමරිසි නැඹුරුවක් දක්වන්නන් ගැන මෙසේ කීවේය: "මේ තත්වයෙන් සිටින කෙනෙකු ජේසු ලඟට ආවොත් 'ඔබ සමරිසි කෙනෙක්, මගෙන් ඉවත්ව යන්න' කියා ඔවුන්ට කියන්නේ නැහැ."



18. මැවිල්ලයි විද්‍යාවයි 

ලෝකය මැවීම එහි ආධ්‍යාත්මික පැත්ත ඉක්මවා යන බව 2014 රෝමයේ සසුන් පිය විද්‍යාත්මක ඇකඩමියේ පවත්වන ලද සම්මන්ත්‍රනයක දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. "විශ්වයේ සම්භවය ගැන විස්තර කරන නූතන විද්‍යාත්මක න්‍යාය වන 'මහා පිපුරුම් න්‍යාය' (Big Bang Theory ) දේව මැවිල්ලේ මැදිහත්වීමට පටහැනි වන්නේ නැහැ. ඊට ප්‍රති විරුද්ධව, මැවිල්ලේ ඉගැන්වීම විසින් එම න්‍යාය ඉල්ලා සිටිනවා," යි එතුමා කීවේ ය. 



19. විප්ලවීය පාප් වහන්සේ නමක් 

ප්‍රැන්සිස් පාප් වහන්සේ කතෝලික සභාවට නැවුම් වා රැළි ගෙන ආ පාප් වහන්සේ කෙනෙකු ය යන්න අවිවාදිත ය. ජේසු නිකායිකයකු ලෙස එතුමා ගේ සරල ජීවිතය, පරිසරය, විද්‍යාව, කාන්තා සහභාගීත්වය හා නායකත්වය, ආගමික සහ ජාතික පාලම්  තැනීම, සමරිසි ජනතාව වෙනුවෙන් හඬ නැගීම යන කරුණු පමණක් සැලකිල්ලට ගත් කල වුව ද එතුමා විප්ලවීය සුදොතුම් පියතුමෙකි. 







Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය