ඉන්දියාවේ සිර ගෙදරක් තුළ දී පණ පිදූ "බැටළු සුවඳ හමන එඬේරා" - ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිරගෙදරදී කෝවිඩ් ආසාදනයෙන් මිය ගිය මානුෂවාදී පියතුමා ගේ කතාව

The True Follower of the Good Shephard who smelled the smell of the sheep: A tribute to  Jesuit human rights activist who died in Indian jail  



(2021 ජූලි 6)

ඔහු අරගලය අත් නොහැර සටන් කළේ ය. 

ඔහු  සිය ජීවිතය  අවසන් වන තෙක් විශ්වාසය රැක්කේ ය. 

ඔහු ගේ ස්වර්ගීය ස්වාමියා නිරුවත් කොට සොරුන් දෙදෙනෙකු  මැද කුරුසියක ඇණ ගසා මරා දමන ලද්දේ සමාජය අවුල් කරන්නෙකු යන චෝදනාව මත ය.   

"ත්‍රස්තවාදියකු" ලෙස චෝදනා ලැබූ ඔහු,  තමන් විශ්වාස කළ මානව ගරුත්වය සහ  මානව දයාව වෙනුවෙනුත්,  දුක් විඳින, සමාජයෙන් කොන්කර පීඩා කරනු ලබන ජනතාව වෙනුවෙනුත් ඉන්දියාවේ ජරාපත් වූ සිර ගෙදරක දී  සිය ප්‍රාණය පූජා කලේ ය. 

මේ ප්‍රවිෂ්ඨය මා ලියා තබන්නේ  2020 ඔක්තෝබර 8 වැනිදා ඉන්දියාවේ අත්අඩංගුවට ගනු ලැබ සිර ගත කොට සිටිය දී මිය ගිය ස්ටෑන් ස්වාමි ජේසු නිකායික පියතුමා වෙනුවෙනි. සනීපාරක්ෂාව අතින් කුප්‍රකට මුම්බායි සිර ගෙදරක දී කෝවිඩ් ආසාදනය වූ එතුමා එම නගරයේ ම ශුද්ධවූ පවුලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එම රෝග සංකුලතා වලින් මිය ගියේ ය. 

බගෙයිචා ගෙදරින්  සිර ගෙදරට 

බගෙයිචා. 

ඒ ඉන්දියාවේ ජර්ඛාන්ද් ප්‍රාන්තයේ අගනුවර වන රාන්චි නගරය කෙලවරක ඇති  ජේසු නිකායේ සමාජ ක්‍රියාන්විත මධ්‍යස්ථානය ය. අසූ හතර හැවිරිදි ස්ටෑන් පියතුමා සිය ක්‍රිස්තු කේන්ද්‍රීය සමාජ ක්‍රියාකාරකම් වල නිරත  වූයේ එහි සිට ය. එතුමා පාකින්සන් රෝගයෙන් ද පීඩා විඳිමින් සිටි නමුත් සිය වයස හෝ සෞඛ්‍ය තත්වය නොතකා සමාජයේ දුක් විඳින්නන් සහ කොන්කරන ලද්දවුන් ද මානව අයිතිවාසිකම් සහ යුක්තිය අහිමි වූවන්ද වෙනුවෙන් වූ  සිය අරගලයත් සේවාවත් දිගටම කරගෙන ගියේ ය.  

දුක් විඳින්නන්, කොන්කරන ලද්දවුන්, මානව අයිතිවාසිකම් සහ යුක්තිය අහිමි වූවන් වෙනුවෙන් සේවාව කිරීම ලෝකයේ ජනපීඩක ආණ්ඩු මෙන් ම සම්ප්‍රදාය මතධාරී ආගමික සංස්ථා ද  දකින්නේ ත්‍රස්තවාදී හෝ කඩාකප්පල්කාරී හෝ කොමියුනිස්ට් ක්‍රියාකාරකම් ලෙස ය. ඉන්දියාවේ සුළුතර ජනතාවට පීඩා කරන නරේන්ද්‍ර මෝදි ආණ්ඩුව ද එතුමා හැඳින්වූයේ 'ත්‍රස්තවාදීනට' සහය දක්වන්නකු ලෙස ය. 

ඉන්දීය මානව හිමිකම් ක්‍රියාකාරීන් අතර විවේචනයට ලක්ව ඇති UAPA හෙවත් නීති විරෝධී ක්‍රියාකාරකම් වැළක්වීමේ පනත යටතේ පිහිටුවන ලද ජාතික විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2020 ඔක්තෝබර 8 වැනිදා බගෙයිචා නිවසේදී ත්‍රස්තවාදී ක්‍රියාවකට සහය දැක්වීමේ චෝදනාව මත ස්ටෑන් පියතුමා අත්අඩංගුවට ගන්නා  ලද්දේ ය. අනතුරුව එතුමා මුම්බායි නගරයේ පිහිටා ඇති කුප්‍රකට ටලෝජා මධ්‍යම බන්ධනාරයට යවන ලද්දේ ය.

වයස්ගතව මෙන් ම රෝගීව ද සිටි පියතුමා අභූත චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබීම ලොව පුරා මානව අයිතිවාසිකම් කණ්ඩායම් සහ මානුෂවාදී සංවිධාන විසින් තරයේ හෙලා  දකින ලදී.  එතුමා වහා නිදහස් කරන ලෙස ඉන්දියාවේ සහ ජාත්‍යන්තර මානුෂවාදීහු ඉන්දීය ආණ්ඩුවට බල කළහ. එහෙත් ඒ හඬ ඇසුණේ ඉන්දීය ආණ්ඩුවට නොවේ. 

ඒ අතර සිර ගෙදරදී පියතුමාට කෝවිඩ්-19 ආසාදානය විය. එතුමා ශුද්ධ වූ පවුලේ රෝහලට ඇතුලත් කරන ලද අතර එහිදී එතුමා ගේ තත්ත්වය් දරුණු අතට හැරුනේ ය. එතුමන් නිදහස් කරන ලෙස තවදුරටත් කරන ලද බල කිරීම් බීරි අලින්ට කල වෙන වැයුම් විය. 

අවසානයේ ජූලි මස 5  වැනිදා එතුමා සිය සදාතනික නිවෙසට පියඹා ගියේය. 

අයුක්තියෙන් පීඩා විඳින්නන් තුළ ක්‍රිස්තුන් වහන්සේ දැකීමේ "අපරාධය"



"නීති විරෝධී ක්‍රියා වැළක්වීමේ පනත යටතේ ස්ටෑන් අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධචෝදනාවක් මතයි," යි ඉන්දියාවේ ඔහු ගේ සහෝදර ජේසු නිකායිකයකු වන සෙඩ්‍රික්  පියතුමා කියයි. "එහෙත් ඔහු කිසිම අපරාධයක් කර නැහැ," යි ඔහු අවධාරනය කරයි. 

එසේ වූවත් ලෝකයේ  ජන පීඩක ආණ්ඩු මෙන් ම දැඩි මතධාරී ආගමික සංස්ථා ද  දකින ස්ටෑන් ස්වාමි පියතුමා වැනි ක්‍රිස්තු කේන්ද්‍රීය මානව ප්‍රේමීන්  කල/කරන  'අපරාධය' සෙඩ්‍රික් පියතුමා වතිකාන ප්‍රවෘත්ති සේවයට  විස්තර කළේය . 

ස්ටෑන් පියතුමා දුප්පතුන්ට, පීඩිතයනට, සමාජයෙන් කොන්කරන ලද සහ බැහැර කරන ලද ජනතාවට ප්‍රේම කළේය. ඔහු ගේ විශේෂ ආදරය ලක්වූවන් වූයේ එරට වැඩිම අයුක්තියට අසාධාරණයට ලක්වන දලිත් ජනතාව ඇතුළු ගෝත්‍රික ජනයන්  සහ ආදිවාසින් ලෙස හැඳිවෙන එරට ස්වදේශික ජන කොටස ය. 

"ස්ටෑන් ඔවුන් වෙනුවෙන් ජීවත් වුණා. ඔහු වඩාත් මානුෂවාදී, වඩාත් සාධාරණ, යුක්තිසහගත, ගෞරවයෙන් යුත් ජීවිතයක් වෙත ඔවුන් කැටුව ගියා. ඔහු ආදිවාසී සහ ගෝත්‍රික ජනතාවත් කොන් කරන ලද වෙනත් ජනතාවත් සමග එක්ව ගමන් කලේ  හරියට ජේසු සමිඳුන් අද ශාරීරිකව අපේ ලෝකයේ අප සමග ජීවත් වුනා නම්, උන්වහන්සේ ජීවත් වන ආකාරයටමයි," සෙඩ්‍රික් පියතුමා කීවේ ය. 

ස්ටෑන් පියතුමාට ජේසු ගේ "පිපාසය, කුසගින්න, තනිකම, කොන්කරනු ලැබීම, ..."පිලිබඳ වචන  ඇසුණේ ය. එම ජනතාව තුළ අයුක්තියට, කොන්කිරීමට ලක්ව සිටින සිය ස්වාමියා අසරණ නොකිරීමට හේ ක්‍රියා කළේය. 

බංගලිදේශයේ දී ම්‍යන්මාවෙන් පලා ආ රෝහින්ග්‍යා සරණාගතයන් හමු වූ ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමා ලද අත්දැකීම ඔහුට ද ලැබී තිබුණේය. "අද දෙවියන් වහන්සේ ගේ වැඩසිටීම යනු රෝහින්ග්‍යාවන් යැ" යි සුදොතුම් පියතුමා එහි දී කීවේ ය. ඉන්දියාවේ සිය අසල්වාසියේ "දෙවියන් වහන්සේ ගේ වැඩසිටීම යනු දලිත් ජනයා ය. ආදිවාසීන් ය." මේ නිසා එතුමා දෙවියන් වෙනුවෙන් භෞතික දේව මන්දිර වෙනුවට "ප්‍රේමයේ දේව මන්දිර" ගොඩ නැගුවේ ය. 

බැටළු සුවඳ හමන එඬේරික අනුගාමිකයා  

ස්ටෑන් පියතුමා ජන අරගලයක දී 


ජූලි 6 වැනි අඟහරුවාදා කෝවිඩ් සීමා වලට යටත්ව ස්ටෑන් ස්වාමි පියතුමා ගේ ආත්මය වෙනුවෙන් දිව්‍ය පූජාවක් පවත්වන ලදී. 

ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ ජේසු නිකායික නායකයන්  කිහිප දෙනෙකු ඇතුළු 20 දෙනෙකු ගේ  සහභාගීත්වයෙන් මෙම ස්තෝත්‍ර යාගික මෙහය පැවැත්විණ. 

එහි දී දේශනය කල  දකුණු ආසියානු කලාපීය ජේසු නිකායික සමුළුවේ සභාපති ස්ටැනි ද සූසා පියතුමා, 'ස්ටැන් ස්වාමි පියතුමා යහපත් එඬේරා ගේ සැබෑ අනුගාමිකයකු" බව කියා සිටියේ ය. 

"ඔහු සෑම බැටළුවෙකු ම නමින් දැන සිටියා. ඔවුන් ගේ වේදනා දැන සිටියා. සොරුන්ගෙන් සතුරන්ගෙන්  බැටළුවන් ආරක්ෂා කරමින් ඔහු නිතරම ඔවුන් ඉදිරියෙන් සිටගෙන සිටියා. ..ඉතා ම දුර්වල වුවන් සහ කොන් වුවන් වෙනුවෙන් ඔහු වඩා වැඩි අවධානයක් යොමු කළා..."

"ඔහු  දුප්පතුන් කොන් කරන ලද්දවුන් සහ අයුක්තියට ලක් කරන ලද්දන්  සමග තමන්  මුළුමනින් ම අනන්‍ය කර ගත්තා. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ වචන වලින් කියනවා නම්,  ඔහු තුළ තිබුනේ බැටළුවන් ගේ සුවඳයි," යි පියතුමා කියා සිටියේ ය.     

නොනිවෙන පහන් 

ස්ටෑන් පියතුමා මිය ගියා නොවේ. මරා දමන ලද්දේ ය. 
එතුමා ගේ ස්වර්ගීය ස්වාමියාණන් සේ අභූත ලෙස චෝදනා කොට සිර ගත කොට වසංගතයට ගොදුරු වීමට ඉඩ හැර මරා දමන ලද්දේ ය. 

එතුමන් ගේ  යුක්තියේ, සාධාරණත්වයේ සහ ප්‍රේමයේ ගමන ජනපීඩක රාජ්‍ය පාලකයන් ගේ අයුක්තියේ බලයෙන් අසරණ වූ බව, බෙල  හීන වූ හෝ   'පරාජය' වූ බව  අපට බැලූ බැල්මට පෙනෙන කාරණයයි. 

ස්ටෑන් පියතුමා ගේ ස්වර්ගීය ස්වාමියා - නාසරෙතයේ ජේසු තරුණයා - කුරුසිය මත අත්වින්දේ ද මේ අසරණ කම ය. ලෝකය ඉදිරියේ මේ 'පරාජිත' බව ය. 

එහෙත් අයුක්තිය ඉදිරියේ යුක්තියත් අසත්‍යය ඉදිරියේ සත්‍යයත් මරණය ඉදිරියේ ජීවිතයත් පරාජය වන්නේ තුන් දිනකට පමණි. අයුක්තියේ, අසත්‍යයේ සහ මරණයේ ලෙන් දොර බිඳ දමමින් යුක්තිය, සත්‍යය සහ ජීවිතය යළි නැගී සිටින්නේ ය. 

"ස්ටෑන් පියතුමා මැරෙන්නේ නැහැ," යි ස්ටැනි ද සූසා පියතුමා අවධාරණය කලේ ය. 
"ඔහු මරණයෙන් නැගිට දුප්පතුන් ගේ ජීවිත තුළ, යුක්තියේ සහ සාමයේ අරගල තුළ ජීවත් වනු ඇති. ඔහු සිය කාර්යය දිගට ම කරගෙන යා හැකි ආකාරයේ හර්දය සාක්ෂියක් සහ කැපවීමක් සහිත පරපුරක් නැගිටුවනු ඇති."    


   


Comments

  1. ශ්‍රී ලංකාවේ සියළු කතෝලික පූජකවරුන්ට මේ ප්‍රවෘත්තිය කියවන්නට ලැබේවා.
    'ඥනාර්ථ ප්‍රදීපයට' මෙය ප්‍රවෘත්තියක් වේවා.

    සිරිල් එඬේරමුල්ල.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය