"ගමනේ යන සභාවක්" - අගෝස්තු මස සසුන් පිය යැදුම් අදහස - "අප එකිනෙකා තුළ සිදුවන ප්‍රතිසංස්කරණයකින් ඇරඹෙන සභා නවෝදයක් වෙනුවෙන් යාච්ඥා කරමු"

Church on the way: Pope's prayer intention for August : pray for the Church, “that she may reform herself in the light of the Gospel."

 


(2021 අගෝස්තු 6)

මේ අගෝස්තු මාසය තුළ කතෝලික සභාව වෙනුවෙන්, එනම් සභාවේ  නවෝදය - ප්‍රතිසංස්කරණය, රූපාන්තරණය - වෙනුවෙන් යාච්ඥා කරමු යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා වෙසෙන කතෝලික  ජනතාව ගෙන් ඉල්ලා සිටියි. එය ආරම්භ විය යුත්තේ "අප එකිනෙකා තුළ සිදුවන ප්‍රතිසංස්කරණයකින්, රුපාන්තරණයකින් (transformation) හෙවත් වෙනස්  වීමෙකින් බව එතුමා පෙන්වා දෙයි. ශුද්ධාත්මයානන් ගෙන් අනුප්‍රාණය ලබන යාච්ඥාවේ, දයාවේ සහ සේවාවේ අත්දැකීම මත පදනම් වූ ආධ්‍යාත්මික අත්දැකීමක් ඔස්සේ අපට අපව මෙම වෙනසට යොමු කල හැකි බව එතුමා පහදා දෙයි. 

ශුද්ධෝත්තම පියතුමා මෙම සිතිවිල්ල ඉදිරිපත් කරන්නේ 2021 අගෝස්තු මාසයේ සිය යැදුම් අදහස ඇතුළත් සසුන් පිය වීඩියෝව නිකුත් කරමිනි.මාසයේ සසුන් පිය යැදුම් අදහස සමග ඊට පදනම් වූ කෙටි භාවනාවමය සිතිවිල්ලක් ද ඉදිරිපත් කිරීම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ සම්ප්‍රදාය වී තිබේ. එම සිතිවිල්ල ඇතුළත් සසුන් පිය වීඩියෝව නිෂ්පාදනය කර නිකුත් කරනු ලබන්නේ ලෝක ව්‍යාප්ත සසුන් පිය යැදුම් ජාලය විසිනි.  

ධර්මදානය - සභාවේ කැඳවීම 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙවර සිය යැදුම් භාවනා සිතිවිල්ල  ආරම්භ කරන්නේ කතෝලික සභාවට එහි ස්වාමියා වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ විසින් ම පවරන ලද කැඳවීමත් ඇයගේ අනන්‍යතාවත් සිහිපත් කර දෙමිනි. 

"සභාවේ කැඳවීම ධර්මදානයයි. ඊටත් වඩා සභාවේ අනන්‍යතාව ධර්මදානයයි"

"සභාවේ කැඳවීම ධර්මදානයයි. ඊටත් වඩා සභාවේ අනන්‍යතාව ධර්මදානයයි" යි පණිවිඩයට මුල පුරමින් එතුමා කියයි. ඒ කැඳවීමත්, අනන්‍යතාව සහ සභාවේ තත්වයත් එතුමා සිය පණිවිඩයේ විස්තර කරයි. 

තමන් ගේ ම වෙනස් වීමක් 

සභාව තුළ නවෝදාවක්, ප්‍රතිසංස්කරණයක් සිදු වීමේ අවශ්‍යතාව එතුමා පහදා දෙයි. 

සුදොතුම් පියතුමා පෙන්වා දෙන්නේ එම වෙනස්වීම සිදු කල හැක්කේ "පුද්ගලයන් ලෙස අපගේ ම ප්‍රතිසංස්කරණයකින් පමණක්" බවයි. එය කල යුත්තේ ශුද්ධාත්මයානන් ගේ මග පෙන්වීම තුළ ය. එවිට "අපගේ හදවත් තුළ ජීවත් වන  දෙවියන් වහන්සේ ගේ තිළිණය වන ශුද්ධාත්මයාණන් ජේසු සමිඳුන් අපට ඉගැන්වූ දෑ සිහිපත් කර දෙමින් ඒවා ක්‍රියාවට නැංවීමට අපට උපකාර කරන" බව එතුමා සිහිපත් කරයි. 

වඩා ධර්මදූතික වරණය - "ගමනේ යන සභාවක්" 

සභාවේ කැඳවීමත් මේ නිසා සභාවේ දහම් සේවා ප්‍රමුඛතාවත් ධර්මදානය බව සිය පණිවිඩය ආරම්භයේ සිහිපත් කරන සුදොතුම්  පියතුමා "ඊටත් වඩා පුළුල් ධර්ම දූතික තෝරාගැනීමක් පවතින" බව කියා සිටියි. එතුමා ගේ වචනයෙන් එය "ගමනේ යන සභාවයි."

එනම් "අන්‍යයන් මුණගැසීම සඳහා පිටතට යන්නාවූ ද අද ලෝකය ධර්මදානය කිරීම සඳහා ස්වකීය ව්‍යුහයන් රූපාන්තරණය කර ගන්නා  වූ ද" තෝරා ගැනීමක් බව එතුමා විස්තර කරයි. එහෙත් අන්‍යයන් මුණ ගැසෙන්නේ ඔවුන් "ආගමට හරවා ගැනීමේ" අරමුණින් නොවන බව ද සුදොතුම් පියතුමා මේ පණිවිඩය තුළ දෙවරක් ම අවධාරණය කරයි. 

"ආගමට හරවා ගැනීමෙන් තොරව අන්‍යයන් මුණගැසීම සඳහා පිටතට යන්නාවූ ද අද ලෝකය ධර්මදානය කිරීම සඳහා ස්වකීය ව්‍යුහයන් රූපාන්තරණය කර ගන්නා වූ ද සිහිනයකි." 

සභාවේ ප්‍රතිසංස්කරණය 

යුගයෙන් යුගය සහාව මුහුණ  දෙන දුෂ්කරතා සහ අර්බුද ගැන ද සුදොතුම් පියතුමා කතා කරයි. 

සභාව සෑම යුගයක ම ගමන් කළේ  විවිධ  දුෂ්කරතා සහ අර්බුද වලට මැදින් බව එතුමා සිහිපත් කරයි. ඒ මන්ද, සභාව "ජීවමාන පුද්ගලයකු" බැවිනි. ජීවත් වන සියල්ල අර්බුද වලට මුහුණ දෙයි. සභාව ද එසේමය. අර්බුදයක් නැත්තේ මල මිනී වලට පමණක් බව එතුමා සිහිපත් කරයි. 

"සභාවට සෑම විට ම දුෂ්කරතා තිබෙන බවත් සභාව නිතර ම අර්බුදයක පවතින බවත් අපි මතක තබා ගනිමු. මන්ද ඇය ජීවත් වන වන නිසා ය."

මේ සියල්ල සිහිපත් කරමින් අගෝස්තු මාසය තුළ සභාව වෙනුවෙන්  යාච්ඥා කිරීමට තමන් සමග එක්වන ලෙස සුදොතුම් පියතුමා සෑම කතෝලිකයකුට ම ආරාධනා කරයි.  "සුබ අස්නේ ආලෝකයෙන් තමන් ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා ශුද්ධාත්මයාණන් ගේ වරප්‍රසාදයත් ශක්තියත් සභාවට  ලැබෙන පිණිස අපි සභාව වෙනුවෙන් යාච්ඥා කරමු" යි එතුමා ඉල්ලා සිටියි." 

සසුන් පිය අගෝස්තු මස යැදුම් අදහස සම්පූර්ණයෙන් මෙසේ ය:

"සභාවේ සුවිශේෂී කැඳවීම ධර්මදානයයි. එය ආගමට හරවා ගැනීම නොවේ. නැහැ. ඇය ගේ කැඳවීම ධර්මදානයයි. ඊටත් වඩා සභාවේ අනන්‍යතාව ධර්මදානයයි.

සභාවේ නවෝදයක් ඇති කිරීමට අපට හැකි වන්නේ අපගේ එදිනෙදා ජීවිතය තුළ දෙවියන් වහන්සේ ගේ කැමැත්ත ප්‍රවිච කිරීමෙන් සහ ශුද්ධාත්මයාණන් විසින් මග පෙන්වනු ලබන රුපාන්තරණයේ හෙවත් වෙනස් වීමේ ගමනකට අවතීර්ණ වීමෙන් පමණයි. එම රූපාන්තරණය යනු පුද්ගලයන් ලෙස අප ගේ ම ප්‍රතිසංස්කරණයයි. අපගේ හදවත් තුළ දෙවියන් වහන්සේ ගේ තිළිණය වන ශුද්ධාත්මයාණන්ට ඉඩ හැරීම, ජේසු සමිඳුන් අපට ඉගැන්වූ දෑ සිහිපත් කර දෙමින් ඒවා ක්‍රියාවට නැංවීමට අපට උපකාර කරයි. 

අපි අපව ම ප්‍රතිසංස්කරණය කර ගනිමින් සභා ප්‍රතිසංස්කරණය ආරම්භ කරමු. කලින් බොරුවට ප්‍රබන්ධ කරන ලද අදහස් වලින් බැහැරව, න්‍යායාත්මක පූර්ව විනිශ්චයන්ගෙන් බැහැරව, දෘඪ බවින් බැහැරව, එහෙත්, යාච්ඥාවේ අත්දැකීම, දයාවේ අත්දැකීම සහ සේවාවේ අත්දැකීම යන ආධ්‍යාත්මික අත්දැකීම මත පදනම්ව ඉදිරියට ගමන් කරමින් අපි එසේ කරමු. 

මම ඊටත් වඩා ධර්මදුතික වූ සිහිනයක් දකිමි; එය ආගමට හරවා ගැනීමෙන් තොරව අන්‍යයන් මුණගැසීම සඳහා පිටතට යන්නාවූ ද අද ලෝකය ධර්මදානය කිරීම සඳහා ස්වකීය ව්‍යුහයන් රූපාන්තරණය කර ගන්නා වූ ද සිහිනයකි. 

සභාවට සෑම විට ම දුෂ්කරතා තිබෙන බවත් සභාව නිතර ම අර්බුදයක පවතින බවත් අපි මතක තබා ගනිමු. මන්ද ඇය ජීවත් වන වන නිසා ය. ජීවත් වන සියල්ල අර්බුද තුළින් ගමන් කරයි. අර්බුදයක් නැත්තේ මිය ගිය වුනට පමණයි. 

අපි සභාව වෙනුවෙන් යාච්ඥා කරමු. සුබ අස්නේ ආලෝකයෙන් තමන් ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා ශුද්ධාත්මයාණන් ගේ වරප්‍රසාදයත් ශක්තියත් ඇයට ලැබෙන පිණිස අපි සභාව වෙනුවෙන් යාච්ඥා කරමු. "


Comments

  1. Praise the Lord..Do appreciate this contribution..blessings

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය